2022 දෙසැම්බර් 18 වන ඉරිදා

ඒක පොළොවෙ වළලන බෝතලයක්... පිළිමයක් - පෙට්ටියක්

 2022 දෙසැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 06:00 77

අපේ ෆොන්තොලාට කාල තරණය කරන්න හම්බවුණොත් මොකක්ද කරන්නෙ. අනාගතයටද යන්නෙ, අතීතයටද යන්නෙ. මොනවද වෙනස් කරන්න කැමති. ඔන්න අද අපි අරගෙන ආවා කාල තරණයට සම්බන්ධ ටිකක් වෙනස් Trend එකක්. හැබැයි ඉතින් මේ Trend එක ටිකක් විතර පරණයි. ඒත් මචෝ මේකෙ ප්‍රතිඵල ලැබෙන්නෙ දැන්.

ආත බූත වෙන්න එපා..  අද අපි කතා කරන්නෙ Time Capsule ගැන. Time Capsule කිව්ව ගමන් සුදාලට මතක් වෙන්නෙ කාලය හරහා යන Hollywood Movies වල තියෙන ගැජට් එකක්. නැහැ නැහැ මචෝ මේක වෙන සීන් එකක්.  කාල කැප්සියුලයක් කියන්නෙ ඓතිහාසික භාණ්ඩ තොරතුරු ගබඩා කරලා හදපු Capsule එකට. 

එක පෙට්ටියක්, බෝතලයක්, පිළිමයක් නැත්නම් වෙනස් හැඩයක අමුතුම ඕනෑම ගැජට් එකක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අනාගත මිනිසුන් සමඟ හිතාමතා සන්නිවේදනය කිරීමේ ක්‍රමයක් විදිහට තමා මේවා නිර්මාණය වෙලා තියෙන්නෙ මචෝ.
මේකට ලොකු ඉතිහාසයක් තියෙනවා. අපි කතා කරන මේ සීන් කෝන් එක ටිකක් නූතනයි සුදෝ. අනාගත පුරාවිද්‍යාඥයන්ට, මානව විද්‍යාඥයන්ට, ඉතිහාසඥයන්ට උපකාර කිරීමේ අදහසින් තමා ලෝකෙ කාලෙකට කලින් මේ Time Capsule නිර්මාණය වුණේ. 

ඇත්තටම ඒ කාලේ මේක ලොකු Trend එකක් වෙලා තිබුණා. ඔන්න දැන් ඒකෙත් ප්‍රතිඵල හම්බ වෙනවා. කොහොම වුණත් සහස්‍ර ගණනාවටක කලිනුත් මේකට සමාන පුරුදු මිනිස්සුන්ට තිබිලා තියෙනවා. ඒත් 19 වැනි, 18 වැනි සහ 20 වැනි සියවස්වල තමා මේ කතා කරන Time Capsule සීන් කෝන් යුරෝපයේ, ඇමෙරිකාවේ Trend වෙලා තියෙන්නෙ.

කාල කැප්සියුල කියන යෙදුම 1938 දි විතර තමයි කරළියට ඇවිල්ලා තියෙන්නෙ සුදෝ. ඒත් මේ සම්බන්ධව තියෙන අදහස ඊට වඩා සෑහෙන්න පරණයි. කොහොම වුණත් සුදෝ පසුගිය සියවස් දෙකේ ලෝක මට්ටමේ ප්‍රදර්ශනවලදී, ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල් තැබීම්වලදී, සංවත්සරවලදී වගේ විශේෂ අවස්ථාවලට Time Capsule නිර්මාණය කරලා ඒ කාලේ අය වළදාලා තියෙනවා. ඒක ඒ කාලෙ Trend එකක්.

විශේෂයෙන්ම වස්තු, ගෙවුණු සියවස් දෙක තුන ඇතුළෙ ගොඩනගපු යුරෝපයේ ඇමෙරිකාවේ උසස් පාසල්වල ගොඩනැගිලි යට, කෞතුකාගාරවල, තවත් රජයට අයත් සුවිශේෂී ගොඩනැගිලිවල,  ප්‍රතිමා යට Time Capsule තැන්පත් කරලා තියෙනවා. මෑතකාලීනව සිදුවෙච්ච් අලුත්වැඩියාවලදී මේ Time Capsule හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා මචෝ.

වර්ජිනියාවල 1887 දී රොබට් ඊලීගේ ප්‍රතිමාවක යට සඟවා තිබිලා 2021 දී හොයාගත්ත කැප්සියුලයක් ආසන්නතම උදාහරණයක්. ප්‍රබන්ධ කතා පොතක්, බ්‍රිතාන්‍ය කාසියක්, නාමාවලියක්, ලිපියක් සහ ඡායාරෑපයක් මෙතැන තිබිලා තියෙනවා. 

2017 නොවැම්බර් 30 වැනි දින ස්පාඤ්ඤයේ බර්ගෝස්හිදී සොයා ගත්තා Capsules එකක්. ඒකේ තිබුණේ 1777 දී Burgo de Osma ආසන දෙව් මැදුරේ පූජක Joaquín Mínguez විසින් ලියන ලද ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික තොරතුරු සහිත ලේඛනයක්. මේ වගේ Time Capsule සම්බන්ධ දිග ලැයිස්තුවක් සුදාලාට බලාගන්න පුළුවන් Wikipedia පැත්තට ගියොත්.

