2023 අප්‍රේල් 09 වන ඉරිදා

කලං... යන්න - ඒත් ආයෙත් එන්න - සංසාරය හරි දිග කතාන්දරයක්

2023 අප්‍රේල් 09 වන ඉරිදා, පෙ.ව. 06:00215

නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්
සෙවණ දුන් ගහකොළ පුරා
බිමට බර වුණ කැකුළු - අතු ඉති මැලවිලා
දුකින් හදවත ගොළු වෙලා...

හිතුවක්කාර, එහෙන් මෙහෙන් අවුල් වූ දඟ කෙහෙරැලි, බොත්තම් හරියට නොපියවූ කමිසය, ඇට මාලය, අමුතු ආදරණීය අව්‍යාජ මනරම් හිනාව...

කලං... ඔබ නැතුව මම තවම ඔබ එක්ක!

එදා මෙදාතුර සිංහල සිනමාවේ මගේ ඇස් දෙකට හමුවූ කඩවසම්ම රූපණවේදියා ඔබය. උත්තුංග දේහධාරී ඇඟක් නොතිබුණාට කෙසඟ සිරුරක් හිමි ආත්මීය ආත්ම කථනයකින් චරිත තුළ ජීවත් වූවා මිස කිසිදා රඟ නොපෑ අමුතුම රංගධරයා ඔබය. රැලි ගැහිච්ච කොණ්ඩය, සුදු පාට වෙච්ච මුහුණ, උස සිරුර, නළු අනන්‍යතාව බවට පත්ව තිබූ යුගයක අහම්බකාරක ලෙස සිනමාවට පා තබා ඒ සම්ප්‍රදායේ හැඩතල වර්ණ වෙනස් කළ පොළොවේ පය ගසා ජීවත් වූ සද්දන්ත පුංචි මිනිසා ඔබය.

සොබාදහමේ රිද්මය හා සුවඳ දැන හඳුනාගත් හදවතින් හුස්මක් ගත්, ජීවිතයේ අනන්ත දුක් විඳිමින් නැති බැරිකම් දුප්පත්කම් විඳ දරාගනිමින් දසන් විදහා නොව හදවතම සිනාවකට සම්මිශ්‍රණය කර සිනාසුණ කලං... ඔව් එදා මෙදාතුර සිංහල සිනමාවේ මා දුටු කඩවසම්ම රංගධරයා, පිරිමියා ඔබමය... සදාසිරි සොඳුරු සිරි ඉතිරි කර යන්න ගිය අමරසිරි ඒ ඔබම පමණය...

ඒ එක දවසක්... අමරසිරි කලංසූරිය මහනුවර මල්ලිකා ස්ටූඩියෝ එකේ වැඩ කරන කාලෙ. ඒ වෙද්දි කලං අවුරුදු 18 ක 19 ක කොල්ලෙක්.. ඒ ස්ටූඩියෝවට ගොඩ වැදුණු රංජිත් පෙරේරාගේ හිතට කලංගේ කහටක් නැති අමුතු ලස්සන මූණටයි ලස්සන පිස්සුවක් වෙච්ච කොණ්ඩයටයි හිත යන්න ගතවෙන්න ඇති මම හිතන්නෙ මොහොතක්... රැයක් දවාලක් කියන මිලිමීටර් 16 පර් යේෂණාත්මක කළු සුදු චිත්‍රපටය අස අමරසිරි නළු වරමෙහි විවරණ ලද්ද අතීතය එහෙමයි... ඒත් මිලිමීටර් 16 ඒ චිත්‍රපටය හුඟාක් අයට දකින්න ලැබුණේ නෑ...

1969 දී නිමැවුණු හන්තානේ කතාව කලංගේ සිනමා සම්ප්‍රාප්තිය ලෙස හැඳින්වෙන්නෙ අන්න ඒ හින්දයි. 

ඔන්න දවසක් කලං දුම්රිය පොළක කඩල ගොටුවක් අතේ තියාගෙන කඩල කකා ඉද්දි සුගතපාල සෙනරත් යාපා ලස්සන කොණ්ඩයක්, අමුතු කෙට්ටු මූණක් ඇති ඒ තරුණයා දුටුවේය.
මල්ලි මොනවද ඕකෙ තියෙන්නෙ... කලංගෙන් විකුණන්නට යන කලිසම් බෑගය පෙන්වා සුගතපාල සෙනරත් යාපා විමසුවේය. 

