2023 ජුලි 15 වන සෙනසුරාදා

පළමු චිත්‍රපට ප්‍රදර්ශනය දියතලාවේ සිරකරුවන් වෙනුවෙන්!

 2023 ජුලි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 189

ලාංකික සිනමා ප්‍රදර්ශන ඉතිහාසයේ ඇරඹුම - 01

චිත්‍රපටය’ යනු පුළුල් තිරයක් මතට කලින් සකසාගත් චලනය වන රූපාවලියක් ප්‍රක්ෂේපණය කිරීම මගින් දෘශ්‍ය මූලික කථා කීමේ කලා මාධ්‍යයක් ලෙස පොදු පිළිගැනීමයි. කලාත්මක ප්‍රකාශනය උදෙසා චිත්‍රපටය සමත් කරවන චිත්‍රපටයේ නිර්මාණය කිරීමේ සහ නිෂ්පාදනය ක්‍රියාවලියේදී යොදාගැනෙන මානව සම්පත් සහ භෞතික සම්පත් යනු සම්මත සහ ප්‍රමිතීන් මත නිරන්තරයෙන් අවධානයට ලක්වන්නකි. චිත්‍රපටයක සංකල්පය යන්න තිර රචනයකින් කියවා ගත හැකිවේ. ඒ නමුත් අධ්‍යක්ෂණය, සිනමා ඡායාරූපකරණය, සංස්කරණය, රංගනය, සහ අනෙකුත් අනුශාංගික නිෂ්පාදන අංශවල දායකත්වය තුළින් චිත්‍රපටයක් බිහිකරගැනීම සඳහා නිෂ්පාදනයේ සමස්ත ක්‍රියාවලියම ඇතුළත් වේ.

චිත්‍රපට යන්න කලාත්මක සිනමාව, ප්‍රධාන ධාරාවේ සිනමාව, ජනප්‍රිය සිනමාව, සමාන්තර සිනමාව සහ තවත් වර්ගීකරණයන්ට එහි අන්තර්ගතය මූලික කොටගත් බෙදී යන අතර, විශේෂයෙන්ම ප්‍රබන්ධ සිනමාව වන කතන්දර කීමේ ආඛ්‍යාන සිනමාව, වාර්තා චිත්‍රපට, සජීවිකෘත සිනමාව සහ තවත් වර්ගීකරණ ආකෘතිය මූලික කොටගෙන බෙදී වෙන්වෙයි. ඒවාටත් විශේෂිතව සිනමා කෘතිය අයත්වන විවිධ සිනමා ප්‍රවර්ග වර්ගීකරණයක්ද පවතී. සම්භාව්‍ය සිනමාව යනු කලාත්මක සිනමාවම නොවේ. එය පෙරකී ඕනෑම සිනමා කෘතියක් විය හැකි අතර, දිගු කාලන්තරයකට පසුවත් කිසියම් චිත්‍රපටයක් ඒ චිත්‍රපට ඉතිහාසය තුළ සුවිශේෂතා පෙන්වන හේතු සාධකවලින් සමන්විත නම් එය සම්භාව්‍ය චිත්‍රපටයකි. 

දෘශ්‍ය මූලික කලාවක් වුවද චිත්‍රපටය යනු බොහෝ විට සංවාද, ස්වභාවික හඬ, සංගීතය සහ ශබ්ද ප්‍රයෝග ඇතුළුව ශ්‍රව්‍ය පක්ෂයේ අන්තර්ගත ගෙන රූපපටයට සමමුහුර්ත කළ හඬපටය සමඟින් දෘශ්‍ය අත්දැකීම වැඩිදියුණු කරන අතර සමස්ත කතාන්දරය ඉදිරිපත් කිරීමට දායක වේ. චිත්‍රපට සාමාන්‍යයෙන් නැරඹීම පිණිස රුස්වන ප්‍රේක්ෂකයන්ට මනා සේ ඉදිරිපත්කිරීමට චිත්‍රපටශාලා ප්‍රදර්ශන කටයුතු සිදුකරන අතර, චිත්‍රපටය යන්න පුළුල් තිරයක නැරඹීමක් බව පොදු අදහසයි. ඉන් අමතරව ටෙලිවිෂන් මාධ්‍යය, ගෘහ විනෝදායනය පිණිස තැටි සහ පටි, ප්‍රවාහ වේදිකා, සහ මාර්ගගත වේදිකා වැනි විවිධ මාධ්‍ය නාලිකා හරහා චිත්‍රපට ප්‍රදර්ශනය සිදුවීම අද්‍යතන අත්දැකීම බවට පත්ව තිබේ.

