2023 ජනවාරි 15 වන ඉරිදා

කුරුඳුවත්තෙ එදා විත්ති

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 50

"වරින් වර කාණ්ඩ වශයෙන් කොළඹ වරාය පේන මායිමට පැමිණෙන ඉංග්‍රීසි නැව් දුටු ආණ්ඩුකාර කාර්යාලයේ උසස් නිලධාරීන් වහ වහා සටනට සූදානම් වන ලෙස කොට්ටාරමේ නිලධාරීන්ට සහ හේවායින්ට උපදෙස් දුන්නෝය. කොටුවේ කන්තෝරු මෙන්ම කොට්ටාරමද කුහුඹි ගුලක් මෙන් ඇවිස්සිණි. ගජනා මුහුද දෙසට හරවන ලද අතර, තුවක්කු ගත් සෙබළුන් නගරයට ඇතුළු විය හැකි මර්මස්ථානවල ස්ථානගත කරන ලද්දෝය. ලන්දේසි හේවායෝ නගරයේ වෙළෙඳසල්වල තිබූ ආහාර, බුලත්, පුවක්, දුංකොළ සහ කෝපිද, අරක්කුද මුදල් ගෙවා හෝ නොගෙවා බලෙන්ම මෙන් පවරා ගත්තෝය. නගරයේ සිටි බොහෝ දෙනෙක් හැකි දෙයක් පොදි බැඳගෙන කන්ද උඩරට මායිම්වලට පලා ගියෝය. අවිනිශ්චිත දින දෙකකට පසු උදෑසනක නැව් සතරක් සමඟ වරාය සමීපයටම ආ එලිසබෙත්, නැවේ වූ ගජනාවකින් කොට්ටාරම දෙසට වෙඩි තබනු ලැබීය. සටන ආරම්භ විය. ආරම්භයේ සිටම පහර දෙන්නා ක්‍රියාශූර විය. රාත්‍රිය දක්වාම වෙඩි හුවමාරු වූ අතර ආපසු ගිය නැව්වල සිටි හේවායන් ආලෝකයකුදු නොමැති වූ කොට්ටාරමට වරින් වර වෙඩි තැබූ අතර පසුදින උදෑසනම ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළෝය. ලන්දේසි පාර්ශ්වය දුර්වල වන බව ඔවුන් වෙතින් එල්ලවන ප්‍රහාර අඩු වී යාමෙන් පැහැදිලි විය. තවත් දින සතකින් සීතාවක කඳවුරු බැඳ සිටි ඉංග්‍රීසි හමුදාව කොළඹ බලකොටුව බලා ආවෝය. එයින් දින කිහිපයකට පසු කොට්ටාරයේ ඉංග්‍රීසි කොඩිය ළෙලදුනි. (ඉංග්‍රීසි හමුදාවේ සිටි තරුණ සොල්දාදුවෙක් විසින් ලියන ලද වාර්තාවකින් කොටසකි.)

දින ගණනාවක්ම රූස්ස අලි මංතලාවේ, රෙදි පෙරෙදි, පුවක්, පිඟන් කෝප්ප, මුව ගෝන හම්, පිත්තල පඩික්කම්, ගිර, කැති, පොරෝ, කුරුඳු ගම්මිරිස් සහ කුරහන් වැනි පොදි කරගසාගෙන ඇවිදීම නිසා විඩාවට පත්ව සිටි සියාතු අවසාන පොදියත් දෙමටගොඩ කැලෑවේ සිට සිය පැලට ගෙන ආවේය. අනතුරුව එම පොදි වෙන් වෙන්ව නිසි ලෙස ඇතුල් කාමරයේ තැන්පත් කළ සියාතු අවසානයට ගෙන ආ පොදියක වූ කාසි සහිත ගෝනි මල්ල නිවසට මඳක් ඈතින් වළ දැම්මේය. ඉක්බිති දහඩිය මෙන්ම කටු අතුවලට සීරී ලේ ගලන සිරුරින් යුතුව අසල වූ ළිඳට ගොස් නා ගත්තේය. අනතුරුව කොටුවේ සිට මරදාන දෙසට වූ අඩි පාර වැටී තිබූ කැලෑ කුට්ටියෙන්, වැට කඩුළු ගසා වෙන් කරගෙන තිබූ අක්කරයක පමණ ඉඩමේ කොණක අටවාගෙන තිබූ තම පැලට පැමිණියේය. දැඩි තෙහෙට්ටුවෙන් පෙළුණද අධික කුසගින්න නිසා හාල් පතක් ලිප තබා කැලයෙන් කඩාගෙන ආ කොච්චි අහුරක්, කරවල කෑල්ලක් සහ ලුණු සමඟ අඹරාගෙන ගිල දැම්මේය. ඉන්පසු පැලේ පිල මත වැතිර සුපුරුදු රැහැයියන්ගේ නොනවතින විලාපයට කන් දුන්නේය. ඉඳහිට කොටුවේ ලන්දේසින් විසින් කන්ද උඩරටින් එතැයි සිතන සතුරන්ට තමන් අවධානයෙන් සිටින බව ඇඟවීම සඳහා වරින් වර පත්තු කරන ගිනි බට හඬ පරයා මුහුදේ ඝෝෂාව ඔහු දෙකන් වැළඳ ගත්තේය. තම නිවසේ ඉදිරිපස සිට මුහුද තෙක් පැතිර ගිය පොල් රුප්පාව අතරින් පෙරී එන සඳ එළිය ද නිවස පිටුපසින් ඉඳහිට නැගෙන බකමූණකුගේ හුම් හඬ ද සමඟ කොටුව අසල රංචු ගැසී ගී ගයන කාපිරින්ගේ කපිරිංඤා හඬ 'යුද්ධය' අවසන් බවට හඟවන ලකුණු යයි ඔහුට සිතුණේය.

(කේ. සුනිල් ශාන්තගේ 'කුරුඳුවත්ත' කෘතිය ඇසුරෙනි.)