2023 ජුලි 22 වන සෙනසුරාදා

ඇසට අසුවන කළුවරෙන් එහා ගීතයෙන් ලෝකයම සොයන්නා - සසිඳු තරුෂාන්

 2023 ජුලි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 102

''උණු ලේ විෂ වී සිරුරේ
ඉසුරන් ගැටෙනා අතරේ
ගිනි මල් පිපිලා අහසේ
ඇවිලේ ගිනි දැල් සයුරේ
සා පවසින් ඉකි බිඳිනා
සුසුමෙන් යදියන් හෙලනා...
මිනිසා සුවඳයි මල සේ...''

මෙලෙස ගැයෙන කුමාරදාස සපුතන්ත්‍රී නම් ප්‍රවීණ ගී පද රචකයාගේ ගීපද, රෝහණ වීරසිංහ නම් අසහාය සංගීතවේදියාගේ ස්වර රටා, සුනිල් එදිරිසිංහයන්ගේ මධුර හඬ පෞරුෂයේ ළයාන්විත බව මොහොතකට අප සිත දැහැන් ගත කරයි.
එහෙත් මෑත දිනක මේ ගී පද අපට ඇසුනේ සුනිල් එදිරිසිංහයන්ගේ හඬින් නොවේ.  එය තුරුණු ළබැඳි පෞරුෂයක් හිමි මධුර ගී ස්වරයකි. මුහුණු පොතේ මිලියනයක ගණන් වූ සැරිසරන්නෝ මේ හඬින් මුසපත් වූහ. ඒ හඬ ඇතුළත් මිනිත්තුවක පමණ කුඩා වීඩියෝව සිය දහස් ගණනක් දෙනා මුහුණු පොතේ බෙදාගන්නට වූහ.

''ගොඩක් ලස්සනයි. ඒ හඬින් මගේ සිංදුවකුත් අහන්න තිබුණ නම්...''

ඒ මධුර හඬ අසා සිය සිත නැඟි අව්‍යාජ අදහස, මුහුණු පොත මත එලෙස ලියා තබන්නට වූයේ හදවතේ ගායකයා ලෙස තාරුණ්‍යයේ අබිසෙස් ලබා සිටින චාමර වීරසිංහන් ය. ඒ හැඟුම අව්‍යාජ බව අප කාටත් හැඟුණි. සැබැවින්ම කලාවේ මහා පතාක යෝධයන්ගේ සිත් පවා මොහොතකට නතර කර තබන්නට තරම් ඒ ස්වරය ළැබැඳි විය.

සරසවියේ බෝඩිමේ මිතුරන් පරිවාරයේ ගිටාරයකින් අත්වැල අල්ලා, මේසයකට දමන තට්ටුවකට තාල බැඳ අප තුරුණු තරුව මේ ගී පද ගයා තිබුණි. ඔහු කවුරුන්ද? ඇතැමෙක් ප්‍රශ්න කරමින් සිටියහ. එනිසාම සියලුදෙනාගේ කුතුහලය නිවා සනසනු රිසියෙන් මේ අපූරු තරුණයා පිළිබඳ තතු සැකෙවින් හෝ ලියා තැබීමට අපි තීරණය කෙළෙමු.

ඔහු නමින් සසිඳු තරුෂාන් ය. සසිඳු කැලණිය විශ්වවිද්‍යාලයේ තෙවැනි වසර සංගීත විශේෂවේදී උපාධිය හදාරන විද්‍යාර්ථියෙකි. සසිඳු ලොව දකින්නේ මසැසිනි. ආලෝකය රෑපයෙන් ලොව හඳුනාගන්නට වරම් නොමැති මුත්, සසිදු තරුෂාන් යනු නැණස වඩා ලොව දකින තරුණයකු බව කීම වඩාත් සාධරණය.

සසිඳු පිළිබඳ තතු විත්ති දන්නා රසික සමූහයක්ද සිටින බව මෙහිලා පළමුව සඳහන් කළ යුතුය. මීට දෙවසරකට පමණ ඉහත සසිඳු තරුෂාන් Hiru Star රියැලිටි වේදිකාවේ දිදුලන ගී තරුවක් ලෙස අප ආලින්දයට පැමිණියේය. ඔහු එම වේදිකාවට සමුදුන්නේ එම තරගවාරයේ පළමු පෙළ නම් අතර සිය නම ලියා තබමිනි.

එමනිසාම සසිඳු පිළිබඳ දන්නා රසික පිරිසක්ද අප අතර සිටී. එම වකවානුවේද සසිඳු සංගීත ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රවීණයන්ගේ සම්භාවනාවට පාත්‍ර වුහ. එහෙත් අධ්‍යයන කටයුතු නිසාම පසුගිය වසරක, දෙකක කාලය තුළ තරමක නිහැඬියාවක් සසිඳු තරුෂාන් කෙරෙන් දිස්විය. දැන් එම නිහඬ බව බිඳීගොස් හමාරය.

