ඇතැම් අමුතු චරිත උමතු චරිත ලෙස ලෝකයා දකිනවා. ඒකෝන් කියන්නෙ කාලයක් අපිත් එහෙම දැකපු චරිතයක්. ඒකෝන් අප්‍රිකානු සම්භවයක් ඇති හොලිවුඩ්හි සුපිරි ගායකයෙක්. ඔහුගේ සම්පූර්ණය නම Aliaume Damala Badara Akon Thim. ඇත්තටම ඔහුගේ කතාව හොයා බලන්න වටින කතාවක්.
''අඳුරේ ගිලී තිබූ අප්‍රිකාව ආලෝකමත් කරන්න විදුලි ආලෝකය රුගෙන ආ මිනිසා.'' ඒකෝන් ගැන එහෙම කියන්න පුළුවන්. ඔහු කළ මෙහෙය මේ වනවිටත් ලෝක ඉතිහාසයේ ලියැවී අවසන්. එය අදටත් බොහෝදෙනා නොදන්නා ඒ කතාවක්. ඒ කතාව අද අප ඔබ සමඟ බෙදාගන්නටයි සූදානම්. ඊට පෙර, ඒකෝන් ගැන විස්තර ටිකක් අප කතා කළ යුතුමයි.
ඒකෝන් සෙනගාලියානු-ඇමෙරිකානු ගායකයෙක්. Hip-hop සහ R and B තමා ඔහුගේ සංගීත ශෛලීන් වෙන්නෙ. අද වෙනකොට ඔහු සුපිරි සංගීත නිෂ්පාදකයෙක් සහ ව්‍යවසායකයෙක්. ඒකෝන් 2004 දී ප්‍රසිද්ධියට පත්වූයේ ඔහුගේ පළමු ඇල්බමය වන ට්‍රබල් ඇල්බමය හරහා.
ඒකෝන් උපත ලැබුවේ 1973 අප්‍රේල් 16 වැනිදා ශාන්ත ලුසියානවල මුස්ලිම් පවුලක. ඔහුගේ මව නර්තන ශිල්පිනියක්. පියා බෙර වාදකයෙක්. පියා එක්සත් ජනපදයට සංක්‍රමණය වුණේ අඳුරු අප්‍රිකාවේ සෙනගාලයේ ඉඳලා. මේ නිසාම ඒකෝන්ට තමන්ගෙ ළමාවියේ සැලකිය යුතු කාලයක් සෙනගාලයේ ගෙවා දමන්න සිද්ධ වුණා. ඒකෝන් අදටත් තමන්ගේ ගම විදිහට හඳුන්වන්නෙ සෙනගාලය.
පියාගේ ආභාෂයත් එක්ක ඉතාම බාල කාලයේ ඉඳලා ඒකෝන් ගායනයට වාදනයට උපන් හපන්කම් පෙන්නුවා. ඩ්‍රම්ස් ගිටාර් ඇතුළු සංගීත භාණ්ඩ පහක් හයක් හොඳින් වයන්නට ඔහුට පුළුවන් වුණා. සෙනගාලයේ ඉඳලා ඇමරිකාවේ නිව්ජර්සිවලට පදිංචියට ආවට පස්සෙ, ඒකෝන්ට ජීවිතය එතරම් පහසු වුණේ නැහැ. අනෙක් ළමයි එක්ක මුහුවෙන එක ඔහුට අභියෝගයක් වුණා.
අදටත් ඒකෝන්ගෙ සංගීතයට අපේ වගේ රටවල්වල ඇතමුන් ප්‍රිය නොකළ බව කියන්න ඕනෑ. ඔහුගේ සංගීතය අපේ සුචරිතවාදී සංස්කෘතික රාමුවෙන් එහා තියෙන එකක්. එනිසාම වතාවක් ඒකෝන් ලංකාවට එන්න දරපු උත්සහයක් පවා ව්‍යර්ථ වුණ හැටි අපි දැක්කා. ඒ කොහොම වුණත් ඔහුගේ කලා ජීවිතය සම්බන්ධව අපි යමක් සඳහන් කළ යුතුයි.
නිව්ජර්සිවල හැදී වැඩුණු ඒකෝන් නව යොවුන් වියේදී ගායනය සහ රංගනය ප්‍රවේශ වෙනවා. ඔහු ජෝර්ජියාවේ ඇට්ලන්ටා විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණත්, පළමුවාරයේදීම අධ්‍යාපනය අතහැරලා දැම්ම. සංගීතය සම්බන්ධ පුංචි ව්‍යාපාරයක් පටන්ගන්න හිතාගෙන ගෙදරම සංගීත පටිගත කිරීම් කළා. මේ කටයුත්ත අතරේ 2003 වෙද්දී සැලකිය යුතු තත්ත්වයක් ළඟා කරගන්න ඒකෝන්ට පුළුවන් වෙනවා.
ඒකෝන්ගේ මංගල ඇල්බමය Trouble, 2004දී නිකුත් කළේ. එය නොහිතපු සාර්ථකත්වයක් අත්කර ගත්තා. ඔහුගේ දෙවැනි ඇල්බමය වන කොන්වික්ටඩ් (2006) ඊටත් වඩා සාර්ථක වුණා. ගීත දර්ශකවල ඉහළටම ගියා. ඒකෝන් අවසානෙ ආර්ථික වශයෙන් හිතාගන්නවත් බැරි ශක්තිමත් මනුස්සයෙක් බවට පත්වුණා.
