දුයිෂෙන්... මේ අහන්න... සොඳුරුතම ගුරු ගීතයක අප්‍රමාණ සංධ්වනියයි ඔබ... චිංගිස් ආයිත්මාතව් ලියූ ගුරු ගීතයේ පිටු අතරේදි හමුවුණු දුයිෂෙන්ලා අ සහ ආ යනු සාක්ෂරතාවය සොයාගෙන ගිය ගමන් මංවලදී හමුවෙලා තියෙනවා මට නම්. ඇත්තටම නොඉල්ලමින් කිසිවක්ම ආදරය කළ හැකි වග දුයිෂෙන්ට තරම් ලස්සනටම කියලා දෙන්න හැකිවුණු කෙනෙක් හමුවුණේ නෑ තවම... අත්හැර ගියත් දිනෙක හැර යාම ඉවසමින් ඉගිල්ලෙන්න අත්තටු දෙන්න පුළුවන්ද දුයිෂෙන්ලට හැරුණාම වෙන කාටවත් කියලා හිතුණා මට... යළිදු දකිනු වස් මොහොතකටවත් පැමිණිවේයැයි නොසිතාම යන්න මඟ තැනූ හැටි, අනේ දුයිෂෙන් වෙන කවුරුවත්ම නෑ තැනුවෙ පාරක් එහෙම...
අදටත් ඒ ඈත මිටියාවතේ පොප්ලර් ගස් දෙක අප්‍රකාශිත හදගැස්මක කතාවක් කියනවා වගෙයි මට... ඒ ගුරු ගීතය පොතට වඩා මේ ගුරු ගීතය හරිම වෙනස් සැබැවින්ම. ලලිත් රෝහිත එදිරිසිංහ පළමු සිනමා වියමනෙන්ම සියඹලා ගස් දෙකක් එක්ක ජීවිතය ආදරය මනුස්සකම සොබාදහමත් එක්ක ගැට ගැහි ගැහි විඳින්න කියා දුන්නේ නවතම ගුරු ගීතයක් සිංහල සිනමා වංශ කතාවට එකතු කරමින්...
''මගේ කඳුළු, මගේ හදගැස්ම, ලෝකය ගැන මගේ ආදරය, දරුවන් ගැන මගේ අප්‍රමාණ ස්නේහය, දරුවන් වෙනුවෙන් ලස්සනම හෙට දවසක් වෙනුවෙන් මගේ ප්‍රාර්ථනාව, මේ හැමදේම තට්ටු දෙකේ ඉස්කෝලේ ඇතුළේ ඉහිරුණා.. ඇගයීම, ප්‍රසංශාව කොයි තරම් දුරට මෙරට සිනමාවේදීන්ගෙන් තට්ටු දෙකේ ඉස්කෝලේ චිත්‍රපටය වෙනුවෙන් ලැබුණාද නොලැබුණාද කියන එක නෙවෙයි මේ මොහොතේ මම හිතන්නේ... එහෙත් මම උපරිම ආත්ම තෘප්තියක් ලද හැකි නිර්මාණයක් බිහිකළ සතුට අන් කිසිවක්ම නැතත් මා ගාව අද මට තියනෙවා. සිංහල සිනමාව තුළ තට්ටු දෙකේ ඉස්කෝලේ චිත්‍රපටය හැමදාමත් ස්නේහවන්ත හුස්මක් වෙයි කියලා මම විශ්වාස කරනවා...
ඒ තමයි තට්ටු දෙකේ ඉස්කෝලේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ලලිත් රෝහිත එදිරිසිංහ මගේ ඉස්සරහ දිගහැරපු වචන එකතුව...
ඇත්තටම සිනමාවේදියෙකුට නොවෙයි, ඕනෑම නිර්මාණවේදියෙකුට තමන්ගේ නිර්මාණයක් කියන්නෙ තමන්ගේ දරුවෙකු හා සමාන වටිනා තවත් වස්තුවක්. ඉන් එහා තවත් වචන මොකටද? කතා මොකටද?
සෑම දරුවෙක්ම වැඩිහිටියෙක්ම බැලිය යුතු චිත්‍රපටයක් ලෙස මම මෙය හඳුන්වනවා. ජීවිතේ මුහුණ දෙන විවිධ අභියෝග හමුවේ ඇද නොවැටී හිනාවෙලා ශක්තිමත් හිතකින් මුහුණ දෙන හැටි සෑම දරුවෙක්ම මේ චිත්‍රපටය නරඹා ආදර්ශයකට ගන්න ඕනෙ. ගුරුවරු වුණත් කොහොමද ළමයින්ට සමීප වෙන්නේ කියන දේ හොඳින් තේරුම් යනවා. මෙවැනි නිර්මාණ බිහිවීම වාසනාවක්.