සසිඳු පිළිබඳ වැඩිදුරටත් තොරතුරු දැනගැනීමට මුහුණු පොතේ බොහෝදෙනා උනන්දු වන බව පසුගිය සති කිහිපයේදී අපි දුටුවෙමු. අප විමසා දැනගත් පරිද්දෙන්, බේරුවල මොරගල්ල ප්‍රදේශයේ උපන් සසිඳු තරුෂාන් ආදරණීය කැදැල්ලක වැඩිමල් පුත්‍රයාය. ඔහුට බාල තවත් සහෝදරයන් දෙදෙනෙකු සිටී. දෙමව්පියන්ගෙන් සහ ආදරණීය සහෝදරයන්ගෙන් ලැබෙන දිරිගැන්වීම් සසිඳුගේ මෙම සංගීත චාරිකාවට සුවිසල් ශක්තියක් වී තිබේ.

සංගීතය සමඟ වන ළබැඳි ගනුදෙනුව සසිඳු අරඹා ඇත්තේ බාල වියේදීය. ගායනයට වාදනයට ඔහු පෑ හපන්කම් නිසාම දෙමාපියන් සහ ගුරුවරුන් අපූරු තරුණයාට මේ මඟ පෙන්වා තිබේ. සැබැවින්ම ඔහු අද වනවිට එම චාරිකාවේ සැලකිය යුතු දුරක් පැමිණ ඇත. සසිඳු ප්‍රකට කරමින් සිටින්නේ, ශ්‍රී ලාංකික සුභාවිත ගීත කලාව ඉල්ලා සිටින, යුගයේ හඬ පෞරුෂය යැයි අපට සිතේ.

සසිඳු තරුෂාන් පළමු අධ්‍යාපනය හදාරා ඇත්තේ රත්මලාන අන්ධ විද්‍යාලයෙනි. එහි සිටි සෞන්දර්ය ගුරුවරුන් දිවිගමනේ බොහෝ කඩඉම්වලදී සසිඳු ආදර ගෞරවයෙන් යුතුව සිහිකරයි. උසස් පෙළ සඳහා සසිඳු තරුෂාන් බෙන්තර ඇලකාක විද්‍යාලයට ඇතුළත්ව ඇත. එහිදී කලා අංශයෙන් උසස් පෙළ හදාරා විශිෂ්ට සාමාර්ථ සහිතව කැලණි විශ්වවිද්‍යාලය වෙත ප්‍රවේශ වන්නට සසිඳුට හැකිවී ඇත්තේ ඔහු සතු අප්‍රතිහත ධෛර්යය නිසාවෙනි


සිය ආත්මීය විෂය වූ සංගීතය ඔස්සේ තවත් බොහෝ දුර යන්නට මේ අපූරු තරුණයා බලාපොරොත්තුවෙන් සිටී. පසුගියදාක තමන්ගේම නිර්මාණයක් ශ්‍රී ලාංකීය ගීතාවලියට එකතු කරන්නට සසිඳු සමත් වූ බවද මෙහිලා සඳහන් කළ යුතුය.

''තරු නෙලන්න තටු කොහෙන්ද බිම හිඳින්නෙමී
ඔබ නෙලන්න තරු මඬුල්ල මම ගනින්නෙමී...''

බන්දුල නානායක්කාරවසම් නම් ප්‍රවීණ ගී පද රචකයාගේ ගී පද සංකල්පනාව, අසංක ධනංජය ලියනආරච්චි නම් සංගීතවේදියාගේ සංගීතය මුසුව නිමැවුණු මෙම ගීතයට සසිඳු එක්කර ඇත්තේ අපූරු රසයක් බව නොකියාම බැරිය. රෑප රචනාවකින් පවා හැඩ වී ඇති මෙම අපූරු නිර්මාණය දැන් සයිබර් අවකාශය මත රසවිඳීමට ඔබට හැකිය.

කෙසේ නමුත් සසිඳු තරුෂාන් නම් සෞන්දර්යවේදියාගේ දීර්ඝ චාරිකාවේ ඇරුඹුම පමණක් බව අවසන සටහන් කොට තැබිය යුතුය. ස්වර මතින් ඔහු දකින ලෝකය, මතු අනාගතයේදී සසිඳු අපට දකින්ට ඉඩකඩ සලසනු නොඅනුමානය. සංගීත ලෝකයේ බොහෝ පතාකයන්ගේ ඇගයුමට සම්භාවනාවට ලක්වීමෙන් සසිඳු අරඹන මෙම ගමන, ශ්‍රී ලාංකික සංගීතයේ නොමැකෙන සලකුණක් සටහන් කරනු ඇත.

♦ නිසල්සේ
යාරූ I අන්තර්ජාලයෙන්