ඔහුටත් ඔහුගේ කතාවේ මුල් අවධියේ තරම් සුන්දර නෑ. ඒකොන් සම්බන්ධව අපරාධ කතා, සිරගතවීම් පිළිබඳ කතා පවා තිබෙනවා. සමහර දේවල් අර්ධ සත්‍යයක්. ඔහුගේ ප්‍රකාශනයේ තියෙන වෙනස නිසා ඒකෝන් ගැන කතා ගොඩක් හැදිලා තියෙන බවත් කියන්න ඕනෑ.
''Akon Lighting Africa'' ඒකෝන් අඳුරු අප්‍රිකාව ආලෝකමත් කිරීම පිළිබඳ කතාව පැත්තට දැන් අපි හැරෙන්න සූදානම්. ඔහු කුඩා කාලයේ සෙනගාලයේ ජීවත්වුණු නගරය අඳුරේ ගිලී තිබුණෙ. මේ මතකයත් එක්ක ඒකෝන් දකිනවා ලොවපුරා සිටින අප්‍රිකානුවන් නැවත තමන්ගේ ගම්බිම්වලට යන්න අකමැති වෙන්න ලොකුම හේතුව, අඳුර කියලා. ඒ නිසා තමයි ඔහු අප්‍රිකාව ආලෝකමත් කරන්න වැඩසටහනක් දියත් කරන්නෙ. ලෝකය පුරා සිටින අප්‍රිකානුවන් තමන්ගේ ගම්බිම් පිළිබඳ අවධානය යොමුකළ යුතුයි කියලා ඒකෝන් විශ්වාස කළා.
2014 මේ වැඩේට ඒකෝන්ට උදව් කරන්න වන්නේ සූර්ය බලශක්ති ගබඩා කරන සෝලා පැනල් නිෂ්පාදකයෙක් වන සම්බා බතිලි සහ ව්‍යාපාරිකයකු වන තියෝන් නියාන්ග් කියන අය. තියෝන් නියාන්ග් කියනෙත් සෙනගාලයේ ඒකෝන් ජීවත් වුණ කලාපයේ හැදී වැඩුණු කෙනෙක්. ව්‍යාපාරයකට එහා ගිය, සුබසාධන ව්‍යාපෘතියක අරමුණු ඒකෝන්ගෙ කණ්ඩායමට තිබුණේ මේ නිසා. මේ වැඩසටහන ඔස්සේ අප්‍රිකානුවන්ට අවස්ථා විශාල ප්‍රමාණයක් ඒකෝන් ඇතුළු පිරිස නිර්මාණය කරලා දුන්නා.
මේ වැඩසටහනින් අප්‍රිකාවේ දුෂ්කර ප්‍රදේශවලට විදුලි ආලෝකය ලැබුණ අමතරව දුප්පත් තරුණ තරුණියන්ට රැකියාත් ලැබුණා. සූර්ය බලශක්තිය සහ අවශ්‍ය උපකරණ නිසි ලෙස නඩත්තු කරන්නේ කෙසේද යන්න ඉගැන්වීමට ඇකඩමියක් පවා ඒකෝන් නිර්මාණය කළා. ඒ හරහා ග්‍රාමීය ප්‍රදේශයේ තරුණ තරුණියන්ට පුහුණුව සහ රුකියා අදටත් ලැබෙනවා.
මේ වනකොට අප්‍රිකාව පුරා සූර්ය විදුලි ලාම්පු ලක්ෂ ගණනක් ''Akon Lighting Africa'' ඔස්සේ නිර්මාණය කරලා තියෙනවා. ඇතැම් තැන්වල කාන්තාවන් පවා රාත්‍රියේ බියෙන් සැකයෙන් තොරව වෙළඳාම් කරන්නේ මේ හේතුව නිසා බව වාර්තා වෙනවා. මේ ව්‍යාපෘතිය නොවන්න ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි නිවාස ආගමික ස්ථාන පාසල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථානයට තවත් සෑහෙන්න කාලෙකට විදුලිය නොලැබෙන්න තිබුණා.
ඇත්තටම සමහර අප්‍රිකානුවන් පළමු වතාවට විදුලි ආලෝකයට නිරාවරණය වුණේ ඒකෝන් නිසා කියලා කියන්න පුළුවන්. අද වෙනකොට ඒකෝන්ගේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය නිසා වසරක් ඇතුළත රටවල් 14ක දස ලක්ෂ ගණනක් නිවාසවලට, මහාමාර්ග පද්ධතිවලට සහ නගර සිය ගණනකට සූර්ය බලශක්තිය ලැබිලා තියෙනවා. පන්දහසකට අධික පිරිසකට රුකියා ලැබිලාත් තියෙනවා.
ඇත්තටම ඔහුගේ කතාව අපූරු එකක්. ඉතින් අවසානෙ කියන්න කෙනෙක්ව විනිශ්චය කරන්න කලින් හිතලා බලන්න කියලා. දෙවියන් පවා මිනිසුන් පිළිබඳ අවසන් විනිශ්චය ලබා දෙන්න ඔවුන් මියගිය පසුව. ජීවත්වන හැම මිනිහෙකුටම වෙනස් වෙන්න අවස්ථාවක් තියෙනවා. මිනිසෙකු අමුතුයි කියා ඔහු පිළිබඳ විනිශ්චය ලබා නොදෙන්න.
I නිසල්