2017 ජුනි 03 වන සෙනසුරාදා

එක රැයක් මට නවතින්න ඉඩදෙන්න සිස්ටර්..

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 122

සිස්ටර් සේරා මට හැඟවූයේ තවදුරටත් මා සමඟ කතා කිරීමට ඇය එකඟ නැති බවක්. එහෙත් සිදුවූයේ කුමක්ද යන්න මට ප්‍රහේළිකාවක් පමණක්ම වී තිබුණා. ඇය මා දෙස බැලුවේ දැඩි අප්‍රසන්න බැල්මකින්. සිස්ටර් සේරා විසින් සොහොනක් පාමුල තබන ලද මල්කලඹ දෙස මම අරමුණකින් තොරව බලා සිටියා. 

ඔයා දැන් යන්න දුල්යානා.. තවදුරටත් අපිට කතාකරන්න කිසිම දෙයක් නෑ... මීට වඩා මට ඔයාට මේක තේරුම් කරන්නත් බෑ. 
මට එක දෙයක් විතරක් කියන්න සිස්ටර්.. එතකොට මම යන්නම් 
මොකක්ද?
මට කියන්න අංජලී කෝ කියලා 

මම ඒ ප්‍රශ්නයට දෙන්න ඕනෑ උත්තරය ඔයාට දුන්නෙ මීට හුඟාක් කලින් 
නෑ සිස්ටර් අංජලී ඉන්නවා.. සිස්ටර් සහ අර ඇවිත් ඉන්න ගෑනු ළමයා මට බොරු කියනවා 
ඔයාට කැමති දෙයක් හිතන්න.. ඒත් ඔයා දැන් කරුණාකරලා මේ පල්ලියෙන් යන්න.. තවදුරටත් ඔයාටවත් අපිටවත් කතා කරන්න දෙයක් ඉතුරැවෙලා නෑ දුල්යානා... 
නෑ සිස්ටර් මම ආදරේ කරපු කෙනෙක් ගැන දැනගන්න මටත් අයිතියක් තියෙනවා.
අංජලී දෙවියන් වහන්සේ ළඟ කියන එක ඔයා විශ්වාස කරන්න එච්චරයි 
නෑ සිස්ටර් ඒක එහෙම වෙන්න බෑ.. මගේ හිත මට කියනවා අංජලී ජීවතුන් අතර කියලා...
නෑ ඔයාට මම කියන දේ විශ්වාස කරන්න වෙනවා දුල්යානා 
සිස්ටර් මගේ එක ඉල්ලීමකට විතරක් මට ඉඩදෙන්න 
මොකක්ද?

මට අදට විතරක් මේ පල්ලියේ නවතින්න ඉඩ දෙන්න.. ආය කවදාවත් මම සිස්ටර්ගෙන් එහෙම ඉල්ලීමක් කරන්නෙ නෑ... 
ඒකෙ තේරුම මොකක්ද දුල්යානා...
මට ඉස්සර වගේ මේ පල්ලිය ඇතුළෙ තනිවෙලා හිතන්න ගොඩක් දේවල් තියෙනවා සිස්ටර්.. දෙවියන් වහන්සේගේ නාමයෙන් මට ඒකට ඉඩක් දෙන්න 

හැබැයි මීට පස්සෙ කිසිම දවසක ඔයා මේ පල්ලියට එන්නෙ නෑ කියලා පොරොන්දු වෙනවනම් මම ඔයාට ඒකට ඉඩ දෙන්නම්. 
මම පොරොන්දු වෙන්නම් සිස්ටර්...

මම සිස්ටර් සේරා දෙස බලාගෙන පැවසුවේ කෘතඥ පූර්වක හැඟීමකින්. ලෝකයේ සියල්ලෙන් වෙන්වී මගේම ලෝකයක තනිවීමේ වුවමනාව මට දැඩිව දැනෙමින් තිබුණා. මගේ ජීවිතයේ බොහෝ මතකවල අයිතිය තිබුණේ මේ පල්ලියට. මට ආදේශ් මුණගැසුණේ මේ පල්ලියේදී. ඊට‍ පෙර මගේ විවාහය සිද්ධ වුණේ මේ පල්ලියේදී. මම අලුත් ජීවිතයක් හොයාගෙන ගියෙත් වැරදුණු ජීවිතය අත්දෙකට අරන් නැවත පැමිණියේත් මේ පල්ලියට. මට අංජලී මුණගැසුණෙත් මේ පල්ලියේදී. අංජලී මගේ ජීවිතයට ළංවුණෙත් මේ පල්ලියේදී. රාත්‍රීන් කොපමණ සංඛ්‍යාවක් පල්ලියේ උද්‍යානයට වී කහපාට රෝස මල් පිපෙන උද්‍යානයේ රැඳුණු රෝස සුවඳත් සමඟ දවස් ගතකර ඇත්ද?
එදා රාත්‍රිය මම ගතකළේ එතෙක් මා පල්ලියේ ගත කළ කාමරයේ නෙවෙයි. සීතල ඒ රාත්‍රියේ දැඩිව දැනෙමින් තිබුණා. උණුදියෙන් නා උණුසුම් කෝපි කෝප්පයක රස විඳිමින් මා සිහිපත් කළේ පල්ලිය හා බැඳුණු මගේ සෙනෙහෙබර අතීතය. වීදුරු ජනේලය හැරදා උද්‍යානය දෙස මා බැලුවේ අතීත වේදනාවක් හිත පාරද්දී. මට අවශ්‍ය වුණේ අංජලී කොහි සිටීද යන්න නිශ්චිතව දැනගැනීමටයි.

සීතල දරාගෙන මම පල්ලියේ සොහොන් පිටිය වෙතට ඇවිද ගියා. කුරැස ලකුණ සහිත සොහොන් කොත් අඳුරේ නැහැවෙමින් ගුප්ත සුන්දරත්වයක් මවමින් සිටියා. මම ඇවිද ගියේ මා ඇවිදන බව මහපොළවටවත් නොදැනෙන අයුරින්.
දුල්යානා....
දෙවියනේ.. ඒ සුපුරුදු කට හඬත් සමඟ මා එතනම ගල්ගැසී නැවතුණා