2023 ජනවාරි 01 වන ඉරිදා

ජීවිතයේ සුවඳ නොබලා මැරෙන්න එපා

 2023 ජනවාරි 01 වන ඉරිදා, පෙ.ව. 06:00 215

ජීවිතේ කියලා කියන්නේ මොන වගේ දෙයක්ද? මේ ප්‍රශ්නයට ඔයාට තියෙන උත්තර මොකක් වුණත් ''බ්‍රිජට්ගේ දිරිය'' සිනමා සිත්තමේ සුවඳ නොබලා මැරෙන්න එපා. මේ නිර්මාණය ඔබගේ ජීවිතාවබෝධය පුළුල් කරන බව අපට නිසැකයි.
''බ්‍රිජට්ගේ දිරිය'' කියන්නෙ අපේ රටේ අපූරු මිනිසෙකුගේ වික්‍රමාන්විත චාරිකාවක් පිළිබඳ නිමැවුණ වාර්තාමය සිනමා සිත්තමක්. ඔහු නමින් ඩිලන් වික්‍රම. ඒත් අද වෙනකොට ලාංකිකයන් බොහෝදෙනා ඔහුව හඳුනන්නේ, මුහුණ පොතේ ''රෝද උඩ ජීවිතේ'' පිටුවේ වීඩියෝ සබැඳි නිසා.

ඩිලන්ගෙ චාරිකාව ගැන වගේම සිනමා නිර්මාණය ගැන කතාකරන්න ඉස්ස්සෙල්ලා ඔහු ගැන යමක් කියන්ට ඕනෑ. මේ අපූරු මිනිසා ජීවත් වෙන්නේ නෑ ඈත යුරෝපයේ කඳුකර ස්විට්සර්ලන්තයේ. ඔහු අත්දැකීම්වලින් පොහොසත් මිනිසෙක්. සිරිමල් යෞවනේදී තමා ඩිලන් යුරෝපයට සංක්‍රමණය වෙලා තියෙන්නෙ.

අද ඔහු සිය ආදරණීය බිරිඳ මාටිනා සමඟ ජීවිතය ගෙවා දමන්නේ ''රෝද උඩ'' ඒ කියන්නෙ ඩිලන්ගෙ නිවස ඔහු විසින්ම නිර්මාණය කර ගත්තු අපූරු මෝටර් රථයක්. මේ අපූරු නිවසක් අරගෙන යුරෝපය පුරා සංචාරය කරමින් සිය අත්දැකීම් දැනුම මිනිස්සුන්ට බෙදලා දෙන එක තමා ඩිලන් මේ වෙනකොට කරමින් ඉන්නෙ. එක් අපි හිතනවට වඩා ටිකක් සංකීර්ණ වැඩක්. ඒත් ඔහු ආදරයෙන් සතුටින්නේ ඒ වැඩේ කරන බව නම් පැහැදිලියි.

මේ සිනමා සිත්තමට නිමිත්ත වෙන්නෙත් ඩිලන්ගෙ ජීවන අත්දැකීමක්. 2010-2014 කාලයේ ඩිලන් වික්‍රම යතුරුපැදියකින් ලෝක සංචාරයක නිරත වෙනවා. යුරෝපය, අප්‍රිකාව ආසියාව, ඔස්ට්‍රේලියාව, ඇමරිකාව හරහා රටවල් සිය ගානක් පසු කරමින් ඔහු මේ අපූරු චාරිකාව ගියා. අපිට හිතෙන්නේ ඒක එක්තරා ආකාරයක අභිනිෂ්ක්‍රමණයක් වගේ වැඩක්.

