2023 පෙබරවාරි 12 වන ඉරිදා

සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යළි දකින තුරා

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 140

නිරන්තරයෙන් මට නුඹව සිහි වේ. ඒ හැඟීම්බර ඇස්... ඒ හිනාවෙන ඇස්... දුඹුරු පාටින් දිලිසෙන ඒ ඇස් අග්ගිස්සෙන් වැගිරෙන සිනාවකට මම නුඹටත් නොකියාම පෙම් බඳිමි. මගේ හදවතේ ඉසියුම් නහරයකට පවා දැනෙන නුඹේ සුසුවඳ, ආත්මීය සුවඳ මම නුඹටත් නොකියාම හැම රැයක් මුළුල්ලේම විඳිමි.

නොඉල්ලමි කිසිවක්ම ආදරය හැරෙන්නට ඔව්... කිසිදු ඉසුරක් නුඹෙන් නොපතමි ආදරය හැරෙන්නට...

නුඹේ සුසුමක් රැඳෙන ඉහත්තාවක නතර වී නුඹේ ඇස් මත ඇඳෙන ආදරයේ හැම ඉසියුම් රේඛාවක්ම මම නිහඬව කියවමි. නුඹටත් නොකියාම කියවමි. නුඹේ සිනහව තරම් සංසාර මතකයක් මා වෙත කැඳවූ අන් යමක් නැත. නුඹේ හඬ තරම් මා ආත්මය සැනසූ තවත් හඬක් මෙදියත නැත.

මම ආසයි ඒ රෑට... නුඹ රාගයේ මෘදු වදන්වලින් මා සනසන, මා සුවපත් කරන ඒ මනරම් රාත්‍රියට... මගේ හිත හිරිවට්ටන ඒ හඬ මට ඇසුණු ඒ රාත්‍රියට අනේ මම හරිම ආදරෙයි. මම බලාගෙන ඉන්නවා ආයෙත් එහෙම දවසක් එනකම්.

සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යළි දකින තුරා 
රුව් පිළිරුව් දී ඇසෙන ඔබේ හඬ
යළි මගෙ සවනත වැකෙන තුරා
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා...

බලාගෙන ඉන්නවා ඒ දවස එනකම්... සංසාරයක් මතක හිටින එක මොහොතක් නුඹත් එක්ක තනි වෙන්න මම මඟ බලාගෙන ඉන්නවා...
මම කොහොමද මගෙ මැණික...
විඳින්න දුන් ජීවිතය අරන් 
විඳවන්නෙ මේ තරම්
මගේ ලෝකය පුරා ඉන්නෙ මට නුඹම විතරයි...
නාල්ලා නිය තුඩකින්වත් නුඹට පෙම් කරපු ගැහැනියයි මම...
නුඹේ ලෝකයේ එක තැනක ඇය... ඒත් මට මගේ ලෝකයම නුඹ...

මගේ ආත්මයම, මගේ හැම හුස්මක්ම, මගේ හැම මිහිරක්ම, මා ගයන හැම ගීතයක්ම, මගේ ජීවිතයම නුඹමයි මට
නුඹේ හුස්මක්, නුඹේ හඬක් ඇසෙන්නට නැති හැම මොහොතකම මගේ හිත ඇවිලෙන්නේ ඒ හින්දා...

දෙලොවක් අතරේ සරන ඔබේ හිත
මෙතරම් සැසලෙන් නැතුව ඇති
ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට
වැඩියෙන් දුක දැනෙනවා ඇති
විඳින්න දුන් ජීවිතය අරන් මං
විඳවන්නද මේ භවය පුරා...

නුඹට දැනෙනවා නම් හඬන මගේ හිත...
නුඹට දැනෙනවා නම් දැවෙන මගේ හිත...
නුඹට දැනෙනවා නම් නුඹවම ඉල්ලන මගේ හිත...
මගේ ආදරය...
මගේ පණ... එහෙම කියද්දි ඔයාට කවදාවත් දැනුණෙ නැද්ද මම වගේ පණටත් වඩා ආදරෙයි කියන මගේ ආදරය මහමෙරක් තරම් වග...

භවයෙන් භවයට අහිමිව හිමිවෙන
නොපැතූ පාරමිතාව පුරා
සමුගනිමුද අපි අපේම වූ මතු
භවයක යළි හමුවෙමුයි පතා
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා...

නුඹ හා යා වුණු හැම මතකයක්ම මම මගේ හදවතේ පරිස්සමින් සිර කර තබමි. සංසාර කැටපත් පවුර මත නුඹ හා යා වුණු ආදරයේ හැම මතකයක්ම කවියකට අමුණා කවියක් ලියා තබමි. එන්න මගේම වී නුඹ සසරින් සසරම ඒ කවිය මා එක්ක ගයන්න... එන්න ගයන්න... සසරන් පුරා ආදරණීයම ආදරණීය කවියක් ගයන්න මා එක්ක.. එන්න ඉතින් නුඹ අසුරු සැණින් එක මොහොතකට...

එහෙම සසරක, එහෙම භවයක නුඹ මගේ වී මට හිමිවන තුරු මට කියා දෙන්න

නොවිඳින ජීවිතය විඳිමින් ජීවත් වෙන්න...

සදාතනිකව සංසාර සුවිසැරිය පුරාවට මගෙ මැණික මම නුඹට ආදරෙයි.

පද - අයිරාංගනී මද්දුමබණ්ඩාර  
සංගීතය - කරුණාරත්න විජේවර්ධන
ගැයුම - දයාන් විතාරණ