2023 පෙබරවාරි 19 වන ඉරිදා

රටපුරා විහාර දෑතින් සරසන තරිඳු

2023 පෙබරවාරි 19 වන ඉරිදා, පෙ.ව. 06:00124

ශ්‍රී ලාංකික ශිල්ප කලා ඉතිහාසයේ විහාර කර්මාන්තයට ලැබෙන්නේ ඉතා සුවිශේෂී ස්ථානයක්. ඒත් වර්තමාන කලාවේ ජනප්‍රිය කලා සංස්කෘතිය තුළ විහාර කර්මාන්තයේ නිරතවන කලාකරුවන් පිළිබඳ කතාව නොවන තරම්. අපිට හමුවුණා විහාර කර්මාන්තයේ නිරතවන අපූරු කලාකරුවෙක්. ඔහු විහාර කර්මාන්ත උපන් හපන්කම් පාන දක්ෂ තරුණයෙක්. ඔහු නමින් ඩබ්ලිව්.එම්. තරිඳු මධුසංඛ.

තවමත් තුරුණු විය නොඉක්මවූ මේ අපූරු කලාකරුවා ලංකාව පුරා වෙහෙර විහාර තිහකට ආසන්න ප්‍රමාණයක නිර්මාණකරණයේ නිරතවෙලා තියෙනවා. මූර්ති කැටයම් නිර්මාණයට වගේම සිතුවම්කරණයටත් ඔහු දක්ෂයෙක්. ඇත්තටම තරිඳු වයසට වඩා වැඩියෙන් වැඩ කරපු කෙනෙක්. මේ වෙනකොටත් විහාරස්ථාන කිහිපයකම තරිඳු වැඩ කටයුතු කරගෙන යනවා.

ඉපැරණි විහාර කර්මාන්තයේ මූර්ති ශිල්පයේ කැටයම් කලාවේ ලාංකික අනන්‍යතාව ආරක්ෂා කරගෙන, සිය නිර්මාණ කෞශල්‍යත් නැවුම් විදිහට විදහා දක්වන්න මේ තරුණයා තුළ තියෙන්නෙ නිසඟ හැකියාවන්.

තරිඳු මධුසංඛ ඉපදුනේ බදුල්ල පස්සර කියන ගම්මානයේ. පාසල් ගියේ පස්සර මධ්‍ය මහා විද්‍යාලයට. කුඩා කාලෙ පටන්ම තරිඳුට නිර්මාණකරණය සම්බන්ධ සහජ හැකියාවක් තිබිලා තියෙනවා. බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීම සම්බන්ධව බාල කාලේ පටන්ම ඔහු තුළ දකින්න පුළුවන් වුණේ ශ්‍රද්ධා පූර්වක ළැදියාවක්. සමහරවිට ඒක සාංසාරික පුරුද්දක් වෙන්නත් පුළුවන්. ඔහු එතරම්ම බුද්ධ ප්‍රතිමා නිර්මාණයට ආශක්ත වෙලා හිටියෙ. මේ ගමන ඔබ රුගෙන ආවෙත් එයා සහ ආසාව.

සාමාන්‍ය පෙළෙන් අධ්‍යාපන කටයුතු නිමා කළත්, සිය නිර්මාණ අධ්‍යයන චාරිකාව තරිඳු එතැනින්ම ආරම්භ කරනවා. සා/පෙළ කරපු අවුරුද්දෙම චිත්‍ර සහ මූර්ති කලාව ඉගෙන ගන්න තිබුණු නොතිත් ආශාව නිසා කොළඹ කෞතුකාගාරය වගේ ආයතනවල කරන පාඨමාලාවන්වලට සම්බන්ධ වෙන්න තරිඳු කොළඹ ආවා. ඒත් ඒ කාලේ තිබුණු ආර්ථික අපහසුතා එක්ක කොළඹ ගමන ඵල දරන්නේ නම් නෑ.

