Q ඉන්දියාවේ සරසවිය දක්වා සංගීතය කෙරෙහිම බැඳුණු ආත්මීය ආලයකින් ඔබ ආ ගමන් මඟ සිහිපත් කරමු?
ගාල්ල සවුත්ලන්ඩ් බාලිකාවෙන් සාමාන්‍ය පෙළ, උසස් පෙළ දක්වා සංගීතය හැදෑරූ මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරුණත් මගේ ආශාව, කැමැත්ත තිබුණේ සංගීතය තවදුරටත් හදාරන්න ඉන්දියානු විශ්වවිද්‍යාලයකට යන්න. සවුත්ලන්ඩ් බාලිකාවේදී හමුවුණු සීතා සෝමපාල ගුරුතුමිය සහ රංජනී මෛත්‍රීෙග් ගුරුතුමිය මම මේ මොහොතෙත් ආදරයෙන් මතක් කරනවා. සති අන්තයේ මම සංගීතය ඉගෙන ගන්න බී. වික්ටර් පෙරේරා සර්ගේ පන්තිවලට ආවා. වික්ටර් පෙරේරා සර්ගේ පන්ති එද්දි සංගීතය ඉගෙන ගන්න ඉන්දියාවට යන්න ඕනෙමයි කියන හිතුවිල්ල හුඟාක් තදින් මගේ හිතට වැදුණා. මමයි මගේ මල්ලියි විතරක් පවුලේ හිටපු නිසා පවුලේ හිටපු එකම දුව ඉගෙන ගන්න වුණත් වෙන රටකට යවන්න අම්මා තාත්තා කැමති වුණේ නෑ. මගේ අරමුණ වෙනුවෙන් ඇත්තටම මම ගෙදරත් එක්ක ලොකු අරගලයක් කළා.
Q ඉතින් ඊටපස්සේ?
මම ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ ඉන්දිරා කලා සංගීත් විශ්වවිද්‍යාලයට ගියේ ඒ අනුවයි. ඇත්තටම වික්ටර් පෙරේරා ගුරු පියාණන්ගේ මරණය සිද්ධ වුණේ අපි එතුමාගෙන් ඉගෙන ගන්න කාලෙදි. ඒ මරණය ලොකු වේදනාවක් වුණා අපිට. අනිල් මිහිරිපැන්න ගුරු පියාණන් තමයි ඇත්තටම ඉන්දියාවේ සරසවියකට ඉගෙන ගන්න යන මාර්ගය හදලා දුන්නෙ. ඒ 1998 දී.
Q සංගීතවේදී උපාධියෙන් පසු ඔබ සංගීතය තවදුරටත් හදාරන්න තවත් නවාතැනක් තෝරගන්නවා. එහෙම නේද කෞෂල්‍යා?
ඔව්. ඉන්දිරා කලා සංගීත් විශ්වවිද්‍යාලයේ ඉගෙනීම් හමාර කළාට පස්සේ මම වයලීන් විශාරද කරන්න භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යාලයට ගියා. ඇත්තටම සංගීතය කියන්නේ මහා සාගරයක්. අලහබාද්හී ප්‍රයාග් සංගීත් සමිතිහීදී මම සංගීත් ප්‍රභාකර් ඩිප්ලෝමාව කළා. එහිදි තබ්ලාව ප්‍රගුණ කළා. ලංකාවට ආවට පස්සේ මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ මම බාහිර කථිකාචාර්යවරියක් විදිහට මාස හයක පමණ කාලයක් සේවය කළා. ඊටත් පසු මම ඉන්දියාවේ බැංගලෝර්වල Green Wood High International Collage බාහිර කථිකාචාර්යවරියක් ලෙසත් එහි සංගීත අංශයේ අංශාධිපති ලෙසත් කටයුතු කළා. එහි රටවල් එකොළහක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉගෙන ගත්තා. ඒ විදිහට තමා සංගීතයත් එක්ක බැඳුණ ජීවිතය ගෙවුණේ. ඉදිරියේදී මම ආචාර්ය උපාධිය කරන්න හිතනවා.
Q ඉන්දියාවේ සංගීතයත් එක්ක ගෙවපු ඒ කාල පරිච්ඡේදය වෙනස් වෙන්නෙ කෞෂල්‍යා සිනමාවත් එක්ක ගමනක් පටන් ගත්තට පස්සේ. දැන් කතා කරමු ඒ ගමනේ සමාරම්භය ගැන?
