ශ්‍රී ලාංකික සිනමා වංශය ලියා තබන්නට සිත් වූ ඇසිල්ලක, ඔහු කෙලෙසක මඟහැර යන්නද? ශ්‍රී ලාංකික සිනමාව ජෝතිමත් කළ මිනිසා ඔහුයි. ලාංකික සිනමා පෙම්වතා පසුබිමේ වූ අමරණීය ගී හඬ පෞරුෂය ඔහු සතුය. එනිසාවෙන්ම සදාදර ජෝති අප හැරගොස් ඇති නමුත්, ජෝතිගේ ජෝතිමත් සිනමා ගීතාවලිය අද අතිශය ජනප්‍රියය. අපගේ මේ සිනමාන්තික උපහාරය රන් හදක් ළය දැරෑ ආදරණීය ජෝතී නම් අමරණීය ගී තරුව වෙනුවෙනි. 1936 පෙබරවාරි 12 වැනිදා එච්.ආර්. ජේමිස් සහ එච්.කේ. පොඩි නෝනාට දාව මෙලොව එළිය දුටු එච්.ආර්. රෙජිනෝල්ඩ් ජෝතිපාල නම් කුඩා බිලිඳා අමරණීය හඬ පෞරුෂයකට හිමිකම් කියනු ඇතැයි කවුරුන් නම් සිතන්නට ඇත්ද?
අද අප ඔබ හා බෙදාගන්නට සැරසෙන්නේ එච්.ආර්. ජෝතිපාලයන්ගේ සිනමාවතරණය පිළිබඳ කතන්දරයි. එහෙත් ඔහුගේ ජීවිත වෘත්තාන්තය පිළිබඳ පූර්විකාවක්ද අප මෙහි පළමුව ගලපා තැබිය යුතුමය. ජෝති සිය බාල විය ගෙවා දැමුවේ කොළඹ දෙමටගොඩ කුප්පියාවත්තේ කැටවලමුල්ලේ පුංචි නිවසකය. එය දුක් කම්කටොලුවලින් පිරී ගිය කතාවකි. කෙසේ නමුත් බාලේ පටන් සිනමා ගීයට ජෝති පෙම් බැන්දේය.
පාසල් විවේකයේදී මිතුරන් සමඟ එක්ව ගී මොහොමඩ් රාෆි, මුකේෂ්, මන්ඩාලේ, තාලාත් මොහොමඩ් වැනි අය ගැයූ ජනප්‍රිය සිනමා ගී ජෝතිපාලන් ගැයූ බව කියැවේ. ජෝතිගේ තුරුණු වියද ගැහැට කම්කටොලුවලින් පිරී ගිය එකකි. වරක් ජෝති සඳහන් කර ඇති පරිදි කොළඹ ග්‍රෑන්ඩ්පාස් වීදියේ කොස්ගස් හංදියේ පදිංචිව සිටි නඩරාජා නම් ගුවන් විදුලි ගායන ශිල්පියාගේ මඟපෙන්වීම ගායකයකු ලෙසින් සමාජගත වීමට ජෝතිට සුවිසල් පිටුබලයක් සපයා තිබේ. කොළඹ ප්‍රභූන්ගේ මන්දිරවල පැවති සාදවල ගී ගයන්නට ජෝතිට අවකාශය උදාවූයේ ඔහුගේ මඟපෙන්වීම යටතේය.
කෙසේ හෝ ගායන තරග කිහිපයක්ද ජය ලබමින් සිය දක්ෂතාවය නිසාම ගුවන් විදුලි ගායකයෙකු ලෙසින් කෙමෙන් ඉදිරියට පැමිණීමට ජෝති සමත්ව ඇත. එහෙත් සිනමා පසුබිම් ගායනය පිළිබඳ වූ සිහිනය ජයගැනීමට එච්.ආර්. ජෝතිපාල නම් යෞවනයාට පහසු නොවූ බව සඳහන් කළ යුතුය. අපමණ ප්‍රතික්ෂේප වීම් සහ අවලාද ජෝතිගේ සීමාවතරණය පමාකර තිබේ.
බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න අධ්‍යක්ෂණය කළ 1954 දී තිරගත වූ ''මතභේදය'' ජෝතිපාලයන්ගේ සිනමා ගමනේ එක්තරා සංධිස්ථානයකි. ජෝතිට පළමු සිනමා පසුබිම් ගීයක් ගැයීමට ආරාධනා ලැබුණේ මෙම සිනමාපටය වෙනුවෙනි. ජෝතිපාලයන්ට අතිශය ආදරය කළ කීර්තිමත් සංගීතඥයකු වූ ආර්.ඒ. චන්ද්‍රසේනයන් සංගීත අධ්‍යක්ෂණය කළ මෙම සිනමාපටයේ ජෝතිට ඉඩක් ලබාදීමට අධ්‍යක්ෂකවරයාට පවා ඔහු ඇවිටිලි කර ඇතැයි කියැවේ.