අවසානයේ තමන්ගේ හැකියාව වැඩි දියුණු කරගන්න තරිඳුට ගැළපෙන මෙතැන හම්බ වුණා. ඒ තමා දියතලාව සංස්කෘතික මධ්‍යස්ථානයේ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියෙන් පවත්වාගෙන ගිය ''පාරම්පරික චිත්‍ර හා මූර්ති ශිල්පී පාඨමාලාව'' එතැන වසර තුනක විතර අධ්‍යයන කටයුත්තක නිරත වෙන්න මේ තරුණයාට හැකිවුණා. මේ විෂය හදාරණ ලංකාවේ තියෙන හොඳම තැන එතැන. ඉතින් ඔහු වාසනාවන්තයි.

කොහොම නමුත් මෙවැනි ශිල්පයක් හැදෑරූ පමණින් කිසිවෙක් එහි ප්‍රවීණයෙක් වෙන්නේ නෑ. ඒ නිසාවෙන්ම ගුරුවරයෙක් යටතේ තවත් අවුරුදු දෙක හමාරක විතර කාලයක් තරිඳුට වැඩකරන්න වුණා. මේ අතර තමන්ගේම කියලා නිර්මාණ නිවසේදී කරන්න තරිඳු මධුසංඛ තරුණයා පෙළඹුණා. විශේෂයෙන්ම බුද්ධ ප්‍රතිමා.

විහාර කර්මාන්තයේ නිරත වෙන්න පළමුවෙන්ම තරිඳු මධුසංඛ ශිල්පියාට අවකාශ ලැබෙන්නේ පරපාව පූර්වාරාම විහාරස්ථානයෙන්. වසර හතර හමාරක විතර කාලයක් කිලෝමීටර් 4ක් විතර පයින්ම ගිහිලා මේ කටයුත්ත නිමාකරන්න මේ අපූරු තරුණයා කටයුතු කළා. ඒක අති දුෂ්කර කාලයක්. මේ කටයුත්තත් එක්ක යම් පිළිගැනීමක් ඔහුට ලැබෙනවා.

ඒත් පැරණි විහාරයක් විහාර ප්‍රතිසංස්කරණය, කිරීම නව විහාරයක් ඉදිකිරීම වගේ කටයුතු සඳහා ආවට ගියාට ශිල්පීන් යොදවා ගන්න කවුරුත් කැමති නෑ. තමන් කරපු නිර්මාණ පෙන්වන්න වෙනවා. නැත්තං නිර්මාණයක් කරන්න වෙනවා. ඒ නිසාම මුල් කාලයේ වැඩක් ලබාගැනීම සම්බන්ධව නම් ලොකු අභියෝගයක් තරිඳුට තිබුණා. නමුත් ක්‍රමයෙන් ඔහුගේ නිර්මාණ දකින අයට මේ ශිල්පියාව හොයාගෙන එන්න පටන් ගත්තා.

සිතුවමක් ඇන්දොත් අගින් නමක් ලියන්න පුළුවන්. දැන් ඕනෑම නිර්මාණවේදියෙක් තමන්ගෙ නම ඉතුරු කරනවා නිර්මාණ ඇතුළේ. ඒත් විහාර කර්මාන්තයේ නිරත වෙන තරිඳු වගේ ශිල්පීන්ට ඒ අවස්ථාව හරිම අඩුයි. ඇත්තටම තරිඳු ඒකට උනන්දු වෙන්නෙත් නෑ. මේක ශ්‍රද්ධා භක්ති පූර්වක ඉපැරණි සාම්ප්‍රදායික කර්මාන්තයක්.