ලෝකෙ සමහර තැන්වල සුරක්ෂිතාගාරවලත් මේ විදියට Time Capsule තැන්පත් කරලා තියෙනවා මචෝ. පසුගිය සියවස්වල තැන්පත් කරපු ගොඩක් Capsule පොළොවෙ වළලපු නිසා භූගත ජලයෙන් හානි වුණා. ඒ නිසයි සමහරු සුරක්ෂිතාගාරවලට මාරු වුණේ මචෝ.

අද ගොඩගන්න සමහර Capsule වල විවෘත කරන්න ඕන කාලය ලියලා තියෙනවා. ඒ නිසා සමහරු ඒවා බලලා නැවත තැන්පත් කරනවා, සමහරු බලන්නෙ නැතිවම තැන්පත් කරලා තියෙනවා. මේක ටිකක් අමුතු සීන් කෝන් එකක් වස්තු.
කොහොම වුණත් මේ සීන් කෝන් ඔක්කොම වෙනම ආතල් Trend එකක්. ඒත් ආසියාකරයේ අපිට මේක අමුතු දෙයක් නෙවෙයි. සංස්කෘතිමය චාරිත්‍ර වාරිත්‍ර විදියට මේ වගේ දේවල් අපි තාමත් අනුගමනය කරනවා මචෝ. Time Capsule විදිහට නොවුණත් අපිට ඔය පොළොවේ එක එක දේවල් නිදන් කරන පුරුද්ද එදා ඉඳලම තිබුණා. 

සමහරවිට බටහිරට සහ ඇමෙරිකාවට මේ පුරුද්ද ආසියාවේ අපෙන් ගියා වෙන්නත් බැරි නෑ. කොහොම වුණත් එයාලා ඒකට අලුත් අර්ථකථනයක් දුන්නා Time Capsule කියලා වස්තු. ඒ නිසා දැන් මේ Concept එක අයිති එයාලට. හැබැයි අදටත් මේ වැඩේ සමහර තැන්වල සිද්ධ වෙනවා. Time Capsule තැන්පත් කරන අය ඉන්නවා.

නමුත් තත්ත්වෙ දැන් එන්න එන්න දියුණුවෙලා. න්‍යෂ්ටික පිපුරුමකින් පවා හානි නොවන තාක්ෂණයන් දැන් ලෝකෙ තියෙනවා. ඒ නිසා අද වෙනකොට ඒ දියුණු තාක්ෂණයන් අනුගමනය කරමින් තමයි මේ කියන Time Capsule නිර්මාණය වෙන්නෙ මචෝ. මේක ලෝකෙ ධනවත් ආයතන, ධනවත් පුද්ගලයන්, වගේම ධනවත් රාජ්‍යවල Trend එකක්.

තවත් මරු කතාවක් තියෙනවා. මේ කාලේ තියෙන ලොකුම වටිනාම Time Capsule එක ගැන මචෝ. මේක හඳුන්වන්නෙ Earth’s Black Box කියලා. මේ පෘථිවි කළු පෙට්ටිය තියෙන්නෙ ටස්මේනියාවේ දුරස්ථ ස්ථානයක. ලේසියෙන් විනාශ නොවෙන විදිහට වානේවලින් තමයි මේක හදලා තියෙන්නෙ. මේකේ ඇතුළේ ගොඩබිම සහ මුහුදු උෂ්ණත්ව වෙනස්වීම්, සාගර ආම්ලිකකරණය, වායුගෝලය තත්ත්වයන් ඇතුළු පුළුල් දේශගුණ පර්යේෂණවලට අදාළ දත්ත ඉලෙක්ට්‍රොනිකව ගබඩා කරනවා.  මිනිස් ජනගහණය, බලශක්ති පරිභෝජනය වගේ දේවලුත් මේකේ ඇතුළෙ දත්ත විදියට ගබඩා කරනවා.

දුක හිතෙන්නෙම කතාව තමා මචෝ, මානව වර්ගයා දේශගුණික අර්බුදය නිර්මාණය කළ ආකාරය සහ එය විසඳීමට අසමත් වූ හෝ සමත් වූ ආකාරය අනාගත ශිෂ්ටාචාරවලට පැවසීම සඳහා තමා මේ කළු පෙට්ටිය Time Capsule එක නිර්මාණය කරලා තියෙන්නෙ. තවත් මීට සමාන දේවල් ලෝකය පුරා තියෙනවා. ලෝකයේ ශාක බීජ, සත්ව ජාන තැන්පත් කරපු මහා පරිමාණ Time Capsule එකකුත් තියෙනවා. ඒ ඔක්කොම විස්තර කියන්න අද වෙලාව මදි.

මේ සීන් කෝන් එක හොයාගෙන යද්දි තේරුණු දෙයක් අවසානයේදි කියලා නතර කරන්නම් මචෝ. ලෝකයේ මුල් කාලෙ දේවල් මිනිස්සු නිදන් කළේ අනාගතයටත් කොටසක් දායාද කරන්න. පස්සෙ මිනිස්සු දේවල් තැන්පත් කළේ අනාගතයේ මිනිසුන්ට අතීතය ගැන අවබෝධයක් ලබාගන්න. දැන් මිනිස්සු දේවල් තැන්පත් කරන්නේ අනාගතයේ මහා විනාශයන් ගැන දැනගෙන.

ඉතින් අද කතාව ටිකක් අමුතුනෙ වස්තු. මේක පරණ කාලේ ඉඳන් අද කාලෙට එන අමුතුම Trend එකක්. මේ වගේ දේවල් ගැනත් සුදාලා දැනගන්න ඕන නිසයි අපි මේ කතාව වෙනසකටත් එක්ක බෙදාගත්තෙ. එහෙනම් ලබන සතියේ සුපුරුදු සුපිරි Y Trend එකකින් හම්බවෙමු.

I නිසල්