2022 දෙසැම්බර් 25 වන ඉරිදා

සත වෙත කරුණා පිනි දිය ගලනා මුදු උල්පත පාදා දුනි ජේසු බිළින්දා...

 2022 දෙසැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 06:00 69

සපැමිණි සීතල දෙසැම්බරයේ සොඳුරුතම දවස අද යැයි මට සිතේ. අසිරිමත් නත්තල අදයි. එදා බෙත්ලෙහෙම්පුරේ දුප්පත්කම දෝර ගලා යමින් තිබූ පුංචි ගව ලෙනක දෙව්මව් තුරුලේ ළමැද උණුහුමට ගුලි වී මිනිස් වග පාපයෙන් මුදාගන්නට සපැමිණි  කුමරුන් පිළිබඳ මතකය  මම සිහිපත් කරමි. ජේසුනි... ඔබ යනු ආදරයේ සහ  මනුෂ්‍යත්වයේ සොඳුරුතම සංනිදර්ශනයක්... ජේසුනි ඔබ යනු ආදරයේ රිදීවන් කැඩපතක්... ජේසුනි ඔබ යනු මනුෂ්‍යත්වයේ පහන් තාරකාවක්... ඉතින් සමිදාණනේ ඔබ වෙනුවෙන් ගීතිකාවක් ගයන්නට මට සිත් වෙයි...

ජේසුනි... ප්‍රේම පාරමිතාව ළඟ මගේ ඇස් නතර වෙයි...

ප්‍රේමය ඉවසිලිවන්තය කරුණාවන්තය
ප්‍රේමය ඊර්ෂ්‍යා වන්නේ නැත
පාරට්ටු කරගන්නේ නැත
උඩඟු වන්නේ නැත....

ප්‍රේමය අවිනීත නොවේ
ආත්මාර්ථකාමී නොවේ
හනික නොකිපේ
නපුර සිතේ ධාරණය කර නොගනියි

ප්‍රේමය සියල්ල උසුලයි
ප්‍රේමයෙහි විශ්වාසයට ඉමක් නැත
බලාපොරොත්තුවට නිමක් නැත
ඉවසීමට අගක් නැත
ඇදහිල්ල බලාපොරොත්තුව
හා ප්‍රේමය සදහටම පවතින
ධර්මතා තුනකි
මෙයින් ශ්‍රේෂ්ඨතම වන්නේ ප්‍රේමයයි

ප්‍රේමය නොකිළිටි පිනි බිඳක් සේ පිවිතුරු සිහිලැල් වග පසක් කළ ජේසුනි... අපි ඔබට ආදරය කරමු. එදා බෙත්ලෙහෙම්පුරේ පුංචි ගව ලෙනක ලෝකයට ප්‍රේමයේත් - සාමයේත් අනාගත පණිවිඩය කියන්නට පැමිණි ආදරණීය ගැලවුම්කරු ජේසු සමිදාණන් උපත ලද්දේය. 

හිරිකඩ විසිරෙන සීතල රැයක එදා දිවැසිවරුන් කී අනාවැකිය සපථ කරමින් පායා ආ පහන් තාරුකාව ජේසු බිළඳු ලොවට පැමිණි වග සංකේතාත්මකව කී මොහොත කොයි තරම් නම් සොඳුරුද? ඒ අතීතයට මේ ගී පද අපිව යළි යළිඳු කැටුව යන හැටි...

බෙත්ලෙහෙම්පුරේ
දිළිඳු ගව ලෙනේ
ඔරුව තුළේ සිසිලෙ නිදයි
ජේසු බිළින්දා
ජේසු බිළින්දා

ලෙලෙන කැන් දිදී
අමුතු තරුවකි
අඳුර මැදින් එළිය මවයි
ජේසු බිළින්දා
ජේසු බිළින්දා

නිරිඳුන් තිදෙනා
තරුවෙන් දිලෙනා
මඟ අහගෙන 
යති දැක්මට
ජේසු බිළින්දා
ජේසු බිළින්දා

සත වෙත කරුණා 
පිනි දිය ගලනා
මුදු උල්පත පාදා දුනි
ජේසු බිළින්දා
ජේසු බිළින්දා

නත්තල් සීතල, නත්තල් හිරිකඩ, වසින නොවසින වැස්ස... මේ සියල්ල සමඟ නත්තල සපැමිණි වග අසිරිමත් ලෙස හදවතට දැනෙයි. ආදරය තරම් ප්‍රේමය තරම් සොඳුරු මනුෂ්‍ය හැඟීමක් ලෝකයේ තවත් කොතැනකද? සාමය තරම් සුවදායී හැඟීමක් තවත් නම් ලොව කොතැනකද? 

ඒ සියල්ල නුඹ වහන්සේ ලෝකයට කියා දී කල්වාරී කඳු මුදුනේ කුරුසිය මත ප්‍රාණය යළි උත්ථාන වන තුරු හිස් අහසට මුදාහැරියේ පාපයෙන් මිනිස් වග මුදාහරින්නට සපථ කළ මෙහෙවර එදා නිමා කරමිනි.

දෙවිඳුන්ට බය වීම
මිනිසුන්ට නොහොබි
එසේ වුවත්
එතුමන්ට ආදරය කරන්නට 
එතුමන් වෙත බැඳී සිටින්නට
ඔවුන්ට ඉඩ දෙන්න (ස්වාමි පරමානන්ද)

ඉඳින්... ආදරයෙන් සහ ප්‍රේමයෙන් එසේම සාමයෙන් ලෝකයම සුවදායී නවාතැන්පොළක් කරමු. ජේසුනි ඒ අපි ඔබට හදවතින් පිරිනමන ආදරය වෙනුවෙන් අපේ ප්‍රාර්ථනයයි.

ඉතින් ආදරණීය සුබ නත්තලක්...

(ගී පද: කරුණාරත්න අබේසේකර
ගී තනු: ක්ලැරන්ස් විජේවර්ධන 
ගායනය: අනිල් භාරතී) 

I සංජු