අහසට සඳ නැගෙනා සඳ ඈ ගයන්නීය. 'සඳ පහන් රෑ' ඇය ළය ලෙයට සොඳුරු ස්වරයකින් ආමන්ත්‍රණය කරමින් ගයන්නීය. 'කල්ප සහස් කල්' 'විඳින්නට ජීවිතය' 'හන්තාන කඳු පිස' 'සුළං කවුළු පැන' 'ඔබේ හීනය' අවදි කර 'සඳ පහන්' රෑ ආදරයේ 'රෝස මල් දෝත' දරා ඈ ගයන්නීය. ඉඳින් ඒ සොඳුරු සංධ්වනිය නිවී සැනහිල්ලේ අසන්නට නොව විඳින්නට ජනවාරි 07 රෑ 7.00 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේ හෝරා කිහිපයක් වෙන්වුණේ ඒ 'සඳ පහන් රෑ' ඇයට ගයන්නටමය.
රත්න ශ්‍රී විජේසිංහ, ලූෂන් බුලත්සිංහල, සුනිල් ආර්. ගමගේ, බන්ධුල නානායක්කාරවසම්, යමුනා මාලිනී, නයනසේන වන්නිනායක, නාරද විජයසූරිය ඇතුළු ගී පද රචකයන්ගේ ගී පද රෝහණ වීරසිංහ, නාලක අංජන කුමාර, සමන්ත පෙරේරා, දර්ශන වික්‍රමතුංග, රෝහණ ධර්මකීර්ති ආදී සංගීතවේදීන්ගේ ස්වර සංයෝජනයන්ගෙන් සම්මිශ්‍රණය වී ඇයට ගයනු පිණිස නිමැවුණි. සංගීත අධ්‍යක්ෂණය ඉදිරියේ ලියැවුණේ නාලක අංජන කුමාර යන සංගීතවේදියාගේ නමයි. ප්‍රසංග කථනය ඉදිරියේ ලියැවුණේ සොඳුරු ගී පද තිළිණ කළ නාරද විජයසූරිය යන නමයි.
'සඳ පහන් රෑ' ගයන්නී - ඇය කාංචනමාලා රණසිංහයි. පනස්දහස් වාරයක් වේදිකාවන් මත දිගහැරුණු සිංහබාහු නාට්‍යයේ සුප්පා දේවි චරිතයට ආත්මීය ප්‍රාණයක් දුන් මාලිනී රණසිංහ නම් අසහාය රංගවේදිනිය ඇගේ අම්මාය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු වේදිකා නාට්‍යයේ සුප්පා දේවිය ලෙසින් මාලිනී රණසිංහ ඒ සා ගැඹුරු වපසරියක විවරණය ලබමින් තම රංගන ප්‍රතිභාව ගෙන හැර පාද්දී ඇගේ ආදරණීය සැමියා - කාංචනමාලාගේ ආදරණීය අප්පච්චි ටෙරන්ස් රණසිංහ පොතේ ගුරු ලෙස සිංහබාහු වර්ණවත් කළේය.
මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද කාංචනමාලා වෛද්‍ය ක්ෂේත්‍රය තුළ අධි ශිෂ්‍යත්ව තුනකට හිමිකම් කියමින් දැනට ඔස්ට්‍රේලියාවේ ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරන්නීය. 1992 වර්ෂයේ, Tower Hall Drama Competition හි සමුද්‍රදේවි නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟමින් හොඳම නිළි සම්මානයටද පාත්‍ර වෙමින් රංගනය පිළිබඳ ශිෂ්‍යත්වයක්ද උසස් බාලිකා දියණියක ලෙස දිනාගත් කාංචනමාලා රංගනයට සංගීතයට මෙන්ම ක්‍රීඩාවටද දස්කම් දැක්වුවාය. මේස පන්දු, අත්පන්දු වැනි ක්‍රීඩාවන්හි ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබාගත් ශිෂ්‍යාවක වූ ඇය 1992 – 93 කාලපරිච්ඡේදය තුළ උසස් බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස සහෝදර ශිෂ්‍යාවන්ට අභිමානවත් මඟපෙන්වීමක් ලබා දුන්නීය. විද්‍යාලීය පෙරදිග තූර්ය වාදන කණ්ඩායමේ සිතාර් වාදිකාව වූ ඇය බටහිර තූර්ය වාදන කණ්ඩායාම් නායිකාව ලෙසද කටයුතු කළාය.
1986 – 1993 දක්වා මහනුවර උසස් බාලිකා විදුහල් සෙවණේ ගෙවූ කාලය තුළ ත්‍යාග ප්‍රධාන උත්සව හතකදී ඈ ලබාගත් ත්‍යාග සංඛ්‍යාව 50 කි. නර්තනයට, සංගීතයට, ක්‍රීඩාවට මෙන්ම සිප්සතර කෙරෙහි ද ඈ තුළ වූ නිසඟ නිපුණතාව උදෙසා එය මනරම් සාක්ෂියකි.
1996 වසරේදී පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයට ඇතුළත්ව වෛද්‍යවරියක ලෙස විශේෂඥ උපාධි දක්වා එතෙර සරසවි තෙක් දුර ගමනක් ගිය කාංචනමාලාගේ ජීවිතයේ තවත් එක් සොඳුරු සන්ධිස්ථානයක් වූයේ 2019 වසරේදී ලලිතා සරච්චන්ද්‍රගේ ආශිර්වාදයෙන් සිංහබාහු නාට්‍යයේ සුප්පා දේවියගේ චරිතය රඟපාන්නට ලද විවරණයයි. සැබැවින්ම සුප්පා දේවිය ලෙස තම මවගේ සම්මානනීය භූමිකාවේ ඊළඟ නිළි සලකුණ සනිටුහන් කරමින් සුප්පා දේවිය ලෙසට කරළියට සපැමිණීමට ඈ ලද වරම ආශිර්වාදයකි. එසේම විශ්ව සරසවි රෑ රැජන ලෙස පේරාදෙණිය සරසවියේ ඉගෙන ගන්නා කාලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ කාංචනමාලා සම්පත් බැංකුවේ සේවය කළ කෙටි කාලය තුළ සම්පත් රුජන ලෙසද අබිසෙස් ලද්දාය.
තම බිරිඳ සුප්පා දේවිය ලෙස සිය දහස් වතාවක් වේදිකාවට කැඳවූ ටෙරන්ස් රණසිංහ පොතේ ගුරුට තම දියණිය එසේ කැඳවන්නට වරම් නැතිවුණේ ඒ වෙද්දී ඔහු ජීවන වේදිකාව හැර ගොස් සිටි හෙයිනි.
හින්දුස්ථානි සංගීතයට හා ගායනයටත් සිතාර් වාදනයටත් එක සේ පෙම් බැඳි කාංචනා 2017 වසරේ සිට සුභාවිත ගීත ගායනයට එක් වූවාය.
මේ ඇය පැමිණි දිගු සොඳුරු අභිමානවත් ගමන් මගේ සන්ධිස්ථාන කිහිපයක් පමණි. 'සඳ පහන් රෑ' යනු තවත් දිගු ගමනක චමත්කර වූ ඇරඹුමක් ලෙස මම දකිමි.
සැබැවින්ම ඈ ඇගේ ගැඹුරු වින්දනීය සොඳුරු හඬ සමඟ තවත් බොහෝ දුර යා යුතුමය.
කාංචනමාලා මේ සුබ පැතුම ඒ දිගු ගමන වෙනුවෙන්!
I සංජීවිකා