2023 පෙබරවාරි 19 වන ඉරිදා

’සඳගිර’ හැන්දෑව සරසන වසර විසි පහක ගී තනු සක්මන

 2023 පෙබරවාරි 19 වන ඉරිදා, පෙ.ව. 06:00 116

"මටත් තිබුණා ප්‍රේමයක්
තාම ඉඳහිට මතක
දළුලන ප්‍රේමයක්
කාලයේ දුර ගෙවා ආ මුත්
හිතේ ගැඹුරේ නිදා නොනිදන
මටත් තිබුණා ප්‍රේමයක්"

එවැනි ප්‍රේම කතා ප්‍රස්තුත කරගෙන ලියූ ගී සියක් දහසකට සොඳුරු තනු නිමැවූ ගී තනු වියමනක ලස්සන හිතක් ඇති හිත හොඳ අයිතිකාරයෙකු ගැන මං ඔබට මේ කියන්නේ සඳගිර Live in concert එළිපත්තෙ ඉඳගෙන... ගී තනු සමඟ දර්ශන ගෙවූ ජීවිතයට විසි පස් වසරක් සනිටුහන් වෙද්දි ඒ ආදරණීය ගමන් මඟ සමරන්න පෙබරවාරි 25 හවස 5.00ට කොළඹ නෙළුම් පොකුණ රඟහලට එන්න 'සඳගිර පාමුල' නැවතී ගීතයත් එක්ක ජීවිතය විඳින්න..

0712-055504 දුරකථන අංකයට වට්ස්ඇප් ඔස්සේ පණිවිඩයක් එව්වොත් හැකිවේවි ඔන්න ඔබටත් 'සඳගිර' විඳින්න ආසනයක් වෙන් කරවා ගන්න. LDS අවුරෝරා පදනම 'සඳගිර' අනුග්‍රාහක දායකත්වය දරද්දි කථනයෙන් සඳගිරට ප්‍රාණයක් දෙන්නේ ආදරණීය නිවේදක වජිර ජයවර්ධන.

අමරසිරි පීරිස්, වික්ටර් රත්නායක, ටී.එම්. ජයරත්න, දයාන් විතාරණ, කරුණාරත්න දිවුල්ගනේ, ශානිකා සුමනසේකර ඇතුළු ගායක ගායිකාවන් සමුදායකගේ හඬ සංධ්වනියෙන් මියුරුමත් වෙන 'සඳගිර' සැඳෑවට රඹුකන සිද්ධාර්ථ හිමි, ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, සුනිල් ආර්. ගමගේ, ශාන්ත කුමාර විතාන, යමුනා මාලිනී, රසික ඩී. දුමින්ද වැනි ගී පද රචකයන් රුසක් ගී රචනයෙන් එක් වී ඉන්නවා.

සැබැවින්ම මේ වෙද්දි සංඛ්‍යාවෙන් 1500ක් ඉක්මවූ ගී තනු නිර්මාණවලියක අයිතිකාරයකු වී සිටින දර්ශනගේ විසි පස් වසරක ගමන් මඟ සිහිපත් කරන සඳගිර Live in concert වාදන දායකත්වයෙන් සරසන්නේ මහින්ද බණ්ඩාර ප්‍රමුඛ වි විසි පස් දෙනෙකුගෙන් යුත් ප්‍රවීණ වාදක මඬුල්ලක්.

දර්ශනගේ 25 වසරක සංගීත සුවිසැරියේ අක්මුල් සොයා යන ගමනේදි පළමු ස්තූතිය ඔහු පුද කරන්නේ සාරසිප් සොයා ගිය කොළඹ අසෝක විද්‍යාලයට සහ කොළඹ ආනන්ද විද්‍යාලයට

කලා භූමි කලා ආයතනයේ ආනන්ද වීරසිරි හා ලක්ෂ්මන් විජේසේකර යන ගුරුවරුන්ගෙන්ද කොළඹ අසෝක විද්‍යාලයේ ධම්මිකා කරුණාරත්න, ලෙස්ලි විජේවික්‍රම යන ගුරුවරුන්ගෙන්ද අවිස්සාවේල්ල පන්සිළු කලායතනයේ ආනන්ද රාජපක්ෂ සහ ගාමිණී බඹරගම යන ගුරුවරුන්ගෙන්ද විශාරද නිහාල් ගම්හේවා මහතාගෙන්ද සංගීතයේ සාක්ෂරතාව සොයා ගිය දර්ශන 1998 සිංග් ලංකා ආයතනයෙන් නවක ගී තනු නිර්මාපකයන්ට මහඟු අවස්ථාවක් උදා කරමින් පුවත්පතක පළවුණු දැන්වීමකට අනුව පද රචනය කර තනු නිර්මාණය කර යොමු කරන ලද 'ගිරි සිරසින්' සඳ පායා යන ගීතය තරගකාරී ගීත 400 කින් පමණ තෝරාගනු ලැබූ ගී 16 තුළට තේරී පත් වුණා. එලෙස ආචාර්ය නන්දා මාලනියගේ 'මලට රේණු' ගී සමුච්චයට ඇතුළත් වූ ගිරි සිරසින් සඳ පායා ගීතය දර්ශන වික්‍රමතුංග විසින් ප්‍රවීණ ගායන ශිල්පිනියක් වෙත නිර්මාණය කළ පළමු ගීතයයි.