මේ චාරිකාව ඩිලන් ගියේ සිතියමක් සැලසුමක් සහිතව නෙවෙයි. සමහරක් තැන්වල කාසියක් උඩදාලා යන පැත්ත ඔහු තීරණය කළා. ඔහුට අනුව ඇත්තටම මේ ගමන කවුරුවත් බලපු දෙයක් නැවත් ගිහිල්ලා බලන්න ගියපු ගමනක් නෙවෙයි. අලුත්ම දෙයක් අත්විඳින්න, ජීවිතයේ මොකක්ද කියලා හොයාගන්න ගියපු ගමනක්. අවුරුදු තුන හමාරක විතර රටවල් ගණක් මිනිසුන් ලක්ෂ කරන්නක් හරහා ඇවිද ගිය ඩිලන්ගේ ජීවිතය අන්දරය පුදුමාකාරයි.

''බ්‍රිජට්ගේ දිරිය'' නිර්මාණය වෙන්නේ ඩිලන් වික්‍රම ඇමරිකානු මද්වීපය හරහා ගියපු ගමනත් එක්ක. ඇලස්කාවේ ඉදන් පහලට ආජන්ටිනාව වෙනකල් ගමන් කිරීම තමා එදා මේ අපූරු සංචාරකයාගේ අරමුණ වුණේ. ඉතින් අපි කවුරුත් අමරිකානු සිතියමේ දකින ''පැනමාවේ ඇමරිකා මාර්ගය'' දිගේ ඩිලන් පල්ලම් බැස්සා. ඒත් ඇත්තටම සිතියම්වල පෙන්නුවත් මේ මහා මාර්ගය පැනමාවෙන් අවසන් වෙනවා. පාර අවසන්. ගමන අතරමඟ නතර වෙනවා. දැන් මොකද කරන්නේ? මේ නිර්මාණය නිමිත්ත බිහිවෙන්නේ මෙන්න මෙතැනදී.

මේ අපූරු මිනිසා නිර්මාණය කරනවා තෙප්පමක්. ඒකට නම දෙනවා ''බ්‍රිජට්ගේ දිරිය'' කියලා. මේ තෙප්පමට ඒ නම ලැබුණු හේතුව දැනගන්න ඔබට මේ නිර්මාණය බලන්නම වෙනවා. ඒ කොහොම වුණත්, පැසිපික් සාගරය හරහා කිලෝමීටර් 700ක් දුර ගෙවාගෙන පැනමාවේ ඉඳන් කොළොම්බියාවට යන්න මේ තෙප්පම නිර්මාණය කරන්නේ ඩිලන්මයි.

ඩිලන් දක්ෂ කාර්මිකයෙක්. තමන්ගේ යතුරුපැදිය එන්ජිම භාවිතා කරලා පැනමාවේදී අඳුරගත්ත අපූරු මිනිසුන් කිහිප දෙනෙක්ගේ උදව් ඇතිව ඔහු මේ තෙප්පම නිර්මාණය කළා. ඒ ගැන තොරතුරු සවිස්තරව මේ නිර්මාණයෙන් ඔබට දැනගන්න පුළුවන් ''බ්‍රිජට්ගේ දිරිය'' සිනමා නිර්මාණය ඇතුලේ කතා කවදාවත් මුහුදු නොගියපු ඩිලන් වික්‍රම පැසිපික් සාගරය හරහා ගියපු මේ අපූරු චාරිකාව පිළිබඳ.

ජීවිතයත් මරණයත් අතර වාසනාව අවාසනාව එක්ක සටන් කරමින් මාසයකට ආසන්න කාලෙක් මහ මුහුදේ ඩිලන් ගතකර සැබෑ ජීවිතය මේ නිර්මාණය ඔස්සේ ලොවට අනාවරණය වෙනවා. ඔහුට උදව් කරපු ඩොල්පින් මාළුන් ගැන ධීවරයන් ගැන මේ නිර්මාණයේ සාක්ෂි සහිතව බලාගන්න පුළුවන් වගේම මරණය අතවනපු කුණාටු ගැන අතරමංවීම් බිහිසුණු අත්දැකීම් ගැනත් විස්තර මෙහි අන්තර්ගතයි.

