2022 දෙසැම්බර් 11 වන ඉරිදා

මං බය නෑනේ අයියා මා ළඟ ඉන්නෙ තුන්යම රෑ පානේ...

 2022 දෙසැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 06:00 222

සිත නැවතෙන තැනක මම නවතිමි. ආදරය දැනෙන තැනක සිත නවතියි. ආපසු හැරී යන්නට බැරි තරමට ඒ දවස් ඈත බව මම දනිමි. සවසට ඉරගල වැටෙන වෙලාවට දැන් දැන් නුඹ එතැයි පෙර මං බලා හිඳින්නට මේ දවස් නොවේ. ඒ තරම් දුර ඈතකය නුඹ... එහෙත් එදා වගේම අපි පුංචි දවස්වල වගේම ආ මගේ නංගෝ යැයි සිනාසීගෙන දැන් දැන් නුඹ යළිදු එතැයි මට සිතේ... මගේ සොඳුරුතම අයියගෙයි - නංගිගෙයි සිහිනයට නුඹ එතැයි මට සිතේ...

කීන දම් මිටක් 
කඩන් ආවා මගේ නංගෝ
කාටවත් නෙමේ නගාටයි
මේ ආ නංගෝ...

වෙරළු ගෙඩියක්, ජම්බු පොකුරක්, කීන දම් මිටක් නුඹ මා වෙනුවෙන් රුගෙන ආ දවස්වලට අදටත් මම ආදරය කරමි. ආ මගේ නංගෝ... අත්ලට තුරුල් වූ වෙරළු ගෙඩියකත් තැවරුණු ආදරය මට නොදැනුණු දවසක් නැති තරම්ය.. නංගි කෙනෙකුට අයියා කෙනෙක්ගේ ආදරය විසල් පොළොවක් තරම් වග, විසල් අහසක් තරම් වග මට කියා දුන් මගේම අයියා නුඹය.. ජීවිතය ගැන මට කියන්නට, මට අසන්නට මේ ලෝකයේ මෘදු තැන් රුදු තැන් ගැන උගන්වන්නට ඔබම හැර කාත් කවුරුත්ම මගේ අස උන්නේත් නැත.

කීන දම් මිටක් 
කඩන් ආවා මගේ නංගෝ
කාටවත් නෙමේ නගාටයි
මේ ආ නංගෝ.. 

සෙනෙහින් ඔබ දුන් යම් දෙයක් වෙත්ද ඒ සියල්ල මම ඒ හා සමානව ස්නේහයකින් පිළිගත්තෙමි.
කාටවත් නෙමේ නගාටයි... හිත සුවපත් කරන්නට මට ඒ ඇතිය... ඒ පද අස්සේ හැංගුණ ආදරය අදටත් සිහිනයෙනුත් මම සොයමි ඉතින්.

පොඩි කාලෙ වාගෙ අපි
ඔන්න ඔට්ටුයි කියාලා
හැංගිමුත්තං හොයාලා
හැංගෙමුදෝ අයියේ...

ඔව් අයියේ යළිත් දුවගෙන යන්නට බැරි තරම් ඒ දවස් හරි දුරය.. ඒත් සිනා දෝර ගලන මොහොතක නිවී සැනසිල්ලේ තනි වී ඔබත් එක්ක අල්ලං - සෙල්ලම් කරන්නට යළිත් මට සිතෙයි. ඔබ මා සොයන මා ඔබ සොයන හැංගිමුත්තං සෙල්ලම් කරන්නට මට සිත් වෙයි. එහෙත් කාලය බොහෝ දේ ජීවිතයෙන් උදුරාගෙන ඇතැයි මට සිතෙයි... කාලය බොහෝ දේ මට අහිමි කර ඇතැයි මට සිතෙයි.

හැංගිමුත්තං සෙල්ලමක, ඔට්ටු සෙල්ලමක මිහිරියාවට වඩා බොහෝ බර දේවල් කාලය විසින් ජීවිතයට එකතු කර ඇතැයි මට සිතේ. ජීවිතයේ සරලම සැහැල්ලුම සුන්දරම දවස් සොයාගෙන ඉගිල්ලෙන්නට, නුඹෙන් ස්නේහයේ අත්තටු යුගලක් ඉල්ලා හිඳින්නට මට සිත් වෙයි. ජීවිතයේ රළු පරළු, රිදුණු තැන් සෙමින් පිරිමදිමින් ගිම් නිවාගන්නට නුඹේ යස උරහිස සොයා ඉන්නා තැනකට එන්නට මට සිත් වෙයි. එහෙත් හදවතින් හදවතට යාවී දොඩමළු වුවත් ගතින් ඇස ගැටෙන මානයක හිඳින්නට බැරි දුරකට නුඹ පියමං කර හමාරය...