1998 වර්ෂයේදී ජාතික තරුණ සේවා සභාව මගින් නිවේදනය කරනු ලැබූ යෞවන සම්මාන උළෙල සඳහා 'ජීවිතය' නමින් සංගීත සංධ්වනියක් නිර්මාණය කර ඉදිරිපත් කරනු ලදුව 1999 වර්ෂය සඳහා යෞවන සම්මාන තරගාවලියෙන් ප්‍රථම ස්ථානය ලබාගැනීමට සමත් වූ ඔහු සුනිල් ජයන්ත නවරත්න, බණ්ඩාර ඇහැළියගොඩ, සුනිල් ආර්. ගමගේ හා නිහාල් ගම්හේවා මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේ ජාතික තරුණ සේවා සභාව සහ ජාතික රෑපවාහිනිය ඒකාබද්ධව 1999 වර්ෂයේ දී පවත්වනු ලැබූ 'තුරුණු ශක්ති තාරුණ්‍යයේ සෞන්දර්ය චාරිකාව' සඳහා යොමු කරනු ලැබූ රවී සිරිවර්ධන විසින් රචිත කාංචනා හේරත් ගයනු ලැබූ ළිහිණියේ නාඬා හිඳින් ගීතයේ තනු නිර්මාණය උදෙසා සම්මානයට පාත්‍ර වුණා.

ලක්හඬ ගුවන්විදුලි නාලිකාවට 'සක් හඬක් බඳු ජය හඬක් - අන් කවුරුන්ද ලක්හඬ මිසක් - ලක්හඬ' වැනි ජිංගල්ස් කිහිපයක්ම දර්ශන අතින් නිර්මාණය විය. තවද 2014, 2015 හා 2016 වසරවලදී පවත්වන ලද රාජ්‍ය සංගීත සම්මාන උළෙලවලදී දර්ශනගේ ගී තනු නිර්මාණ සම්මානයට පාත්‍ර විය.

2016 දී 68 වැනි ජාතික නිදහස් දින උත්සවය වෙනුවෙන් අප අතරින් වියෝ වුණු ගුවන්විදුලි සංස්ථාවේ භාතිය ජයතිලක මහතා නිෂ්පාදනය කරන ලද ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් රචිත 'රාං කුරුළු දූපත' ගීත නාටකයේ සංගීත අධ්‍යක්ෂණය කරනු ලැබුවේද දර්ශන විසිනි.

චිත්‍රපට සංගීත නිර්මාණයේදී සුනිල් ප්‍රේමරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද 'ටවුමේ ඉස්කෝලේ', 'වැලි පවුරු', ත්‍රාසජනක චිත්‍රපටයක් වූ 'නිහඬ සෙවණැලි' සහ 'ලොක් ඩවුන්' චිත්‍රපටය (ඉදිරියේදී විකාශය වීමට නියමිත) සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත. 

ටෙලිනාට්‍ය සංගීත නිර්මාණයේදී සුදත්ත තිලකසිරි විසින් අධ්‍යක්ෂණය කරන ලද 'මාලතී මලක්', 'අඳුරු සෙවණැලි', 'සිකුරු වසන්තේ', 'නේරංජනා' ටෙලිනාට්‍ය ද අනුරුද්ධ ජයසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද 'සමනලුන්ට එන්න කියන්න' ටෙලිනාට්‍ය ද සංගීත අධ්‍යක්ෂණය කිරීමට දර්ශනට අවස්ථාව හිමි විය. එමෙන්ම ජාතික රෑපවාහිනිය මගින් විකාශය කරන ලද 'විමංසා' ටෙලිනාට්‍යයේ ටෙලි ගීතයක තනු නිර්මාණයෙන්ද ඉදිරියේදී විකාශය වීමට නියමිත ගයාන් ඉන්දික කහවත්ත අධ්‍යක්ෂණය කළ 'නිහඬ ගිර' ටෙලිනාට්‍යයේ තේමා ගීතයේ සංගීත අධ්‍යක්ෂණයෙන්ද දර්ශනගේ දායකත්වය ලබා දී ඇත.

කොහේ හෝ නුඹ නතර වී 
කාට හෝ ජීවිතය දී 
තුටින් නම් මට ඒ ඇති 
නුඹ මගේ නොවුණට කම් නැති'' 

(ගායනය කරුණාරත්න දිවුල්ගනේ/ පද - ශාමිලා හුසේන්)

අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනක 
අයදිමි වරම් මා හට ඉක්මන් වෙන්න 
නුඹ නැති දාට මේ ජීවන මඟ යන්න 
මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න 

(ගායනය - ක්‍රිශාන්ත එරන්දක/ පද - රසික ඩී. දුමින්ද), 

මට තනියම පිය නගන්න බෑ මේ ගිරි මඟ 
හිත ඇති හිතකට වඩින්න දෙනු මැන අවසර 

(ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්/ පද - කමලා මැණිකේ වීරසේකර) 

වැනි ගීත රුසක් උදෙසා ඔහු තනු නිමැවීය. 

ගීතය සමඟ ස්නේහයෙන් පියමං කර ආ දිගු මාවතේ 25 වැනි සැතපුම් කණුව අස දුටු සතුටු සිතින් නැවතී හිඳින දර්ශන තරම් ඒ ගමනේ මතක සමුදායෙහි විසුල රස - නීරස භාව දන්නා තවත් කෙනෙක් නැති තරම්ය. එහෙත් වර්තමානය තුළ එක්තරා සංගීතමය සලකුණක් දර්ශන වික්‍රමතුංගයන් සනිටුහන් කරන්නේ ඒ ගමන සොඳුරු ලෙස සරසා ගන්නට තරම් ඔහු ධෛර්ය සම්පන්න වූ නිසාමය.

දර්ශන 'සඳගිර' හැන්දෑව සෞන්දර්යාත්මක ලෙස ගෙවන්නට නිසැකවම ඔබට හැකි වග අපි දනිමු.

හදසර සුබ පැතුම්!

I සංජීවිකා සමරතුංග
සේයාරුව: දයාන් විතාරණ