ප්‍රංශ ජාතික ඔගස්ටෙ සහ ලුමියර් සහෝදරයන් සිනමාකරණ තාක්ෂණය ස්ථාපනයේලා ඔවුන්ගේ ‘සිනෙමැටෝග්‍රාෆ්’ මෙවලම නිපදවීම වෙනුවෙන් වර්ෂ 1895 පෙබරවාරි 13 වෙනි දින පේටන්ට් බලපත්‍රය ලබාගත්තා පමණක් නොව 1895 දෙසැම්බර් 28 වෙනි දින පැරිස් නගරයෙහි ‘සැලෝන් ඉන්ඩියන් ඩු ග්‍රූන්ඩ් කැෆේ’ හි දී ලොව පළමුවෙනි වරට ප්‍රවේශ පත්‍ර අලෙවි කොට සිදුකරන ලද මහජන සිනමා ප්‍රදර්ශනය පැවැත්වීම වෙනුවෙන් අදත් ගෞරවයට පාත්‍ර වෙයි. ශ්‍රී ලංකාවට අසල්වැසි ඉන්දියාවේ පළමුවෙනි වරට 1896 ජූලි 17 වෙනි දින බොම්බාය නගරයෙහි වොට්සන් හෝටලයේදී සිනමා ප්‍රදර්ශනය කරන ලද්දේද ලුමියර් සහෝදරයන් විසින්ය.

ලේඛනගතව ඇති ලෙස මෙරට ස්ථාපනය කරන ලද පළමුවෙනි ඡායාරූප ශාලාව වර්ෂ 1862දී පමණ පිටකොටුවේ ශාන්ත බස්තියන් කන්දේ ‘ඩබ්ලිව්.එල්.එච්. ස්කීන් සහ සමාගම’ ලෙස පිළිගැනෙයි. අනතුරුව  දමිළ ජාතික ආධුනික ඡායාරූප ශිල්පියකුවූ ‘එස්.කේ. ලෝටන් සහ සමාගම’ 1876දී යාපනයේ පිහිටුවා තිබෙයි. කොළඹ කොම්පඤ්ඤ වීදියේ ‘හෝප්ටවුන්’ ඡායාරූප ශාලාව පිහිටවූ ඒ.ඩබ්ලිව්. ඇන්ඩ්‍රි පසුව නොරිස් පාරේ ඡායාරූප ශාලාවක් ඇරඹූ බව 1895 අගෝස්තු 31 වන දින ‘ලක්මිණි පහන’ පුවත්පතේ පළ කළ දැන්වීම වාර්තා කරයි.

වර්ෂ 1899න් ආරම්භ වී පසුව 1902 දක්වා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සහ බෝයර් ජනරජ අතර දකුණු අප්‍රිකාවේ සිදු වූ ඇන්ග්ලෝ-බෝයර් යුද්ධය පැවතියේය. කර්නල් ශ්‍රීමත් ජෝසප් වෙස්ට් රිජ්වේ එවකට යටත් විජිතයක් වූ බ්‍රිතාන්‍ය ලංකාවේ (බ්‍රිටිෂ් සිලෝන්) වර්ෂ 1896 සිට 1903 දක්වා ආණ්ඩුකාර ධුරය දැරුවේය. ඔහු වර්ෂ 1901දී මුලින්ම තම නිල නිවසේදීත්, අනතුරුව පෙරකී බෝයර් යුද්ධයේ සිරකරුවන් වෙනුවෙන් දියතලාවේ සිර බෝයර් කඳවුරේදීද සීමිත ප්‍රදර්ශනයක් වශයෙන් මෙරට තුළ චිත්‍රපට ප්‍රදර්ශනය පළමුවෙනි වරට සිදු කරවා තිබේ. බෝයර් යුද්ධයේ බ්‍රිතාන්‍යයේ ජයග්‍රහණය, වික්ටෝරියා රුජිනගේ අවමංගල්‍යය, හත්වෙනි එඩ්වඩ් රජුගේ රාජාභිෂේකය යනාදිය එකී චිත්‍රපටයේ සංගෘහිතව තිබේ. 

