ලෝකෙ සුපිරිම චිත්‍රපට හතක් ගැන කතා කරන්න අපි හිතුවා. ඔබ සිනමාවට කොතරම් ඇළුම් කරන අයෙක් වුණත්, ඒ ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්න එක ලේසි නෑ. ඒ නිසාම ඒ අසාධාරණ ප්‍රශ්නයට, සාධාරණ පිළිතුරක් හොයන්න අපි කල්පනා කළා.
ලෝක සිනමාව සම්බන්ධව අංශුමාත්‍රික හෝ අවබෝධයක් තියෙනවා නම්, ඔබ අසා ඇති සිනමා පට ශ්‍රේණිගත කිරීම් සම්බන්ධව දර්ශක කිහිපයක් තියෙනවා. ඒ අතරිනුත් IMDb Ranking බොහොම විශේෂයි. IMDB කියන්නෙ Internet Movie Database කියන එකට. රසික ප්‍රතිචාර සමාලෝචනය මත තමා මේ ශ්‍රේණිගත කිරීම සිද්ධ වෙන්නෙ. අද ඕනෑම කෙනෙක් චිත්‍රපටයක් බලන්න ගියාම මේ දර්ශකය ගැන සැලකිලිමත් වෙනවා. හැම සිනමා පටයකටම ඌණ අගයක් දීල තියෙනවා.
හැබැයි මේ ශ්‍රේණිගත කිරීම් හැමදාම එකම විදිහට තියෙන්නෙ නෑ. කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මොකද ඒ ශ්‍රේණිගත කිරීම්වල පදනම රසික ප්‍රතිචාර. IMDB මෑතකාලීන යාවත්කාලීන කිරීම එක්ක, අද අපි හොයා බලන්න සූදානම් වෙන්නෙ ලෝකේ සුපිරිම සිනමාපට හතක් පිළිබඳව.
1. The Shawshank Redemption (1994)
මේ සිනමා පටය ඔස්කාර් සම්මාන 7කට නිර්දේශ වුණු, තවත් සම්මාන 11ක් දිනාගත්ත සිනමා පටයක්. ඔබට හිතෙන්න පුළුවන් ලෝකෙ අංක 1 තැනට රසිකයන් මේ සිනමා පටය තෝරගත්තෙ ඇයි කියලා. පිළිතුර බොහොම සරලයි. ඔබ සිනමා පටයක් තුළින් බලාපොරොත්තු වෙන්නෙ මොනවාද? ඒ සියල්ල මෙහි අන්තර්ගතයි.
බිරිඳ මරා දැමූ බවට චෝදනා එල්ල වී සිරගත වන පුද්ගලයෙක්, සිරගෙදරදී ඔහුට හමුවන තවත් මිනිසෙක්. මේ දෙදෙනා වටා තමා මේ කතාව නිර්මාණය වෙන්නෙ. මිනිස් හැඟීම් පිළිබඳ සහ නිදහස පිළිබඳ මේ කතාව ඇතුළේ ඔබට ගැඹුරෙන් කල්පනා කරලා බලන්න පුළුවන්. Frank Darabont අධ්‍යක්ෂණය කරපු මේ සිනමා පටයට පාදක වෙන්නෙ නවකතාවක්. Tim Robbins සහ Morgan Freeman කියන විශිෂ්ට රංගධරයන් ප්‍රධාන චරිතවලට පණ පොවනවා.
2. The Godfather (1972)
මේ කතාව ගෙතෙන්නෙ නිව්යෝක් නගරයේ සිටින විශාල මැර හවුලක් හිමි පවුලක් වටා. ඔවුන්ගේ සමාජ තත්ත්වය, බලය, මැර ක්‍රියා වගේ විශාල වපසරියක තියෙන දේවල් මේ නිර්මාණයට විෂය වෙනවා. මෙය දූෂිත සමාජ දේශපාලන යථාර්ථයේ හරස්කඩක් බව කියැවෙනවා. ලොව සිටි සැබෑ පාතාල නායකයන්ට මේ නිර්මාණය තුළ තමන් ද සිටින බව හැඟුණු බවක් මේ සිනමා පටයේ විශිෂ්ටත්වය හෙළි කරනවා.
