2023 පෙබරවාරි 26 වන ඉරිදා

ඔබ වෙනුවෙන් හදනවා මම ටජ් මහල් - එකක් නෙවෙයි හතක් නැත්තෙ සල්ලි බං

 2023 පෙබරවාරි 26 වන ඉරිදා, පෙ.ව. 06:00 47

ආලයේ තාලයට හිත ගැස්සෙද්දී, විසේකාර සිතුවිල්ලක් මාව හෙමින් කොනිත්තද්දී අහම්බයෙන් එක දවසක් නුඹ දැක්කම සාරදා හිත ගැස්සුණ ගැස්සිල්ලට එහෙට මෙහෙට ඉහළට පහළට වැනෙන ගැස්සෙන හිත මගේ නතර වුණා නුඹේ ගාව ගලවගන්න බැරි විදිහට.

ඒකද බං ආදරේ... කියා දෙන්න සාරදා

මේ අහන්න සාරදා. දැක්ක පළමු තත්ත්පරේම අමුතුම හුරුපුරුදු ගතියක් හදවත අස්සටම දැනෙද්දි මගේ ලෝකයම නුඹම විතරයි කියලා මට හිතෙද්දි ආදරේ හිතුණා බං

මේ අහපන් සාරදා. ආදරේ කියන්නේ ආදරේ, ඒක පුදුම පුදුම පුදුමයක් බං... මං කියන්නේ සාරදා ආදරේ තාමත් මට ලියාගන්න බැරි කවියක්...

ඇත්තමයි සාරදා
එළිවැට
ගිලිහුණු
කවියක්
නුඹ මට

ආදරේ කියන්නෙ අමුතුම තාලයක් නොවුණනම් එහෙම වෙන්නෙ කොහොමද බං සාරදා...

සාරදා යන විට පාරෙ මා හිමිදිරි උදේ දුටූ කෙල්ල ඔබද හායි 

එක මොහොතක් එක විදිහට ඉන්න බැරි විසේකාර දැඟලිල්ලට හායි කියලා කියවුණාට උඹව ළඟට අරන් මට කියන්න හිතුණෙ මගෙ මැණික මම උඹට ආදරෙයි කියලා. 

අහන්නකො ඉතින්... තණ පලසක් මත විසුල පිනි බිඳක් වගේ පිරිසිදු දිලිසෙන ආදරයක් උඹ වෙනුවෙන් මේ විසේකාර හිත ඇතුළේ මෝදු වුණා කීවොත් උඹට මාව විශ්වාසද සාරදා...

කොහේ බැලුවත් මට පෙනුණේම නුඹේ ඇස්.. ඒ අමුතු හිනාව. ආදරය දැනෙන තැන් හරි ලස්සනයි සාරදා... සංසාරේ ගමනක් නෑ සාරදා ආදරය නැත්නම්... ගන්න හුස්මක් හුස්මක් ගාණේ හිත හොයන  ආදරය තමයි සංසාරේම අපිව ගැටගහලා තියන්නේ... ප්‍රේමය අත්හරින්න පුළුවන් දවසට සංසාර ගමනත් කෙළවරයි...

ප්‍රේමයක් කියන්නෙම මන්ත්‍රයක්.. අනේ මන්දා සාරදා... තේරෙනවද උඹට මේවා...

සාරදා යන විට පාරෙ මා හිමිදිරි උදේ දුටූ කෙල්ල ඔබද හායි 
එහෙට මෙහෙට ඉහළට පහළට වැනෙන ගැස්සෙන හිත මගේ 
අනෙ බලන බලන දුටුව දුටුව තැනම ඔබගෙ රුව මැවේ.. 
රූ නින්දක් නෑනේ එළි වැටනෙකල් 
ඔබෙ මූණයි මැවුණේ ඇස් දෙක වසන් 
මා වශී කළේ මායාවක් වාගේ...

සාරදා උඹ මට හරි පුදුමයක්.. උඹට දැනුණ ආදරයම සාගරයක්.. ඔව් ඒ ආදරය උල්පත් නොසිඳෙන සාගරයක්... උල්පතේ අක් මුල් තියෙන්නේ සංසාරේ උඹ මට හම්බවුණ තැන් එක්ක නතරවෙලා...
ඉතින් ආදරය උනන්නේ සංසාර මතක එක්ක.

