හෙළ සංගීත කලාවේ අසිරිමත් නිර්මාණවේදියෙකු වීම යනු අතිශයින් දුලබ සිදුවීමකි. එලෙසම එහි ඉතා උස් මුදුනටම ප්‍රවිෂ්ඨවීත් අනතිමානි ගුණයෙන්, කරුණාවෙන්, ආදරයෙන් තම පසු පරපුරට දිරි දීමම උතුම් මනු දහමෙහි ස්වභාවය නොවේද? වෘත්තීය සාර්ථකත්වය සේම එම අගනා වටිනා මනුදම් හමුවේ මේ මහා නිර්මාණවේදියා ජාතියේම ගරු බුහුමනට පාත්‍ර විය. දේශ දේශාන්තරයෙහි පවා තම කිතුගොසම පැතිර වූ එවන් අසිරිමත් මිනිසකු තම ආදරණීය පියාණන් වීම මහා භාග්‍යයක්ය. එවන් වාසනාවක් තම ජන්මයෙන්ම ලද දියණියක සමඟයි අද හදසර අපේ කතාබහ. වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා හෙවත් අප ආදරය කරන ගෞරව කරන ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ දෙවැනි දියණිය හින්දි භාෂා කථිකාචාර්ය, ගායන ශිල්පිනි විශාරද සුභානි අමරදේව හමුවන්නටයි අද අපේ මේ සූදානම.
''හෙළයේ මහා ගාන්ධර්වයා යනුවෙන් හඳුන්වන මුළු රටක්ම ආදරය කරන ආචාර්ය අමරදේවයන් මගේ ආදරණීය පියාණන් වීම ගැන මට වචනවලින් විග්‍රහ කරන්නට බැහැ. එය එතරම් සුවිශේෂී හැඟීමක්. අභිමානය, ආදරය, ගෞරවය මුසු භක්තියෙන් පිරීගිය හිතකින් මගේ තාත්තා ගැන මා හැමදාමත් සිහිකරන්නේ. අභියෝග, බාධක, කම්කටොළු, දුක් දෝමනස්සයන් මතින් තම සාර්ථකත්වය ලැබූ නිර්මාණවේදියෙකු ලෙස එතුමා තම රටට, කලාවට දැඩිව ආදරය කළා. කළ හැකි උපරිම මෙහෙවර කරන්නට මහන්සි වුණා. මුණිවරයෙකු වගෙයි මගේ තාත්තා. නමුත් තම ගිහිගෙයි සියල්ලන්ටම ආදරය කළා. ඒ වගේම යුතුකම් සියල්ල හොඳින් ඉටුකළා. අම්මා (විමලා අමරදේවයන්) අක්කා (ප්‍රියංවදා අමරදේව) සහ මල්ලී (රංජන අමරදේව) ඇතුළු අපේ මුළු පවුලෙහිම අනාගතය වඩාත් සුන්දර කරන්න එය හේතු වුණා. මාගේ ළදරු පාසල් අවදියේ පවා තාත්තා දැවැන්ත චරිතයක් කියන දේ මට දැනුණා. විශාල පිරිසක් පිළිගත්, රටක් අදහන චරිතයක් වුණත් තාත්තා කියන්නේ මහපොළොවේ ජීවත් වුණු චරිතයක්. ඔහු තමන් ජීවත්වන පරිසරය හෝ තමන්ට හිමි ජීවන තත්ත්වය හෝ සැමවිටම ආරෑඪ කරගෙන සිටියේ නැහැ. හමුවන පුද්ගලයින් හා ගැටෙන පරිසරය ආදිය සමඟ ඊට ගැලපෙන ලෙසයි හැසිරුණේ. තරුණ පිරිසක් සමඟ සිටින විට ඒ අයට ගැළපෙන ලෙසත්, වැඩිහිටියන් පිරිසක් සමඟ සිටින විට ඒ අයට ගැළපෙන ලෙසත් ජීවත් වෙන්න තාත්තට හොඳ හැකියාවක් තිබුණා. තමන්ගේ ගීත නව පරපුර ගයද්දී හෝ විශ්වවිද්‍යාල ප්‍රජාව කුරුටු ගී ලෙස ලියද්දී වඩාත් සතුටට පත් වුණේ තාත්තා. ප්‍රසංගවලදී තාත්තා තමන්ගේ තනුවලට ඒ වචන ආදරයෙන් ගායනා කළා.''