1969 දී මාරියෝ පුසෝ ලියපු The Godfather ෆැන්සිස් ෆොඩ් කපොල්ලගේ අධ්‍යක්ෂණයක්. පුදුමය තමා මේ සිනමාපට කපොල්ලගේ පළවෙනි නිර්මාණය වීම. Marlon Brando නම් අද්විතීය රංගධරයා මෙහි ප්‍රධාන භූමිකාවට පණ පොවනවා. ඇකඩමික් සම්මාන තුනක් දිනාගැනීමට සමත් වුණු මේ නිර්මාණය තවත් සම්මාන රැසකට නිර්දේශ වුණා.
3. The Dark Knight (2008)
අපි කවුරුත් දන්න බැට් මෑන්ගේ හතුරෙක් වන ජෝකර් තමා මේ නිර්මාණයේ සැබෑ ප්‍රධාන චරිතය වෙන්නෙ. බැට් මෑන්ට වඩා ජෝකර් මෙතැන ඉස්මතු වෙනවා. මෙය සුපිරි ක්‍රියාදාමවලින් පිරුණු සිනමා පටයක්. බැංකු මංකොල්ලයක් වටා තමා කතාව දිව යන්නෙ. මේ සිනමා පටය ආදායම් වාර්තා රැසකට හිමිකම් කියනවා. සුපිරි වීරයන්ගේ ක්‍රියාදාම චිත්‍රපටයකට එහා ගිය, විශේෂිත ප්‍රකාශනයක් මේ තුළ වන බව කියන්නෙ විචාරකයෝ.
මෙය අධ්‍යක්ෂණ කරන්නෙ ලෝක සිනමාවේ කවුරුත් දන්න විශිෂ්ට අධ්‍යක්ෂකවරයෙක් වන ක‍්‍රිස්ටෝෆර් නෝලන්. හොඳම සහාය නළුවා සඳහා වන ඇකඩමික් සම්මානය ඇතුළු තවත් සම්මාන රැසකට මේ නිර්මාණය හිමිකම් කියනවා. මේ නිර්මාණය තුළ ජෝකර්ට පණ දුන්න, හොඳම සහාය නළුවා සම්මාන දිනපු හීත් ලෙජර් සම්මානය අතට ගන්න වාසනාවන්ත වුණේ නෑ. ඔහු ඖෂධ අධි මාත්‍රාවක් හේතුවෙන් 2008 දීම මිය ගියා.
4. Schindler’s List (1993)
මෙය දෙවැනි ලෝක යුද සමයේ නාසි කදවුරක් තුළ පැවති කෲරත්වය මනාවට විදහාපාන සිනමා සිත්තමක්. දෙවැනි ලෝක යුද සමයේ යුදෙව්වන් 1200 කගේ ජීවිත ගලවා ගැනීමට එක් පුද්ගලයකු දියත් කරන මෙහෙයුමක් මේ නිර්මාණය තුළදී දැක බලාගන්න පුළුවන්. සියලු භේද පසෙකලා මානව දයාව ඔබේ හිතේ පුරවන්න මේ සිනමා පටය සමත්. මේක අපේ ඇසට කඳුළක් රැගෙන එන නිර්මාණයක්.
සිනමා අධ්‍යක්ෂණය ස්ටීවන් ස්පිල්බර්ග්. මෙය ස්ටීවන් සෙයිලියන් විසින් රචනා කරන ලද්දක්. 1982 දී ඔස්ට්‍රේලියානු නවකතාකරැවෙකු වන Thomas Keneally විසින් රචිත Schindler’s Ark නවකතාව තමා මේ නිර්මාණයට පදනම් වෙලා තියෙන්නෙ. Liam Neeson නම් ලොවම හඳුනන රංගධරයා මෙහි ප්‍රධාන චරිතයට පණ පොවනවා.