තාලයක් මොකටද
ප්‍රේමයක් නැති තැනට
ප්‍රේමයක් මොකටද
තාලයක් නැති තැනට

අනේ රත්තරන් උඹ මගේ තාලයක් නැති ජීවිතය එක තැන නතර කර ගත්තා නම්... අවසඟව යන්නෙ කොහොමද ඉතින් බං මං. නුඹ මගේ මුළු හිතම නුඹ සන්තකේට අරන් ආදරය ඇතුළේ, ආලවට්ටම් අස්සේ තියලා ඇණ ගහද්දි රිදුණේ නෑ බං... ගැහුවේ ඇණයක් වුණත් ගැහුවේ ආදරෙන් හින්දා...

ඒකයි සාරදා කීවෙම මම ආදරේ කියන්නේ ආදරේ ඒ තරම් පුදුමයක් ලෝකෙ තවත් නෑ බං...

ඔබගෙ ආදරේ මලක පැණි වගේ
එ මල පැණි බොන්න ආපු බඹරා මම වගේ
ඕ... ඉහළ පහළ මේ 
වැනෙන සිත මගේ 
එකම තැනක නවත්තන්න ඔබට හැකි වගේ 
අනේ යනවා නම් මාව අරන් රත්තරන් 
මම එනවා තෑගි අරන් ඉස්තරම් 
මා වශී කළේ මායාවක් වාගේ 
සාරදා...

අනේ ඇත්තමයි සාරදා... සංසාර ඉඳිකට්ටේ ඇමිණිච්ච නූල් පොටක් වගේ මම යන යන තැන මගේ මතක දිගේ උඹත් ඇවිදගෙන එන හැටි
ඉතින්...

සාරදා යන යන තැන නුඹ ඇවිදින් මතක අස්සේ ගැට ගැහිච්චි
දැන් ඉතින් මගේ හිතට නුඹ මගේම වෙච්චි 
මගේ නොවෙයි සාරදා

උඹ මගේම වෙච්චි. ඒ 'ම' යන්න මාරයි 'බං'... උඹව වචනයෙන් හරි මටම පවරලා දුන්නේ ඒ %ම^ යන්න විතරයි බං...

මගේ පණ...

නුඹට වාරු වී මියැදෙන්න හැකිනම් දවසක ජීවිතය තරමටම මරණයත් ලස්සනයි

අහන්නකො සාරදා ඇත්තමයි බං... 

නැත්තෙ සල්ලි බං නැත්නම් උඹ වෙනුවෙන් හදනවා මම ටජ් මහල් එකක් නෙවෙයි හතක්. ඒත් සාරදා එහෙම කීවත් මට හිතෙනවා රජු සාජහාන් මුම්ටාස් වෙනුවෙන් ටජ් මහල් හැදුවට සාජහාන් පෙම් කළේ මුම්ටාස්ට විතරමද කියලා...
ටජ් මහල් නැති වුණාට මම උඹට ආදරෙයි. සංසාර පෙරහන්කඩින් පෙරලා වත් කරලා ගත්තු දියවරක් රත්තරන් උඹ නමට ඉපදිච්ච මගේ ආදරේ... පිනක් තියේ නම් නුඹට විඳින්නට...

දැන් ඉතින් මෙහේ වරෙන්...
එල්ලියන් මගේ අතේ... අපි යමු හඳපානේ මල් පාර දිගේ... 
සාරදා... සඳ එළිය කියන්නෙත් ආදරේටම නමක්...

දෙවොලෙ මම ගියත් 
පල්ලියට ගියත් 
පන්සලේද පින්කමේද 
කොහේ මම ගියත් 
අනේ පැතුවෙ ඔබයි මා 
මගෙ වෙන්න කියා 
ඔබගේ ඔය සුදු මූණ බලා මියැදෙන්නම් මා 

ඔබ වෙනුවෙන් හදනවා මම ටජ් මහල් 
එකක් නොවෙයි හතක් නැත්තෙ සල්ලි බං
අපි යමු හඳපානේ මල් පාර දිගේ... සාරදා...

ඉතින් 
මේ අහපන්.... සාරදා...
එල්ලියන් මගේ අතේ... 
අපි යමු හඳපානේ මල් පාර දිගේ...


ගී පද රචනය සහ ගැයුම- කැළුම් ආර්යන්
සංගීතය- ලස්සන ජයසේකර

I සංජු