අනතුරුව කොළඹ බ්‍රිස්ටල් වීදියේ ටයිම්ස් ගොඩනැගිල්ල ඉදිරිපිට පිහිටි බ්‍රිස්ටල් හෝටලයේ උඩුමහලේදී වැනි එම චිත්‍රපටයේ පසුකලෙක කරන ලද වෙනත් ප්‍රදර්ශන අවස්ථා හේතුවෙන් මෙරට වාසය කළ බ්‍රිතාන්‍ය ජාතික පදිංචිකරුවන් සහ බ්‍රිතාන්‍යකරණයට යොමුවී ලැදිවී සිටි ස්වදේශිකයන්ටද එය චිත්‍රපට නැරඹීම කෙරේ නව ආකර්ෂණයට මඟ පාදන්නක් විය. වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙකු වූ පෙරකී ‘හෝප්ටවුන්’ ඡායාරූප ශාලාව හිමි ඒ.ඩබ්ලිව්. ඇන්ඩ්‍රි නම් ලාංකිකයා මේ කාර්යයෙහි නියුතු තාක්ෂණවේදියා විය. කෙසේ වුවද එම චිත්‍රපට ප්‍රදර්ශනයේ අරමුණ අනෙකක් වුවද එය පළමුවෙනි වරට මෙරට තුළ කිසියම් ලෙසකින් සිනමා ප්‍රදර්ශනය සිදුකරන ලද අත්දැකීම මෙරට සිනමා ඉතිහාසයේ ඓතිහාසිකව සනිටුහන් කරන්නකි. මේ අනුව වර්ෂ 1901න් ඇරඹෙන මෙරට සිනමා අත්දැකීම සතුව අවුරුදු 122ක ඉතිහාසයක් පවතී.

ඊටත් පෙරාතුව කෲගර් නැමති ජර්මන් ජාතිකයෙකු 1873​ දෙසැම්බර් 20දා සිට කොළඹ නගර ශාලාවේදී සංගීත වාදන සහ ගායනා සහිතව ‘මැජික් ලන්තෑරුම්’ දර්ශන සහ හා ‘පැන්ටස්මැගෝරියා’ දර්ශන ඉදිරිපත් කර තිබේයැයි සඳහන්වන අතර, එවැනි මැජික් ලන්තෑරුම් මෙවලමක් අදටත් මාතර දිස්ත්‍රික්කයේ වැවුරුකන්නල විහාරස්ථානයේ කෞතුකාගාරයේ තැන්පත් කොට තිබේ.

කොළඹ, කොටුවේ දුම්රියපොළ ඉදිරිපිටින් වරාය දෙසට වැටී ඇති මල්වත්ත ‍පාරටත්, චාමර්ස් ධාන්‍යාගාරයටත් අතරමැදි වූ සූරිය ගස් වැවී තිබූ භූමිය ඒ සමයේ හඳුන්වා ඇත්තේ ‘සූරිය චතුරශ්‍රය’ යනුවෙනි. වර්ෂ 1874 වනවිට අලංකාර මල් වත්තක්ද සහිත එම භූමිය ‘මල් වත්ත’ යනුවෙන්ද හැඳින්වුණු අතර රාත්‍රි කාලයේදී එහි දල්වන්නට සවිකළ ගෑස් පහන් තිබී ඇත. එකල මෙරට වාසය කළ විදේශිකයන්ද ස්වදේශීකයන්ගේද වින්දනාස්වාදය සඳහා විදේශීය නාට්‍ය, සංගීත මැජික් හා සර්කස් කණ්ඩායම් පවා මෙහි ප්‍රසංග හා සංදර්ශන පවත්වා තිබේ. ඔවුන් සිය ප්‍රසංග හා සංදර්ශන ඉදිරිපත් කිරීම පිණිස බොහෝ විට තෝරාගෙන ඇත්තේ මල් වත්ත යනුවෙන් වූ හැඳින්වුනු භූමියයි. ලාංකිකයන්ද  තම නූර්ති හා නාඩගම් නිර්මාණ එහි ඉදිවූ පිරිස් රුස්විය හැකිතරම් විශාල ප්‍රමාණයේ තාවකාලික කූඩාරම් තුළ මෙන්ම එහි තිබූ ‘පුෂ්ප ශාලාව’ රඟහලේදීද ප්‍රදර්ශනය කොට තිබේ. 

I ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර

කතා නැත! සත දහයයි! නොපිටට ඉංග්‍රීසි! ඒ කාලේ බයිස්කෝප්!

කියවමු මීළඟ හදසර සිනමා කලාපයෙන්