අපි ලෝකේ ධනවතුන් බලවතුන් ගැන අහලා තියෙනවා. ඒ නම් අතර නිතරම කියවෙන්නේ පිරිමි පාර්ශවයේ නම්. නමුත් ඇත්තම තත්ත්වය ඒක නෙවෙයි. ලෝකෙ ධනවත් බලවත් චරිත අතර කාන්තාවනුත් වැජඹෙනවා. ඒ වගේම දරුවනුත් ඉන්නවා. ඉතින් අපි හිතුවා මේ ලෝකෙ දැනට ජීවත්වෙන ධනවත්ම පුංචි කුමාරිකාව ගැන ඔබත් එක්ක තොරතුරු ටිකක් බෙදාගන්න.
වේල්සයෙහි චාලට් කුමරිය. මේ ඇගේ කතාව. එක්සත් රාජධානියේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ දියණිය තමා මේ චාලට් කුමරිය. ඇගේ සම්පූර්ණ නම චාලට් එලිසබෙත් ඩයනා. චාලට් ඉපදුනේ 2015 අවුරුද්දෙ. එතකොට චාලට් කුමරියට දැන් වයස අවුරුදු 7 යි.
චාලට් කුමරිය කියන්නෙ වර්තමාන එක්සත් රාජධානියේ රජකම් කරන තුන්වැනි චාල්ස් රජ්ජුරුවන්ගේ මිනිබිරියක්. එතකොට සුප්‍රකට ඩයනා කුමරියගේත් මිනිබිරිය. පියා විසින් ඩයනාගේ නමත් ඇයට ලබාදීලා තියෙනවා. චාලට් ඔටුන්න හිමි පරම්පරාවේ තුන්වැනියා. ඇත්තටම ඇය කවදා හෝ බ්‍රිතාන්‍ය රාජ්‍යත්වයට හිමිකම් කියන්න පුළුවන් චරිතයක්.
පහුගිය සැප්තැම්බරයේ රැජිනගෙ වියෝවෙන් පස්සේ තමයි ''වේල්සයෙහි චාලට් කුමරිය'' විදිහට ඇයව තුන්වැනි චාල්ස් රජතුමා නම් කලේ. රැජින ජීවත්වන කාලෙත් ඇය කෙරෙහි ආදරයක් දැක්වූවා කියලා කියනවා. නමුත් පහුගිය කොරෝනා කාලයේ රැජන තහනම් කරපු නිසා ඇයට තමන්ගේ පුංචි උපන්දින සාදයක්වත් පවත්වාගෙන යන්න බැරිවෙලා තිබෙනවා.
අවුරුදු හතක් වන චාලට් කුමරියට ඩොලර් බිලියන 4.2 වත්කම් තියෙනවා කියලා කිව්වොත් ඔබ මොනවද හිතන්නේ. ඒ වගේම එකේ ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් බිලියන 5 කියලා කිව්වොත් පුදුම වෙන්න එපා. මේක ඇත්ත කතාවක්. බ්‍රිතාන්‍ය තොරතුරු වාර්තා අනුව තමා ඇයට ඒ වගේ විශාල වත්කම් ප්‍රමාණයක් තියෙනවා කියලා හෙළිදරව් වෙන්නෙ. අනික් පැත්තෙන් බ්‍රිතාන්‍ය රජය පැත්තෙන් තමා ඩොලර් බිලියන 5ක ශුද්ධ වටිනාකමක් පුංචි චාලට් කුමරියට තිබෙනවා කියලා ගණන් බලල තියෙන්නෙ.
මේ චාලට් කුමරිය තමන්ගෙ මව වන කේට් කුමරිය වගේ හැඩකාර චරිතයක් බවට පත්වෙමින් ඉන්නවා කියලා ගොඩක් දෙනෙක් කියනවා. ඒ කියන්නේ ඇගේ වටිනාකම තවත් වැඩිවෙනවා. ලස්සන වෙනකොට ලොකු වෙනකොට කොහොමද චාලට් කුමරියගෙ වටිනාකම වැඩි වෙන්නෙ. ඒ ප්‍රශ්නෙටත් උත්තරයක් තියෙනවා. අපි හිමීට බලමු.
2015 මැයි මස 15 වැනිදා චාලට් කුමරියගෙ උපත මුළු මහත් ලෝකයේම අවධානයට ලක්වුණා. ඇය පවුලේ දෙවැනියා පළමු ගැහැණු දරුවා. ඇයව ජනතාවට ප්‍රදර්ශනය කරන මොහොතේ පුංචි චාලට් ඔතලා තිබුණෙ ''GH Hurt ''Sons'' කිය සළුවෙන්. ඒ සළුවට ලෝකෙ පුරා ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමු වුණා. කාටවත් හිතාගන්න බැරි වේගෙන් තමයි ඒ සළු ලෝකය පුරා අලෙවි වුණේ.
