මාව කියවන්න... මම ඔයාගේ ඇස් දෙක දිහා බලාගෙන හිටපු ඒ හැම තත්ත්පරයෙදිම මම මගේ ඇස් දෙකින් ඔයාගේ ඇස් දෙක දිහා බලාෙගන ඉල්ලුවේ එච්චරයි... මට ආදරය කරන්න... ඒත් මාව කියවලා මට ආදරය කරන්න. මම ඔයාගේ ඇස් දෙක දිහා බලාගෙන ඉල්ලුවේම එච්චරයි.
මම කවදාවත් ඔයාගෙන් කිසිම දෙයක් ඉල්ලුවේ නෑ ආදරය හැරෙන්නට... මම කවදාවත් ඔයාගෙන් කිසිම දෙයක් ඉල්ලුවේ නෑ පුංචි කාලයක් හැරෙන්න... ඔයා දන්නවා මට මගේ අත් දෙක දිගු කරන්න ඕනෑ වුණේ ඔයාගේ අත් දෙක අල්ලාගන්න නෙවෙයි. ඔයාගේ විඩාපත් ඇස්වල මතුවෙච්ච කඳුළක් ඇස් අග්ගිස්සේ කොපුල් තල මතට වැගිරෙන්න ඉස්සර ඒ කඳුළ පිසලන්න.
ඒත් ඔයා අන්තිමේදි මට කීවේ ඉඳිකටු තුඩකින් අනිද්දි රිදෙන වචන ටිකක්...
මමයි උඹෙ ඇස් දෙකට
මේ හැටි
විඩාබර දුක් කඳුළු මැව්වේ
උඹයි මට ඒ කඳුළු පිසලන
මොහොතෙදිත් මට එහෙම කීවේ
මගෙත් හිත මොන තරම් රිදුණද
මගෙන් ඇයි ඒ ගැන නොහැව්වේ
උඹයි හදවත සියුම් තැන්වල
පිහි තුඩින් ආදරේ ලීවේ...
ඔයාගේ ඇස්වල කඳුළු මැව්වේ මම නම් ඒ කඳුළු පිහදාන්න මම ඔයාගේ ළඟින් බිම ඉඳගන්නද? මට හැමදාම දකින්න ඕනෑ වුණේ ඔයාගේ ඔය ලස්සන හිනාව... මම ආසයි ඒ අමුතු හිනාවට... ඔයාගේ හදවත හිතුවිල්ලක් හිතුවිල්ලක් ගාණේ දිගහැරලා පෙන්වන ඔය ලස්සන හිනාවට මම කොච්චර ආසද.. මගේ ජීවිතයේ විඩා නිවන නවාතැන්පොළක් වුණේ ඒ හිනාව.. ඔයා මට කියද්දි
මමයි උඹ ඇස් දෙකේ මේ හැටි
විඩාබර දුක් කඳුළු මැව්වේ
කියලා
ඔයා දන්නවද වාවාගෙන හිටියට
මගෙත් හිත මොන තරම් රිදුණද?
මගේ හිත රිදුණු බව දැන දැනම
මගෙන් ඇයි ඒ ගැන නොහැව්වේ...
පුංචි දේටත් රිදෙන මගේ හිත මට කියන්න ඇයි ඔයා ලේ ගලන්න සීරැවේ...
හදවතේ ඉසියුම්ව ඉසව් සීරැවෙන් සීරැවෙන් සොයමින් සොයමින් ඔව්... සොයමින් ඇයි මේ තරම්ම රිදෙව්වෙ...
ඇත්තටම...
උඹයි හදවත සියුම් තැන්වල
පිහි තුඩින් ආදරේ ලීවේ...
ආදරේ වුණත් ලියුවේ පිහි තුඩකින් නම්...