ඒ අනුව චන්ද්‍රසේනයන් යටතේ සිනමාපටය වෙනුවෙන් ‘ගින්නකි හද මාගේ පෙම් ගීතය පුරුදු පුහුණු වීමට පවා ජෝතිපාලයන් කටයුතු කර තිබේ. ගීතය පටිගත කිරීම ඉන්දියාවේදී සිදුකිරීමට නියමිතව තිබී ඇත. එහෙත් පිරිස ඉන්දියාව බලා පිටත්වන මොහොත වනවිට ජෝතිපාලයන් සතුව විදෙස් ගමන් බලපත්‍රයක් තිබී නොමැත. ඒ අනුව ඔහුට අවාසනාවන්ත ලෙස එම අවස්ථාව මඟහැරී තිබේ.
මේ අතර ''පෙරකදෝරු බෑණා'' වැනි සිනමාපටවලදී ජෝතිගේ හඬ සිනමාවට නොගැලපෙතැයි සංගීත අධ්‍යක්ෂකවරුන් සහ තැටිගත කරන්නන් පැවසූ බවට වාර්තා පලවේ. මේ සිනමා පසුබිම් ගායකයෙකු ලෙස සිරිසේන විමලවීරගේ ''පොඩි පුතා'' චිත‍්‍රපටය වෙනුවෙන් රාණි පෙරේරා සමඟ ජෝති යුග ගීයක් ගැයූ මුත්, තිරගතවන මොහොතේදී එම ගීතය සිනමාපටය තුළ දක්නට නොලැබුණු බව කියැවේ. මෙම සිදුවීම ජෝතිගේ හදවතේ සුවිසල් රිදුමක් නිර්මාණය කළ බව ඔහුගේ මිතුරු සමූහයා පවසති.
පුළුල් තිරයේ පසුබිම් ගායනයට එච්.ආර්. ජෝතිපාල නම් ගායකයා අත්පොත් තැබුවේ ''සුරතලී'' නම් සලෙරුවෙනි. මෙම අවස්ථාව ජෝතිට ලැබීම පිළිබඳව අපූරු කතාවක් තිබේ. 1956දී තිරගතවූ ''සුරතලී'' සම අධ්‍යක්ෂකවරුන් වූයේ සිරිල් පී. අබේරත්නයන් සහ ඉන්දීය ජාතිකයකු වූ කේ. වෙම්බු නම් අයෙකි. සිනමා පටයේ එක්තරා ජවනිකාවක තමාට අයත් වතුයායේ ගීතයක් ගයමින් අවට සොබා සිරිය නරඹමින් ප්‍රකට නළු ආනන්ද ජයරත්නයන් ගීයක් ගැයුවේය.
''සිරියමේ සාරා - නැගෙවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා - හෝ ප්‍රේමේ අම ධාරා
ප්‍රේමේ නුරා ගීත රාවේ ඇසෙන්නා
මේ පෙම් මල් පිපීලා මා හර්දේ පිරෙන්නා
හෝ...හෝ....''
මෙම මොහොත වෙනුවෙන් ගීතවත් වන්නට හඬක් මෙම නිර්මාණය අතරතුරදී අධ්‍යක්ෂකවරයා සොයමින් සිට තිබේ. එහිදී ඔහුට ජෝති පිළිබඳ පවසා ඇත්තේ ‘සුරතලී’ චිත්‍රපටයේත් රඟපෑමට තෝරාගෙන සිටි ඇම්.පී. ගැමුණු නම් රංගධරයා විසිනි. ජෝතිගේ හඬ අසා ප්‍රමුදිත වූ සිරිල් පී. අබේරත්නයන් නිෂ්පාදක ජබීර් ඒ. කාදර්ට, ජෝතිව හඳුන්වා දී තිබේ.
එදා ආනන්ද ජයරත්නයන්ගේ හා රංගනයට අපූරුවට ගැලපුණු ජෝතිගේ පළමු සිනමා ගීය, අදද එදා මෙන් මෙන්ම ජනප්‍රියය. ''සිරියමේ සාරා'' සැබවින්ම සිංහල සිනමා ගීතාවලියේ සලකුණකි. මේ ගීතය නොගැයෙන සාදයක් සැණකෙළියක් අදද නොමැති තරම්ය.
මෙම ගීතය පටිගත කොට ඇත්තේ ඉන්දියාවේදීය. ''සිරියමේ සාරා'' ගීතය රචනා කර ඇතේ විල්ප්‍රඩ් සිල්වා නම් ගීත රචකයා විසිනි. ඒ සංගීත සුසංයෝජනය ඉන්දීය ජාතික චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයෙකු වූ ටී.ආර්. පාපා විසින් සිදුකරනු ලැබ තිබේ.
මේ කතාවේ දුක් කම්කටුලු බොහෝ වූ බව අවසන නොවළහා කිව යුතුය. ''සිරියමේ සාරා'' ගීයෙන් ඇරුඹි ජෝතිපාලයන්ෙග සිනමා වංශය පොතක පිටුවක ලියා තබනු නොහැකිය. ඔහු ගැයූ සිනමා ගීත දැනුදු අප සවන් මත රුව් පිළිරුව් නැඟේ.
I චමිඳු නිසල්
සේයාරූ I අන්තර්ජාලයෙන්