ඒ නිසාම මේ කර්මාන්ත එදා පටන් අද වෙනකම් බිහිවුණු විශිෂ්ටයන්ගෙන් ඉතාම කිහිපදෙනයි අපි නමින් දන්නේ. සෝලියස් මැන්ඩිස් කියන්නේ අප අසා ඇති යුගකාරක කලාවේදියෙක් තරිඳුත් ඔහුගේ නිර්මාණවලින් යම් ආභාෂය ලබාගෙන තිබෙනවා.
මේ තරුණ ශිල්පියාගේ තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි ඔහු සතු හැදෑරීම. වර්තමානයේ විහාර නිර්මාණ කාර්යයේ නිරත වන බොහෝ නිර්මාණවේදීන් තුළ තියෙන්නේ සහජ හැකියාව පමණයි. විෂයානුබද්ධ හැදෑරීමක් නෑ. එය තරිඳු වගේ තරුණ කලාවේදින් පාරම්පරික චිත්‍ර සහ මූර්ති ශිල්පය හැදෑරීම නිසා බොහෝ සෙයින් පරිපූර්ණයි. මේක වසර දෙදහසකට වඩා ඉපැරණි කලාවක්. අපේ කියා අනන්‍යතාවයක් පවතින කලාවක්. ඒ නිසා සම්ප්‍රදාය ආරක්ෂා කරගනිමින් නව මානයන් ඔස්සේ ඇවිද යන්න පුළුවන් වෙන්නෙ මේ වගේ සැබෑ තරුණ ශිල්පීන්ට.

තරිඳු දාගැබක් නිර්මාණයට පාවා දායක වෙලා තියෙනවා පස්සර ප්‍රදේශයෙ විහාරස්ථානයක. ඒ වගේම අජන්තා ලෙන් අනුරුවක් නිර්මාණය වෙමින් පවතින මතුගම ප්‍රදේශයේ විහාරස්ථානයකත් තරිඳු පහුගිය කාලේ නිර්මාණකරණයේ යෙදුණා. බදුල්ල පස්සරින් මතුගමට පැමිණීමත් එක්ක බස්නාහිර සහ දකුණු පළාත්වල නිර්මාණ කටයුතුවලට දැන් තරිඳු විශාල වශයෙන් දායකත්වය සපයනවා. ඔහු කණ්ඩායමක් විදියට තමා වැඩ කරන්නේ. ඒ සියලු දෙනාගෙනුත් ඔහුට ලැබෙන්නේ විශාල ශක්තියක්.

සිතුවම්කරණයටත් ඔහු තුළ තියෙන්නෙ නිසඟ හැකියාවක්. විශේෂයෙන්ම මහනුවර යුගයේ සිතුවම් කලාව පිළිබඳව. ඒත් මේ වෙනකොට ඒ සඳහා කාලය වෙන්කරන එක ඔහුට අභියෝගයක්. ප්‍රතිමා ඇඹීම්, මෝල්ඩින්, කැටයම් වගේ නිර්මාණ කටයුතු තමා වැඩිමනක් තරිඳු අතින් සිදු වෙන්නේ.

පාරම්පරික කලාව පිළිබඳ ලබාගත් විධිමත් අධ්‍යනය නිසා ඉපැරණි විහාර ප්‍රතිසංස්කරණය කිරීමේදී අනන්‍යතාව ආරක්ෂා කරගෙන කටයුතු කරන්න තරිඳු දක්ෂයෙක්. ඒ වගේම නව විහාර ගොඩනැඟීමේදී අනන්‍යතාවක් සහිතව සම්ප්‍රදාය නව්‍යකරණයට තරිඳු මධුසංඛ ශිල්පියා ජගතෙක්.

අපිට ඔහුව මුණගැහුණෙත් ඒ වගේ වැඩක් කරමින් සිටියදී. ඒ ආසියාවේ දැවැන්තම සංකස්සපුර විහාරය ඉදිකිරීම් අතරතුර. මොරගල්ල ශ්‍රී බුද්ධසිරි මහා විහාරයේ ඉදිවන මේ ඉදිකිරීම අතර ඉස්පාසුවක් ලද ඇසිල්ලක ඔහු අපිට කතා කළා. ඔබට කියන්න තරම් අමුතු අපූරු කතාවක් ඔහු සතු වූ නිසා අද අපි ඔහුට මේ ඉඩ වෙන්කළා.

දහසක් අභියෝග මැද්දේ ආපු ගමනේ යම් ස්ථාවරත්වයක් සහිත කලාවේදියෙක් වෙන්න අද තරිඳු මධුසංඛ සමත් වෙලා. ඔහු දැන් විවාහකයි. පුංචි දරුවන් දෙදෙනෙක් එක්ක සුන්දර ජීවිතයක් ගත කරමින් ඉන්නවා.

I නිසල්