ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න...
දවස් ඔහේ ඉගිලී යයි. මේ සීතල දෙසැම්බරයේ නුඹ එතැයි මම බලන් හිටියා... ඒත් ඔබ ආවේ නෑ.. හදවත සිය දහස් වාරයක් කීවා... ඔව් කීවා...
ඔබට නෑසුණාට.. හදවත සිය දහස් වාරයක් කීවා
ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න කියලා...
දුටු - නුදුටු ඔබ දකින්න මම ආසයි මගේ රත්තරන්... හුස්මක උණුසුම් සුවය සුවඳ හෙමි හෙමින් දැවටෙමින් විඳින්න මම ආසයි මගේ රත්තරන්... ගෙවී යන දෙසැම්බරයේ නුඹ එතැයි මා සිතූ දවස් පහු කරගෙන හුඟාක් දුර ගිහින්... ඒත් ඔබ ආවේ නෑ ඇවිත් යන්න.. ඔව් ඒ දවස් පහු කරගෙන හුඟාක් දුර ගිහින්... ඒත් ඔබ ආවේ නෑ... ඇවිත් යන්න ඔබ ආවේ නෑ...
ඉතින්...
ඔබ එන්න.. ඔබ ඇවිත් යන්න එන්න...
රූ අහසට සඳ එද්දිත් මතක් වෙන්නෙ ඔබව... මම ආසම කහ පාට කමිසයක් ගත දැවටුණාම මට ඔබව පේන්නෙ ඒ සඳ වගේ... ඒ සඳ මොන තරම් ලස්සනද? ඒ අසිරිමත් සඳ එළිය දෝර ගලන සඳ ඔබ වගේමයි මගේ සඳ... මම ආසයි ළා රත්තරන් පාටක් යන්තමින් තවරපු කහ පාට කමිසයක් ඇඳගෙන ඉන්න ඔයාව මට සිහිපත් කරන ඒ හඳ හැමදාම අහසට ඇවිත් මගේ ඇස් අද්දර නතර වී හිඳී නම්...
ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න...
ඒ සඳ දිහා බලාගෙන ඉද්දි ඔබට ගයන්නට මට සිතුණා. ඔබට තියෙන්නේ සොඳුරු වන අරණක බවුන් වඩන ඍෂිවරයෙකු සේ ශාන්ත සෞම්‍ය අනුහස් වත මඬලක්.. මම ආසයි ඒ සොඳුරු වත මඬල දෙස බලාගෙන ආදරය ගැන භාවනාවක් කරන්න...
ආදරය කියන්නේ මේ සංසාරණ්‍යය පුරා වඩන භාවනාවක්! ආදරය ආදරය වෙසින්ම අත් නොහැරෙන්නට හමුවුණෝතින්!
ඉතින් මගේ සඳ මම කොහොමද ඔබට ආදරෙයි කියලා නොකියා ඉන්නේ... දවසක් දවසක් ගාණේ මම ආසයි ඔබට ආදරෙයි කියන්න.. කවා පොවා සනහා මා ළය මඬලේ හොවා ඔබ සනසන්න මම කොච්චර ආසද?
ඉතින් ඇයි එන්න බැරි...
තවත් හිත නොරිදවා... තවත් හිත නොපාරා
ඉතින් ඇයි එන්න බැරි...
නවතින්න එන්න කියන්න.. හමුවීමක් ඉරණමේ නොලියවුණු සංසාර ගමනකදි මම ඔබට කියන්නෙම
මගේ රත්තරන්
ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න කියලා විතරයි...
ඔබ සඳවත මට විඳින්න.. සඳක් සේ සැරසී එන්න එක දවසක්..
ඔබ එන්න
ඔබ ඇවිත් යන්න එන්න
සෞම්‍ය සඳ සේ මා
වත රූ සිරි බෝමා
ආදරේ නොකියා ඉන්නේ කොහොමා
මගෙ රන් කඳට
මම ආදරෙයි...
අනන්තයක් වී ඔබේ ආදරේ මා සුවපත් කරයි.. මා සනසයි... මා නිවාලයි... ඉඳින් මට
ඔබ නොදැක බැරුවා
ඔබ නැතුව බැරුවා
මඟ සොය සොයා රුව සනහලා
සත්තකයි මං
ඔබ එතැයි සිතුවා...
හීනයෙන් ඇස් ඇහැරෙද්දි මම හැමදාම සිතනවා ඇයි මගේ හීන අතරේ සරන්නවත් ඔබ නාවේ කියලා...
උදුල තරු වන් ඇස් අස්සට එබීගෙන... ඔබේ සරාගී දෙතොල් පෙති ලිහී... ඔව් දෙතොල් පෙති ලිහී..
වැගිරෙන සිනාවට මම හරි ආසයි...
අනේ ඇත්තමයි ඔබ යනු මා නිවන සොඳුරු නිස්කලංක ආරණ්‍යයක්.. එන්න ඉතින්
ඔබ එන්න ඉතින්...
ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න ඉතින්...
තවදුරටත්... ඔව් තවදුරටත් මා නිවාලනු පිණිස
ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න...
මම පෙරුම් පිරුවා
ඔබ එතැයි සිතුවා
මඟ බල බලා
නෙතු දව දවා
රත්තරන් මම මඟ බලා සිටියා
සංසාර පාරමිතාවක භව පාරමිතාව තමයි මම මේ පුරන්නේ ඔබ වෙනුවෙන්...
පෙරුම් පුරමින් මම බලන් හිටියා ඔබ එතැයි
මම බලාගෙන හිටියා.. ආදරේ ගැන ඔය ලස්සන ගැඹුරු කටහඬින් ලස්සන කතන්දර අහන්න
ඔබ එතැයි
මම මඟ බලා සිටියා...
ඇස් රිදෙනකම්
රත්තරන් මම මඟ බලා සිටියා...
දෙසැම්බරය ගෙවිලා ඉවරයි... ඔබ එතැයි බලාගෙන සිටි දවස් පහුවෙලා ඉවරයි... ජනේරුව වෙනුවෙන් මට තියෙන ආදරණීයම බලාපොරොත්තුව මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් දන්නවද මගේ උත්තරේ
ඔබ එතැයි හිත නිවන පැතුමයි!
ඉතින්...
මගේ නොවන මගේම ආදරය වෙනුවෙන්
ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න...
(පද නිමැවුම: උපුල් ශාන්ත සන්නස්ගල
ස්වර නිමැවුම: නවරත්න ගමගේ
ගැයුම: මොරිස් විජේසිංහ)
I සංජු