නාවල ජනාධිපති බාලිකාවේ විදුහල්පතිනිය නයනා වන්නිආරච්චි
ධර්ම ශාලාව තුළයි මනුස්සයින් හැදුවේ. එදා සිටම මෙය ධර්ම සන්නිවේදන චිත්‍රපටයක් ලෙස මම හඳුන්වන්නේ කැමැත්තෙන්. බෞද්ධ විඥානය ස්පර්ශ කරන චිත්‍රපටයක්. මනුස්සකම බිඳවැටුණු කාලයක මනුස්සකම ගලපාගන්නේ කොහොමද කියන එක චිත්‍රපටය පුරා අපූරුවට පෙන්වා දෙනවා. මේ චිත්‍රපටය බැලීමෙන් සොබාදහම දෙස බලලා මනස සුවපත් කරගත හැකි අතර අපි ජීවත් විය යුත්තේ කෙසේද? අපේ දරුවෝ හදන්නේ කොහොමද? කියන එක ගැන වගකීමක් ඇතිවේවි.
අතුරලියේ රතන හිමි
බොහොම කාලයකට පස්සේ දැකපු සුන්දරම ළමා චිත්‍රපටයක් ලෙස තට්ටු දෙකේ ඉස්කෝලේ චිත්‍රපටය හඳුන්වන්න කැමතියි. මට චිත්‍රපටය නැරඹීමෙන් වැටහුණේ විශාල දේශපාලන පණිවුඩයක් ලබා දෙන කතාන්දරයක්. ගම නගරය කියා භේද වෙන්නොකර හැමෝටම එකම විදිහට සලකන රටක් මෙවන් අගනා නිර්මාණ බැලීමෙන් හෝ බිහිවේනම් එයයි ලබන ජයග්‍රහණය.
චිත්‍රපට අධ්‍යක්ෂ බෙනට් රත්නායක
හරිම ආසාවෙන් මුල සිට අග වෙනතුරු නරඹපු හොඳ චිත්‍රපටයක්. අපිටත් අපේ ජීවිතවල ළමා කාලය මතක් වුණා. සමහර දර්ශන හරිම සංවේදියි. ළමයි ටික නම් අධ්‍යක්ෂකතුමා හොඳින් හසුරවලා තියෙනවා. දක්ෂ නළු නිළියන් පිරිසක් අනාගතේ බිහිවීමේ පෙර ලකුණු දැක්කා. අම්මලා අද ළමයි අරන් රේස් දුවන කාලයක හොඳ ළමයෙක් හදන්න නම් මේ චිත්‍රපටය නරඹන්නම ඕනෙ කියන හැඟීමයි මගේ තිබෙන්නෙ.
ප්‍රවීණ රංගන ශිල්පිනි ගීතා කාන්ති ජයකොඩි
දරුවන්ට පෙන්විය යුතුම චිත්‍රපටයක් මේක. මානුෂික සබඳතා ගැන කියවෙන අනුවේදනීය චිත්‍රපටයක්. ලලිත් රෝහිත එදිරිසිංහ අධ්‍යක්ෂකවරයාගේ පරිණත බව හොඳට පේනවා චිත්‍රපටය තුළින්. පොත පතේ දැනුමට වඩා එහා ගිය අධ්‍යාපනයක් මේ චිත්‍රපටය නැරඹීමෙන් දරුවන්ට ජීවිතයට ගත හැකියි. සංවේදී මිනිසුන් සුන්දර - විචිත්‍රවත් පරිසරය - ආදරය - මේ සියල්ල චිත්‍රපටය නැරඹීමෙන් ගත හැකියි.
චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය
මේ චිත්‍රපටය ගැන දැගත්ත දවසේ ඉඳන් මේ චිත්‍රපටය නරඹන්න ලොකු උවමනාවක් මට තිබුණා. මොකද විදේශ රටවල මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරද්දි ලැබුණු ප්‍රතිචාර යම් යම් මාධ්‍යවලින් අපි දැක්කා. ළමා චිත්‍රපට නිතර බිහිවුවත් මේ වගේ හිතට දැනෙන, ගුණාත්මක බවින් වැඩි ඒවා හරිම අඩුයි. සමාජයට දෙන පණිවුඩය හරිම වටිනවා. රඟපාන පුංචි දරුවෝ ටික හරියටම ඒ වැඩේ කරලා තියෙනවා. අර චමීරගේ ළමා විය රඟපාන කකුලක අපහසුතාවයක් තියෙන පුංචි පුතා මට හරියට දැනුණා. මේ චිත්‍රපටයේ ගහට කොළට අපි ආදරය කරුණාව දැක්විය යුතු විදිහ හරි ලස්සනට කියලා දීලා තියෙනවා.