කලිසම්..
මල්ලි කැමති නැද්ද රඟපාන්න
මම රඟපාන්න දන්නෑනෙ

රඟපාන්න දන්නැති එකම තමයි හොඳ.. මල්ලිගේ ඇඩ්‍රස් එක දෙන්නකො... අපි දන්වලා එවන්නම්...

ලියුම ආවේය. කලං ගියේය. ස්වර්ණා මල්ලවආරච්චි, ශෝභනි අමරසිංහ, සුගතපාල සෙනරත් යාපා, විජය කුමාරණතුංග අතරට කලං පැමිණියේය.

සෙනඟ ගොඩක්නෙ. මම වෙනින් දවසක එන්නම්... අන්දමන්ද ස්වරයෙන් කලං පැවසුවේය.

නෑ මල්ලි ඉන්න.. මල්ලි අපිට රඟපාලා පෙන්නන්න. ඔයාගේ බිරිඳ ඝාතනය කරලා ඔයාට මරණ දණ්ඩනය හිමිවෙලා. ඒක ඔළුවෙ තියාගෙන විනිශ්චයකාරතුමාට මල්ලිට කියන්න තියෙන දේ කියනවා කියලා හිතාගෙන.
කලං හිස ඔසවා ඉහළ මානයකට හිස හැරෙව්වේය.

ඒ විනිශ්චයකාරතුමා උසාවියේ සිටින්නේ උස් තැනක නිසාය.

..................... සුද්ද සිංහලයැයි කියන වචනයක් සමඟ කලං එසේ වූවානම් කියන දේ කට ඇර කීවේය.

හා ඇති ඇති මල්ලි ඇති. අර වචනය ඒ තරම්ම සැර වෙන්නට ඇත. 

මල්ලි කොහෙද ඉස්කෝලෙ ගියේ..

නුවර ධර්මරාජේ..
හරි මල්ලි දැන් යන්න. අපි මල්ලිට දන්වලා එවන්නම්...

ඒ දන්වා එවීමේ ලිපිය සිංහල සිනමාවේ සම්මත නළු ආකෘතිය, සම්මත නළු සම්ප්‍රදාය වෙනස්ම මඟක් කරා යොමු කරලීය. 

අනන්ත වූ දෙරණ සරා
දෑස නිවන නිලක් පායා
අහස් ගව්ව නැග ගත්තේ
නිල්ල දකින්නයි

හන්තානේ කතාවෙන් ඉනික්බිති අහස් ගව්වට පා තැබූ කලං... 1974 වසරේ ධර්මසේන පතිරාජ නිර්මාණය කළ අහස් ගව්ව සිනමා රූපකාරකය ඔස්සේ සිනමාමය පෙරළියක පෙර ගමනක් සනිටුහන් කළ කලං...

1978 දී එච්.ඩී. ප්‍රේමරත්න නිර්මාණය කළ අපේක්ෂා, ධර්මසේන පතිරාජ නිර්මාණය කළ බඹරු ඇවිත්, ධර්මසිරි ගමගේ නිර්මාණය කළ පූජා, මේ ආදී සිනමා වියමන්හි තම රංගන ප්‍රතිභාව නෙක අයුරින් වර්ණ ගැන්වූ කලං පූජා හි රංගනය වෙනුවෙන් හොඳම සහාය නළුවාට හිමි ජනාධිපති සම්මානය ලද්දේය.

''මගේ තාත්තාට හිටියේ ජෝ අබේවික්‍රම මහත්තයා. තාත්තා තමයි අලුගෝසුවා. මාව මරණ දණ්ඩනයට නියම වුණාම තාත්තාට අලුගෝසුවා විදිහට මාව එල්ලලා මරන්න නියම වෙනවා. මම වරදකාරයා. තාත්තා අලුගෝසුවා...*

ඒ දර්ශනය කරන්න ඉස්සරින් දවස් මම රෑ හිරගෙදර ගිහින් හිටියා. ජෝ මහත්තයා මුලින් කීවා ඒ අවසාන දර්ශනය නොකර ඉමු කියලා. මම කීවා ඒ දර්ශනය ගන්න. නැත්නම් මම මේ චිත්‍රපටයේ රඟපාන්නෙ නෑ කියලා. මම ඒ අවස්ථාව රඟපෑවට පස්සෙ ගාමිණී ෆොන්සේකා ඇහුවා, මල්ලි ඒ දර්ශනය කළේ කොහොමද.. ඒක හරි ලස්සනයි කියලා. මම කීවා මම කාලෙක ඉඳන් බ_ස්ලි අධ්‍යයනය කරනවා කියලා.