අපි මේ කතාවේ සියල්ල ඔබට කියන්නේ නැහැ. මේ නිර්මාණය උපරිමයෙන්ම රසවිඳින්න අපි ඔබට ඉඩකඩ ඉතුරු කරනවා. මේ නිර්මාණයට අදාළ සියලු දර්ශන ඇත්තටම මේ චාරිකාව අතරතුරදී ඩිලන් විසින්ම පටිගත කරපු ඒවා. ඒ නිසා මේක ප්‍රබන්ධ වෘතාන්තයක් නෙවෙයි. ඒත් මේ කතාවේ කතාවෙ රසය, චමත්කාරය වෘතාන්ත සිනමා පටයක රසය පරයා යනවා කියලා අපිට හිතුණා.

සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය වලින් මේ සිනමා සිත්තම දැන් ඔබට YouTube ඔස්සේ නරඹන්න පුළුවන්. 2020 වසරේ හොඳම සංචාරක චිත්‍රපටය විදිහට මේ නිර්මාණය සම්මානයට පවා පාත්‍රවෙලා තියෙනවා. තවත් සම්මානයක් කිහිපයක් මේ වෙනුවෙන් ඩිලාන්ට ලැබුණා. ඩිලන්ගෙ ගැඹුරු ළබැඳි හඬ මේ නිර්මාණය තවත් රසවත් කරන බව අපි කියන්නම ඕනේ කාරණාවක්. අපි ආරම්භයේදීම කිව්වා බ්‍රිජට්ගේ දිරිය නිසැක වශයෙන්ම ඔබගේ ජීවිතාවබෝධය පුළුල් කරන බව. ඒකට හේතුව තමා මේ ගමන පිළිබඳ කතාව හුදෙක් කතාන්දරය ඒකට එහා ගිය ජීවන අත්දැකීමක් විදිහට නිර්මාපකයා විසින් ඉදිරිපත් කිරීම.

ස්විට්සර්ලන්තයේ තමන්ට තිබුණු ව්‍යාපාරයක් විකුණලා. ජීවිතයේ එක මොහොතක ඇතිවුණු හැඟීමක් නිසා, ලෝකෙ වටේ සංචාරයක් යන්න තීරණය කරපු, මේ අපූරු මිනිසාගේ චාරිකාව හරියට අභිනිෂ්ක්‍රමණයක් වගේ. අපි මුලිනුත් එහෙම කිව්වා. ඇත්තටම මේ නිර්මාණය ඇතුළේ ඔහු ඒ අභිනිෂ්ක්‍රමණයෙන් පසු සොයාගත් ජීවන දහම අන්තර්ගත වෙනවා.

සිනමා නිර්මාණයට අමතරව මේ චාරිකාව සම්බන්ධව පොත පත් ඩිලන් ලියා තියෙනවා. අදටත් ඔහු ගත කරමින් ඉන්න සංචාරක දිවි පෙවතක්. මුහුණු පොතේ ''රෝද උඩ ජීවිතේ'' පිටුවට ගොඩවැදුණොත් ඔහු පිළිබඳ තවත් තොරතුරු ඔබට දැන කියාගන්න පුළුවන්. අපි මෙහි ලියා තැබුවේ ඔහුගේ ''බ්‍රිජට්ගේ දිරිය'' නිර්මාණය ගැන පුංචි පූර්විකාවක් පමණයි.

ලෝකේ රටවල් 140 කට වඩා වැඩි ගණනක  සංචාරය කරපු ඩිලන් වික්‍රම මෙහෙම කියනවා.

''අපි හිතන්නේ රටවල් එකසිය හතළිහකට විතර ගියා කිව්වම ලෝකය දැක්කා කියලා. නැහැ. ලෝකයේ කියලා කියන්නේ වෙනස් වෙන දෙයක්. ඉතින් අද දකින ලෝකය නෙවෙයි හෙට තියෙන්නෙ.'' ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම ''බ්‍රිජට්ගේ දිරිය'' නරඹන්න.

I නිසල්