ප්‍රවීණ සිනමා නිළි - ශ්‍රියානි අමරසේන
ඇත්තම කියන්නම්. මේ කාලේ මම දැකපු හොඳම චිත්‍රපටය ලෙස නම් කළ හැකියි ලලිත්ගේ තට්ටු දෙකේ ඉස්කෝලේ චිත්‍රපටය. දරුවන් පත-පොතට විතරක්ම හිර කරලා බෑ. අවට පරිසරයට හා සම්බන්ධ වෙන්න ඉඩකඩ ලබා දිය යුතුයි යන්න ඕනෑම කෙනෙකුට තේරුම් යනවා චිත්‍රපටය බැලීමෙන්.
ප්‍රවීණ රංගන ශිල්පිනි නිල්මිණී තෙන්නකෝන්
ඉතාම ලස්සන චිත්‍රපටයක්. මට ගුරු ගීතය පොත මතක් වුණා. චිත්‍රපටය බලද්දි දුයිෂෙන් වාගේ ගුරුවරයෙකුගෙන් සොබාදහම රසවිඳින්න ඉගෙන ගන්න හැටි සමස්ත දරු පරපුරටම මහත් වූ ආදර්ශයක් ගෙන දෙනවා. පරිසරයෙන් ළමයි මොනවද ඉගෙන ගන්න ඕනෙ කියන කාරණාව අවබෝධ වෙනවා. අපි පන්ති කාමරයේ විද්‍යාව විෂය ඉගෙන ගන්නවා. හැබැයි ඊට එහා ගිය ලොකු විද්‍යාවක් මේ චිත්‍රපටය තුළ තියෙනවා. කැමරා කෝණය විශිෂ්ට අන්දමින් හසුරවලා තියෙනවා. විශේෂ දේ වෙන්නේ හදවතට සමීපව කතා කිරීමයි. මේ චිත්‍රපටය බලද්දි ලාංකික සිනමාවේදියෙක් කළා කියන්න මට සිතාගන්න අමාරු වුණා. විදේශ සිනමාවේදියෙක් අප රටට ඇවිත් මේ චිත්‍රපටය කළා වගේ දැනුණේ. නළු නිළියන්ගේ රංගනය ප්‍රබලයි. ජගත් චමිලගේ රංගනය අති විශිෂ්ටයි. ළමයින්ගේ රංගනයත් නොදෙවැනි නෑ. ළමයි හසුරවලා තියෙන විදිහ ගැන ආඩම්බරයි. ශ්‍රී ලාංකික ළමයි, ගුරුවරු, විදුහල්පතිවරු නැරඹිය යුතුම චිත්‍රපටයක්. නැවතත් අපිට දුයිෂෙන්ලාව ප්‍රතිනිර්මාණය කරපු බව චිත්‍රපටය පුරාවට පේනවා.
කොළඹ සංඝමිත්තා බාලිකාවේ විදුහල්පතිනිය - තුෂාරි ද සිල්වා
මේ චිත්‍රපටය පුරාම මම දුටු විශේෂ ලක්ෂණය තමයි අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ වර්තමානයේ ක්‍රියාත්මක වන ප්‍රධානතම අධ්‍යාපන මූලධර්මයක් වන බහුවිධ බුද්ධි න්‍යාය. මේ චිත්‍රපටය පුරාම දිවෙන්නේ දරුවෙකුගේ බුද්ධිමය හැකියාව කියන්නේ මොකක්ද කියන එක. දරුවන් විවිධයි. යාන්ත්‍රික දරුවෙක් වෙනුවට පරිසර සංවේදී දරුවෙක් කොහොමද බිහිකළ හැක්කේ යන සාම්ප්‍රදායික ගුරු භූමිකාවෙන් ඔබ්බට ගුරුවරයාගේ භූමිකාවේ හැඩතල හරි අපූරුවට මේ චිත්‍රපටයෙන් පෙන්වනවා.
රාජිත සෙනරත් බණ්ඩාර
නියෝජ්‍ය විදුහල්පති - තර්ස්ටන් විද්‍යාලය - කොළඹ
මේ චිත්‍රපටය බලලා මගේ ඇස් දෙකට කඳුළු ආවා. සොබා සෞන්දර්ය, ළමයින්ගේ ජීවිත අත්දැකීම්, විශේෂයෙන්ම අහිංසක දුප්පත් ළමයින්ගේ ජීවිත සහ ළමයෙකුට යා හැකි මාවත් කොච්චර තියෙනවද කියන එක ගැන හරිම අපූරුවට මේ චිත්‍රපටයෙන් කතා කරලා තිබුණා. මම දැයේ දරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා තට්ටු දෙකේ ඉස්කෝලේ චිත්‍රපටය අනිවාර් යෙන් නරඹන්න කියලා.
විශාකා රාජපක්ෂ
විදුහල්පතිනිය - අනුලා විද්‍යාලය නුගේගොඩ
I සංජීවිකා