දරු දුක උහුලා
තනිව වැළපෙනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූජා...  

පෝරකයට ගෙන යන පුතකුගේ මූණෙහි මැවෙන වේදනාව, දුක, ආවේගය, පසුතැවීම, රිදුම, පෝරකයට ගෙන යන අලුගෝසුවා තම ලෙයෙහි වගකිවයුත්තා වූ තාත්තා වූ කල්හි සියලු භාවයන් දෙගුණ තෙගුණ වී දැනෙන කල්හි

කලං ඒ මොහොත
ඒ භාව නිරූපණය
ඒ සුවිශිෂ්ට රංගනය කිසිදා අමතක නොවේ කලං...

කලං ඔබ ශාස්ත්‍රියව රංගනය හැදෑරුවා නොවේ. එහෙත් ඔබ සිංහල සිනමාවේ අනන්‍ය පරිච්ඡේදයකි. ලාංකික සිනමාව තුළ අමරසිරි කලංසූරිය යන්න වෙනම පරිච්ඡේදයක්, වෙනම සලකුණක් වෙනම යුගයක් වෙනම අනන්‍යතාවක් බව ඔබ ඔප්පු කර හමාරය... 

කලං... විසිරුණු, අහංකාර, හිතුවක්කාර, දඟලන, නැටවෙන, ගැස්සෙන ඒ 'පිස්සු' කොණ්ඩය, මනමත් කරවමින් හදවතින් දෝර ගලන හැඟුම් සමුදායක අප්‍රකාශිත ප්‍රකාශනයක් වූ ඒ පුදුම පිරිමි හිනාව... සිංහල සිනමාවේ එදා මෙදාතුර මා දුටු කඩවසම්ම, අමුතුම, නිර්ව්‍යාජම නළුවා ඔබය යන සිතුවිල්ල මගේ හිතේ ඉපැද්දුවේය.

ඔව් කලං.. ඒ ඔබමය. ''මල්ලි වර්ක් ෂොප් කරලා නළුවෙක් වෙන්න බෑ. නළුවෙක් වෙන්න ඕනෙ ජීවිතයෙන් ඉගෙනගෙන.'' ඔව් ඔබ දවසක් ඒ වග කීවේය. විචාරයේ ඉසියුම් විවරණය තුළ අමරසිරි කලංසූරිය රංග වින්‍යාසය සම වූයේ ප්‍රංශ නව රැල්ලේ පෙරළිකාරයෙකු වූ ෂෝන් පෝල්ගේ රංග පෞරුෂයටය. රංග වින්‍යාසයටය. ප්‍රංශ, ඉතාලි, ඉංග්‍රීසි ආදී චිත්‍රපට නරඹමින් රංගනය ස්ව අභ්‍යාසාත්මක ලෙස හැදෑරූ ඔබ කිසිදා රඟ නොපෑවේය. ඒ ඔබමය. ආත්මීය හුස්මකින් ඔබ චරිත තුළ සැරිසැරුවා පමණි. කලංගේ රංගන සුවිසැරිය ඉසියුම් ලෙස කියවිය හැකි නම් ඒ ආත්මීය බැඳුම්, එ් ආත්මීය විඳුම් ආත්මීය රිදුම් ඔහුගේ රංගනයේ න්‍යෂ්ටිය විනිවිද ඔබ හඳුනාගනු ඇත.

අම්මාගේත් තාත්තාගේත් ආදරය ජීවිතයේ පුංචි වයසකදීම අහිමිව ජීවිතය සරි කරගනු පිණිස පොල් ගස් පවා බඩගාමින්, හීරුණු පපුවේ වේදනාව ඉවසාන, තවත් වරෙක පරණ කලිසම් විකුණමින්, තවත් කී නොකී බොහෝ දුක් ගැහැට විඳිමින්, මහ පොළොව සමඟ සුවිසල් අරගලයක යෙදුණ දහඩිය කඳු ගණන් වපුරා බලාපොරොත්තු යායට පැළ කළ ධෛර්යවන්තයා ඔබය.

ලාංකික සිනමාමය ගැරුම් වට්ටියේ ලස්සනටම දිලිසුණු නිල් මැණිකක් ඔබ...
කලං.. යන්න
ඒත් ආයෙත් එන්න
සංසාරය හරි දිග කතාන්දරයක්

♦ සංජීවිකා

සේයාරූ I සුමුදු හේවාපතිරණ සහ අන්තර්ජාලයෙන්