5. The Lord of the Rings: The Return of the King (2003)
මේ සිනමා පටය නම් ලොකු පොඩි කවුරුත් දන්නවා. The Lord of the Rings කතා මාලාවේ දිගුවක් ලෙස තමා මේ සිනමා පටය තිරගත වෙන්නෙ. ෆොඩෝ සහ සෑම් තවදුරටත් මුද්ද විනාශ කිරීමේ අරමුණෙන් ගමන් කරමින් ඉන්නවා. ගැන්ඩොල්ප් යුද්ධයකට සූදානම් වෙනවා. ෆෝඩෝගේ අරමුණු සාර්ථක වෙයිද? මේ කතා මාලාව පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙක්ට විතරයි මේ දේවල් නම් තේරුම් ගන්න පුළුවන්. කොහොම වුණත් නවසීලන්තයේ රූගත කෙරුණු මේ නිර්මාණය සුපිරි බව නම් කියන්න ඕනෑ.
නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නෙ Peter Jackson කියන ප්‍රකට අධ්‍යක්ෂකවරයා. මේ සිනමා පටය පීටර් ජැක්සන් විසින් සම රචනා කර නිෂ්පාදනය කළ මනඃකල්පිත වීර වෘතාන්තයක්. මෙය ප්‍රධාන වශයෙන් J.R.R වොල්‍කීන්ගේ ‘The Lord of the Rings’ කෘතියෙහි තුන්වැනි වෙළුම මත පදනම් වෙනවා. මේ නිර්මාණයට හොඳම චිත්‍රපටය සඳහා වන ඇකඩමික් සම්මානය ලැබිලා තියෙනවා.
6. The Godfather Part II (1974)
අපි දෙවැනියට කතා කරපු The Godfather චිත්‍රපටයේ දිගුවක් විදිහට තමා මේ නිර්මාණය තිරගත වෙන්නෙ. පියාගේ මරණයෙන් පසු බාල පුතු විසින් අපරාධ අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීම එහිදී දැකගන්න පුළුවන්. සිනමාව තුළ සැබෑ කලාත්මක බව මොනවට පැහැදිලි වුණු නිර්මාණයක් විදිහට මේ චිත්‍රපටය ලෝක ඉතිහාසය හඳුන්වනවා.
මාරියෝ පුසෝ සහ ෆැන්සිස් ෆොඩ් කපොල්ලගේ එකමුතුවෙන් තමයි මේ නිර්මාණයත් කලඑළි දකින්නෙ. කපොල්ල මේ සිනමා පටය අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කරනවා. ඇකඩමික් සම්මාන ඉතිහාසයේ හොඳම චිත්‍රපටය ලෙස පළමු වතාවට සම්මාන ලබන්නෙ මේ නිර්මාණය.
7. 12 Angry Men (1957)
සිනමා පටයක් බවට පත්වෙන්න කලින් මේ නිර්මාණය මුල් යුගයේ රූපවාහිනී නාට්‍යයක්. ඒ වගේම භාෂා විශාල ප්‍රමාණයකට පරිවර්තනය වුණු වේදිකා නාට්‍යයක්. තමන්ගේ තාත්තා පිහියෙන් ඇන මැරූ බවට චෝදනා එල්ල වී ඇති පුතෙකුට විරුද්ධව පවතින නඩුවක සිටින ජූරියක් වටා තමා මේ කතාව දිව යන්නෙ. හැමෝම එක මතයක ඉඳිද්දි එක් ජූරි සභිකයෙක් වෙනස් මතයක් ප්‍රකාශයට පත් කරනවා. මෙතනින් කතාව ඉදිරියට ඇදී යනවා.
එකම පසුතලයක් මුළු නිර්මාණය පුරාවට නිතර දකින්න ලැබුණත්, මේ කතාව නීරස නෑ. මේ සිනමා පටය අධ්‍යක්ෂණය කරන්නෙ Sidney Lumet කියන අධ්‍යක්ෂවරයා. තිර පිටපත රචනා කරන්නෙ මුල් නිර්මාණය රචකයා වන Reginald Rose මයි. මෙය සිනමා ඉතිහාසයේ විශිෂ්ට චිත්‍රපටයක් ලෙස සැලකෙනවා.
I චමිඳු නිසල්