පුංචි හීනෙ ගෝනි බිල්ලො
නංගි අල්ලන් යන්න ඒවි...

මට පුංචි පුංචි ගුලි හදා බත් කවන්නට ආයෙත් නුඹ නොඑන බව මම දනිමි... ගෝනි බිල්ලන්ට මගේ පුංචි සිත බියගන්වා ඇනූ බත් ගුලි මුවග තබා ඒ බත් ගුලි ගුඩුස් ගා ගිලින තෙක් මගේ ලොකු ඇස් දිහා බලා සිටි ඒ දවස්වලට අයියේ මම තවමත් ආදරය කරමි. ඒත් ඇත්තටම කොයි තරම් නපුරු හීනයක හිත රුඳුණත් නුඹ ඇස ගැටෙන දුරකින් හෝ සිටි සඳක මේ ලෝකයේ කිසිවකට බියක් මගේ හිත අහලකටවත් සේන්දු වූයේ නැත.

පුංචි හීනෙ ගෝනි බිල්ලො
නංගි අල්ලන් යන්න ඒවි

මං බය නෑනේ
අයියා මා ළඟ ඉන්නෙ
තුන්යම රෑ පානේ...

සඳගල පාමුලට කළුවර වැටෙන ඉහත්තාවක නුඹේ උණුසුම් පපුව තුරුලේ ගුලි ගැසුණු ඒ ආදරණීය නංගා මමයි. නුඹට මතක නම් මගේ අයියණ්ඩි.. ඒ සංසාර සොහොයුරු ප්‍රේමයක්දැයි සිතෙන තරමට මා අස හිඳින්නට, මා පිටුපස සෙවණැල්ලක් සේ රැඳී ඉන්නට කොන්දේසි විරහිතවම නුඹ මවෙත පේවී උන්නේය. 

ඒ දවස් හරි ලස්සනය..

ළා රත්තරන් පාට සඳ පාන තුරු මුදුන් මතින් බේරී වැක්කෙරෙන රාත්‍රියක ළා කළුවර තරම් සිත සැනසූ තවත් දෙයක් නැත. ඒ අහසක අපි තරු මල් සොයා අහස පුරා නෙත් සරයෙන් සැරිසැරුවෙමු.

කුඹුරු යායේ නීල ගොයම් සුළඟට නැටවෙන සීත යාමයේ නුඹත් එක්ක වෙල් ඉපනැල්ලේ දුව පැන ඇවිදින්නට ආයෙත් මට යන්න සිතෙයි.

කෝ අයියේ කෝ ඔයා... ජීවිතයේ අපි - අපි වෙන් කළ හැම රේඛාවකම ජීවිතයත් ලෝකයත් සොයා ඔබත් මමත් දෙපසකට ගිය ගමනක මතක මහ ගොඩකි. 

ජීවිතයේ නොගිහින් බැරි ගමන් මග ගොඩකි.

ඒ ගමන් යද්දි එද්දි හදවතින් අත්නොහැරෙන බොහෝ දේ ජීවිතයෙන් අත්හැරෙන හැටි...
කවද්ද අයියේ ආයෙත් එන්නෙ..

එහෙම අහන මම දවසක් දවසක් ගාණේ යළි නුඹ එතැයි පෙර මං බලා හිඳිමි.

ඉරිඟු යායෙන්
කිරල ගාලෙන්
කිරි වැදීලා
කිරි ගොයමේ
නෑ නෑ අයියේ
ඒ පින මේ ගම්මානේ
සෝයුරු පින් මහිමේ...

ඒ ගමත් හැමතැනත් විසිරුණු සොහොයුරු ස්නේහයක සුවඳ අදත් මම සොයමි...
අයියේ එක දවසක් මගේ හීනයට ඇවිත් යන්න එන්න.
බලාගෙන ඉන්නම් කියන්න බැරිතරම් ආදරයෙන් 
ඔව් අයියේ ආදරයෙන්

පද සංයෝජනය - අජන්තා රණසිංහ
ස්වර සංයෝජනය - සරත් දසනායක
ගැයුම - නීලා වික්‍රමසිංහ සහ මිල්ටන් මල්ලවාරච්චි

I සංජු