මාධ්‍යය තමයි මේ දේවල් ඉස්මතු කරන්න මූලික වුණේ. කොහොම වුණත් ඒත් එක්කම චාලට් කුමරිය අලෙවිකරණය ඇතුළෙ සන්නාමයක් බවට පත්වුණා. අද වෙනකොට ඇය භාවිත කරන සෙල්ලම් බඩු, අඳින පලඳින ඇඳුම් ආදිය ගැනත් සැලකිය යුතු අවධානයක් එක්සත් ජනපදය තුළ තියෙනවා. ඒ නිසාම ඇය භාවිත කරන ආකරයේ ඇඳුම්, බඩු භාණ්ඩ වෙළෙඳ පොළට නිකුත් කිරීමටත් විවිධ සමාගම් පියවර ගත්තා පහුගිය කාලේ. ඇත්තටම චාලට් කුමරිය වගේ තමන්ගේ දියණියන්ට සලකන්න ගොඩක් දෙනෙක් කැමතියි.
විශේෂයෙන්ම ප්‍රභූ පාන්තික බ්‍රිතාන්‍යයන් මේ වගේ දේවල්වලට ගොඩක් කැමතියි කියලා සඳහන් වෙනවා. ඒ කොහොම වුණත් චාලට්ව ඍජුව සිය භාණ්ඩ අලෙවිකරණය වෙනුවෙන් භාවිත කරන සමාගම් තම ආදායමින් කොටසක් ඇයට ලබාදෙන බව තමා දැනගන්න ලැබෙන්නේ.
මේ විදියට ගියොත් චාලට් කුමරිය තරුණියක් බවට පත්වෙද්දී ලෝකයේ විශාල අවධානයක් ඇයට ලැබෙයි. එතකොට ඇගේ ආර්ථිකමය වටිනාකම තවත් ඉහළ යනවා. අපි දැක්ක සමහර වාර්තාවල තිබුණ එක්සත් ජනපදය ආර්ථිකයට ඩොලර් බිලියන තිහක් එකතු කරන්න ඇයට පුළුවන් වෙයි කියලා. කොහොම වුණත් ඒ තොරතුරු නිශ්චිතවම තහවුරු කරලා කියන්න බැහැ.
එක්සත් ජනපදයත් බිලියන ගණනින් අලෙවිකරණයේ යෙදීම දරුවන්ට හැකියාව ඇති බව විශ්වාස කරනවා. ඒ නිසාමයි මේ විදියට ඔවුන්ගේ ශුද්ධ වටිනාකම තීරණය කරන්නෙ. මෙතැනදී චාලට් කුමරියගේ තිබෙන විශේෂත්වය සිය පියාගෙන් පසුව ඔටුන්න හිමිවෙන ජෝර්ජ් කුමාරයාටත් වඩා විශාල වටිනාකමක් ඇයට ලැබීම. ජෝර්ජ් කුමාරයාගෙ වටිනාකම ඩොලර් බිලියන තුනයි. චාලට් කුමරියගෙ වටිනාකම ඩොලර් බිලියන පහයි.
ඉතින් දැනටමත් මේ පුංචි කුමරිය එංගන්තයේ ඉන්න වටිනාම වගේම ජනප්‍රිය පුද්ගලයන්ගෙන් කෙනෙකු බවට පත්වෙලා අවසන්. ඇය ගැනත් මේ වෙනකොට මාධ්‍යවේදීන් පිස්සුවෙන් වගේ පුවත් රුස් කරන්න පටන් අරන්. ආරංචි විදිහට රජ පවුලේ දෙවැනි බලු සුරතලා වෙන ‘ඕර්ලා’ දැන් චාලට් කුමරිගෙ සුරතලා වෙලා.
තව දෙයක් රැජනගෙ හැඩහුරුකම් චාලට් කුමරියට තියෙනවයි කියලා විශ්වාසයකුත් ගොඩක් දෙනාට තියෙන එක. ඒකත් ඇගේ වටිනාකම ඉහළ යන්න හේතුවක්. කොච්චර ධනවත්, බලවත් වුණත් මේ පුංචි කුමාරිකාවට තාම වයස අවුරුදු හතයි. රාජකීය සීමා බන්ධන යටතේ ජීවත්වෙන චාලට් කියන්නෙත් පුංචි දරුවෙක්.
I නිසල්