2023 පෙබරවාරි 05 වන ඉරිදා

එන්න රට වටේ යන්න කඳු දිගේ...

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 40

ඔන්න මචෝ කාලෙකට පස්සේ Tourism ආරම්භ වීමත් එක්ක ලංකාවේ නැගලා යන trend එකක් අපි දැක්කා. ඉතින් ඒ ගැන සුදාලා එක්ක පුංචි කතාවක් දාන්න තීරණය කළා. සුදාලා දන්නවා නේද ත්‍රාසජනක ක්‍රීඩා. මේකත් අයිති වෙන්නේ ඒ ගණයට. තව විදිහකින් කියනවා නම් මේක ලෝක ප්‍රසිද්ධ විනෝදාංශයක්. අපි මේ කතා කරන්න යන්නේ මචෝ 'හයිකින්' ගැන.

දැන් අපේ අටේ කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව තවත් මේ 'සීන්' එක නැගලා යනවා බලාගන්න පුළුවන්. හයිකින් කියලා කියන්නේ දැන් ලංකාවේ වේගයෙන් ප්‍රසිද්ධ වෙන trend එකක්. ලංකාවේ කොච්චර කඳු තිබුණත් විනෝදයට කඳු නගින සීන් එක නම් මෑත කාලීනව තමා නැගලා ආවේ. ඉස්සර මිනිස්සු කන්දක් නැග්ගේ මීයක් බඹරයක් කඩාගන්න. නැත්නම් බෙහෙත් පැළෑටියක් හොයාගන්න.

ඒත් දැන් ලංකාවේ සමහර තරුණ කොටස් පොඩි කණ්ඩායම් හදාගෙන මේ වැඩේට එකතු වෙලා ඉන්නවා. කඳු නගින්නන්ගේ එකමුතු තියෙනවා. Event එහෙම සැලසුම් කරනවා. මේකට වෙනම market එකකුත් හැදීගෙන එන්නෙ. දැන් ලංකාවට එන විදේශ සංචාරකයන් අතරෙත් පොඩි උන්දුවක් තියෙනවා කඳු නැගීම පිළිබඳව. ඇත්තටම මේක අපි positive විදිහට ගන්න ඕනෑ.

Local market එක ගැන කතා කළොත් මෙහෙමයි ඉතින් ඒක සිද්ධ වෙන්නෙ. එක එක කණ්ඩායම් දින වෙන් කරගෙන අදාළ පහසුකම් ලබා දීලා මේ ගමනට කට්ටියට ආරාධනා කරනවා. ඊට අමතරව මේවා වෙනුවෙන් කටයුතු කරන ආයතන කිහිපයකුත් තියෙනවා. සමහර කඳු ආශ්‍රිත ගම්මානවල අදාළ පහසුකම් සපයන පිරිසුත් ඉන්නවා. තාමත් ලොකු වාණිජ වටිනාකමක් ගොඩනැගුණේ නැතත් මේක ලොකු වාණිජ වටිනාකමක් ගොඩනගා ගන්න පුළුවන් ක්ෂේත්‍රයක් සුදෝ. 

විශේෂයෙන්ම ෆේස්බුක් එකේ හයිකින් event සැලසුම් කරන එක මේ දවස්වල සැරටම Trending. පසුගිය කොවිඩ්  කාලේ මේ සීන් එක නතරවෙලා තිබුණේ. ඊට කලින් වැඩේ සැරට හොඳට සිද්ධ වෙමින් තිබුණා. ලංකාවේ තරුණ තරුණියෝ අතර මේක හිතාගන්න බැරි විදිහට ජනප්‍රිය වෙමින් තිබුණේ. වසංගතය හින්දා තමයි ඒ ආපු ගැම්ම ටිකක් අඩු වුණේ.

දැන් වැඩේ සැරටම කෙරීගෙන යනවා. ඒක වෙනම ආකාරයක ආතල් වැඩක්. දැන් ලංකාවේ මේ සීන් එකට expert ලා ඉන්නවා. කඳු නැගීම තමන්ගෙ hobby එක කරගත්තු පිරිසක් ඉන්නවා. ඒ කණ්ඩායම එන්න එන්න වැඩි වෙනවා. එයාලා වැඩේට අනිත් අයවත් උනන්දු කරගෙන යන්නෙ. මීට සෑහෙන කාලෙකට කලින් වේ වැඩේ හුදෙකලාවේ කරපු වැඩිහිටියෝ දැන් ආයෙත් කරළියට ඇවිල්ලා පොඩි පරම්පරාවට උදව් කරනවා. සිරාවටම එක පට්ට.