සුභානි අමරදේව තම පියාණන් පිළිබඳ ආදරයෙන් සිහිකළේ එලෙසය. සංගීතය තම ආත්මය කරගත් අමරදේවයන් කලාවට සැබවින්ම ආදරය කරන මිනිසුන්ට තම සුරත නොපැකිළිව ලබාදුන් අයෙකි. සිංහල සංගීතයේ කාන්තා සලකුණු බඳු වූ ආචාර්ය නන්දා මාලනිය වැනි චරිත නිර්මාණයට අමරදේවයන් දැක්වූ දායකත්වය ප්‍රශංසනීයය. එය මෙරට සංගීතයේ නොමැකෙන ලකුණකි.
''ගායනයට මගේ තිබුණ කැමැත්තට තාත්තා ඉතා කැමැත්තෙන් ආශීර්වාද කළා. ඒ ආශිර්වාදය සැමදා මට ශක්තියක්. තාත්තා අද අප සමඟ නැතත් ඔහු කියූ වචන මගේ දෙසවනේ දෝංකාර දෙනවා. මගේ නම ගෙනියන්න මට දක්ෂ දුවෙක් ඉන්නවා කියන විශ්වාසයෙන් තාත්තා කතා කළා. ඔහුයි මට විවරණ දුන්නේ. තාත්තාගේ උපදෙස් අනුව මා මහා භාරතයට ගිහින් සංගීතය හැදෑරුවා. තාත්තාගේ නාමය ඉදිරියට පවත්වාගෙන යන්නට හැකි සෑමදේම කිරීමයි මගේ බලාපොරොත්තුව. ඒ සියල්ලට මගේ සැමියා රංගන ශිල්පී අජිත් නානායක්කාර ලබාදෙන සහයෝගය ගැනත් සිහිකරන්නම ඕනේ. මහා ගංගාවක් බඳු තාත්තාගේ නිර්මාණ ගොන්නෙන් කැමතිම නිර්මාණය කියලා එකක් තෝරා ගැනීම ඉතා අසීරුයි. මොකද තමන්ගේ දරුවන් තුන්දෙනාට වගේ තාත්තා මේ නිර්මාණයන්ට ආදරය කළ බව මා දන්නවා. නමුත් මේ ලිපියට අදාළව එක් නිර්මාණයක් තෝරා ගත යුතුම නිසා ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන් තම සැබෑ අත්දැකීමක් පදනම් කරගෙන ලියූ ''සුදු නෙළුම කෝ සොරබොර වැවේ'' ගීතය මම නම් කරන්නම්. අපි නුගේගොඩ අනුලා විද්‍යාලය ආසන්නයේ පදිංචිව සිටි කාලයේදී තාත්තා මේ නිර්මාණය කළේ. මේ ඇත්ත කතාවක් කියන දේ අපිට ඔහු කිව්වා. ඉතා උනන්දුවෙන් කළ මේ නිර්මාණය පසුව ප්‍රසංගවල සජීවීව ගයද්දී තමන්ගේ රසිකයන්ට දුක්බර, ශෝකය පිරි නිර්මාණයකින් කරුණා රසය කුළු ගැන්වෙන්නේ කොහොමද කියලා තාත්තා පැහැදිලි කළා. ගුරුවරියක ලෙස මටත් මේ ගීතය වඩාත් තදින් දැනුණා.''
කථිකාචාර්ය සුභානි අමරදේව තම ආදරණීය පියාණන්ගේ නිර්මාණ අතර තමා කැමතිම නිර්මාණයක් හදසර වෙනුවෙන් නම් කළේ එලෙසය. මහා වෘක්ෂයක සෙවණේ ලද ආදරය රුකවරණය පිළිබඳ සිහිකළේ එලෙසය. දැන් එතුමන් අප හදවත්හි සුජීවත් වන්නේ ඒ මහා නිර්මාණ කන්ද තුළය.
I මොනිකා සේරසිංහ
සේයාරූ I අන්තර්ජාලයෙන්