පිහි තුඩක් ඇනෙන තැනත් රිදුමක්... ලේ වැහිරෙන තුවාලයක් ඇති කරපු තැනක ඔයා කොහොමද ආදරය කියන වචනය ලියන්නේ... ඒත් ආදරය කියන වචනය කියපු හැම තැනකම ඔයා ඒ වචනය කීවේ වේදනාව අහුරැ පිටින් ඉහුරැවමින්... රිදවමින්.. පාරමින්.. හඬවමින්.. ආදරෙයි කීවට වැඩක් නෑ රත්තරන්...
මගේ හිත කියවන්න බැරි දුරක ඉඳන් මට ආදරෙයි කීවට වැඩක් නැහැ..
රත්තරන්... මට ආදරය එපා.. ඒත් මාව කියවන්න... මම කවුද කියලා අඳුරගෙන මට ආදරය කරන්න...
දැවෙන චිතකය විරහ ගිනි මැද
මමයි නිතරම උඹව හෙව්වේ
රිදෙන බව දැන දැනම අපමණ
උඹයි හදවත සියුම් තැන්වල පිහි තුඩින්...
පිහි තුඩින් ආදරය ලීවේ..
ප්‍රේමයම ශෝකයක්.. ඔව්... අත්හල යුතු තැනදි සුරක්ෂිතව හදවතේම තෙරපගෙන ඉද්දි ප්‍රේමයම ශෝකයක්... ඒත් ආදරය හින්දම වෙන්න ඇති විරහ ගිනි මැද දැවි දැවිත් මමයි නිතරම උඹව හෙව්වේ...
එහෙම හොයද්දිත්
රිදෙන බව දැන දැනම අපමණ
උඹයි හදවත සියුම් තැන්වල
පිහි තුඩින්... පිහි තුඩින් ආදරේ ලීවේ...
මට හැමදාම හැම මොහොතකම ඕනෑ වුණේ මම දැවි දැවී හරි නුඹව නිවන්න... ගිනි උහුලමින් හරි නුඹේ ජීවිතය මත වැස්සක් වෙලා වහින්න... කාන්තාරයක් බවට පරිවර්තනය වෙච්ච රළු බිමක හුස්මක් වැටෙන හින්දා ජීවිතය වැළඳගත්ත හදවතක රිදුම මම ඔයාට කොහොමද කියලා දෙන්නේ.. මට ඔයාව දෙන්න පුළුවන් සහ මම ඔයාව දුන්න ආදරය අනන්තයක්. ඒත් මම කොහොමද දුන්න ආදරය වෙනුවෙන් ඔයාගේ හදවතෙන් ආදරය ඉල්ලන්නේ...
ආදරය කියන්නේ ආයාචනයක් යාතිකාවක් යාඥාවක් නෙවෙයි... නොඉල්ලන තැනකදිත් පිරිනැමිය යුතු දෙයක්...
දැවෙන චිතකය කඳුළු පිනි ඉස
මමයි ඇවිලෙන ගින්න නිව්වේ
මතකවල සුසුමන් දරාගෙන
උඹයි හදවත සියුම් තැන්වල
පිහි තුඩින් ආදරේ ලිව්වේ....
මමත් දවමින් නුඹත් දැවෙද්දි මගේ ඇස් අග්ගිස්සෙන් ගලා ගිය කඳුළු ඉහිමින් ප්‍රේමයේ දැවෙන ගින්න නිවමින් මමයි ආයෙමත් ඔව් ආයෙමත් නුඹව සැනසුවෙත්... නුඹ ඉතිරි කළ මතකයක් ගානේ රුඳුණු සුසුම් දරාගෙන මම උඹේ හදවත මත ගිනි නිවද්දි
උඹයි හදවත සියුම් තැන්වල
පිහි තුඩින් ආදරේ ලීවේ...
මට කියන්න ඇයි ඔයා එහෙම කළේ..
පද සංයෝජනය - දිල්ශාන් පතිරණ
නාද හා ගැයුම - Sanjeew Lonliyes
I සංජු