ලංකාවේ කඳුකරය නිසා මේ 'සීන්' එක ලංකාවේ ලොකුවට නග්ගලා ගන්න පුළුවන්. ලෝකේ හයිකින් වෙනුවෙන් හැදුණු tourism මාර්කට් එකක් තියෙනවා. සමහර රටවලට සංචාරකයෝ යන්නේ කඳු නැගීම වෙනුවෙන්මයි. නේපාල් පේරු වගේ රටවල් මේ අතරින් ප්‍රධානයි. දැන් තායිලන්තය, වියට්නාමය, මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවලුත් මාකට් එකක් හදාගන්න පොඩි උත්සාහයක් දෙනවා.

තවත් සමහර සංචාරකයන්ගේ, සංචාරයේ එක කොටසක් විදියට කඳු නැගීම තියෙනවා. අවාසනාවකට මේ විදියට සංචාරකයෝ ලංකාව දිහාවට එච්චර හැරෙන්නේ නෑ. ඒකට හේතුව තමයි ලංකාව මේ හා සම්බන්ධව එච්චර ප්‍රසිද්ධ නොවීම. ලංකාවට ආවොත් සංචාරකයන්ට නගින්න කියලා තියෙන්නේ සමනල කන්ද විතරයි.

කොහොම වුණත් සංචාරකයෝ ටික ලංකාවට ගෙන්න ගත්තා නම් පොඩි promotion පාරක් දානවා. එහෙම සීන් එකක් අපේ ආර්ථිකයටත් පොඩි හයියක් වෙයි. දැනට අපේ කොල්ලො කෙල්ලො ටික කරගෙන යන වැඩ ඒකට ලොකු උදව්වක්. අපේ ඡායාරූප, වීඩියෝ, අන්තර්ජාලෙ තිර ප්‍රමාණය එහෙම ප්‍රමාණවත් නෑ සුදෝ. ඒක නිසා මේක ජාත්‍යන්තරයට අරගෙන යන්න කවුරුත් උදව් දෙන්න ඕනෑ.

උත්සාහ කළොත් ඒක කරන්න බැරි වැඩක් නෙවෙයි. අපි කඳුකරයක් තියෙන රටක්. ඇත්තටම අපි අපේ කඳුවලින් ප්‍රයෝජන අරගෙන නෑ. කොළ පාට ලස්සන කඳු අපිට තියෙන්නෙ. නගින්න ටිකක් අපහසු වුණත් පුදුම තරම් ලස්සනයි. ඒවා නැග්ගම දකින්න පුළුවන් දසුන් ඊටත් වඩා ලස්සනයි. ඒ නිසා ලංකාව ගැන සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්වලදී කඳු නැගීම ගැන කියන්න ඕනෑමයි ඉස්සරහට. හැමදාම මුහුදයි කැලෑවයි ගැන කියලා බෑ මචෝ.

සමහරක් නීති රීති වෙනස් කරන්න වෙයි. මොකද මචෝ ඔය සමහරක් රක්ෂිත ප්‍රදේශවල තියෙන කඳු නගින්න අවසර ගන්න එකත් කඳු නගිනවට වඩා අමාරු වැඩක්. ඇත්තටම හොඳ කඳු නගින්නො පරිසරයට හානි කරන අය නෙවෙයි. පුදුම විදියට පරිසරයට ආදරය කරන අය. ඒ නිසා මේකෙන් ලොකු හානියක් වෙයි කියලා හිතන්න බෑ. අනිත් එක මෙයාලා නගින කඳු සාමාන්‍ය අයට නගින්නත් බෑ. ඒ නිසා හරි ක්‍රමයක් හදලා අවසර ලබා දෙනවා නම් වටිනවා.

අනිත් කාරණය මේක ඉතාම සෞඛ්‍ය සම්පන්න විනෝදාංශයක්. මේ වෙද්දි ලෝකය පුරාම තියෙන සෞඛ්‍ය ගැටලුවලට විනෝදාංශය උත්තරයක් කරගන්න හදන මිනිස්සු ඉන්නවා. දේශීය වශයෙනුත් අපිට මේක උත්සාහ කරලා බලන්න පුළුවන්. මොකද උත්සාහ කළා කියලා පාඩු වෙන්නේ නෑ. සුදාලත් පුළුවන් try එකක් දීලා බලන්න. ඇඟටත් හොඳයි හිතටත් හොඳයි.

I නිසල්