මගේ ඥාති සහෝදරයෙක් වෙච්ච සමන් වීරමන් තමයි ඒ සමාරම්භයේ උදව්කාරයා. සමන් අයියා දවසක් කතා කරලා කිව්වා චිත්‍රපට සංස්ථාවෙ සාමාන්‍යාධිකාරී වෙලා ඉන්නෙ මම දැන්. අපි ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය කරන්න යනවා. එය ගෞතම බුද්ධ චරිතය ගැන කතා කරන උතුම් තේමාවක් ප්‍රස්තුත කර ගත්ත චිත්‍රපටයක්. නංගි අපිට සිද්ධාර්ථ කුමාරයව හොයාගන්න උදව් කරනවද? ඔයාට ඉන්දියාවත් එක්ක හුඟාක් සම්බන්ධතා තියෙන නිසා ඔයා භාෂා කිහිපයක් කතා කරන නිසා ඔයාට ඒක කරන්න පුළුවන් නිසා ඔයාට කිව්වෙ කියලා. අයියගේ උදව්වට මම ලංකාවට ඇවිල්ලා නවීන් ගුණරත්න සහ චන්ද්‍රන්රත්නම් එක්ක මම බොම්බායට ගිහිල්ලා සිද්ධාර්ථ කුමාරයාව හොයන්න ගත්ත ගමනෙ ඉඳන් තමයි මම චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. දිල්ලි, හයිද්‍රාබාද්, බොම්බෙ මේ වගේ හුඟාක් තැන්වල 'ඔඩිෂන්' කරලා 458ක ගෙන් තමයි ගගන් මලික්ව සිද්ධාර්ථ චරිතය වෙනුවෙන් තෝරගත්තෙ.
Q එහෙත් ඒ වෙනුවෙන් ඔබට හිමිවිය යුතු ප්‍රශංසාව සෑම තැනකදිම ලැබුණාද කියන එක ප්‍රශ්නයක්?
ඔව්. බොහොම කනාගාටුවෙන් මම ඒ මතකය මතක් කරන්නෙ. සරසවිය පුවත්පතට අරුණ ගුණරත්න පළමු වරට ඒක ලියනකම් කවුරුත් ඒ ගැන දැනන් හිටියෙ නෑ. ඒක හැංගිලා තිබුණු කාරණාවක්. හැමෝම හිතන් හිටියෙ මේක නවීන් ගුණරත්නලා, සමන් වීරමන්ලාගේ මහන්සියෙන් විතරක් කරපු වැඩක් කියලා. මට ඒ කාලෙ හුඟාක් අය කතා කරලා කිව්වා ගගන් ටීවී චැනල්වල ගිහිල්ලා කතා කරනකොට කෞෂි ගැන සඳහනක් නෑ කියලා. ගගන්ට දොස් කියන්න බෑ. මොකද එයා කිව්වෙ එයා මෙහෙයවන අය කියපු දේවල්. එහෙම පසුබිමකදි මම සරසවියේ අරුණ අයියට කතා කරලා කිව්වා. අරුණ අයියා තමයි හාරසිය පනස් අටකින් සිද්ධාර්ථ තෝරාගත් කෞෂල්‍යා කියලා සිරස්තලයෙන් මගේ ගැන ලිව්වෙ.
Q එහෙත් ඊටපසු ඒ චිත්‍රපටයට යශෝදරාව හෙව්වෙත් ඔබමයි?
මගේ හිත එහෙම කැඩිලා තියෙන වෙලාවක මහාචාර්ය සුනිල් ආරියරත්න සර් මට කතා කරලා කෞෂි මට යශෝදරාව හොයලා දෙන්න කිව්වා. මම ඒ වෙලාවෙ සුනිල් සර්ට කිව්වා සුනිල් සර් මට මෙහෙම හරිම දුක්ඛිත දෙයක් වුණා, මට හරි වේදනාත්මක දෙයක් විඳින්න සිද්ධ වුණා. ඒ නිසා මම ආයේ ලංකාවට කිසිම දෙයක් කරන්නෙ නෑ කියලා හිතාගෙන ඉන්නෙ කියලා. ඒත් මම පුංචි කාලේ ඉඳන්ම සර් ලියපු ඔබයි රම්‍ය සඳ කිරණ ගීතයට පුදුමාකාර විදිහට ආදරය කළා. මම හුඟාක් ආදරය කරපු ගීත රචකයෙක් සුනිල් ආරියරත්න. හිත රිදිලා තිබුණත් සුනිල් සර්ට තියෙන ගෞරවය නිසා මම යශෝදරාවත් හොයලා දුන්නා. ඒ තමයි පල්ලවී සුභාෂ්. සුනිල් සර් එයා කතා කරපු හැම මාධ්‍යයකටම කිව්වා මගේ මිතුරිය කෞෂි තමයි මට යශෝදරාව හොයලා දුන්නේ කියලා. අදටත් සුනිල් සර් මගේ හෙවණැල්ලක් වගේ මගේ හැම දෙයක්ම පිටිපස්සේ ඉන්නවා. මම කරපු වැඩක් ගැන ඉතා ඉහළින් නිර්ලෝභීව කෙනෙක් අගය කළා නම් ඒ මහාචාර්ය සුනිල් ආරියරත්න විතරමයි.
Q මහාචාර්ය පණ්ඩිත් Joydeep Ghosh සහභාගි වන දැවැන්ත ශාස්ත්‍රීය සංගීතමය ප්‍රසංගය අත්දැකීමත් ඔබ අපට නුදුරේම විඳින්න දෙනවා. ඒ ප්‍රසංගය ගැන අපි කතා කරමු?
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය මෙහිදී විශේෂයෙන් සිහිපත් කරන්නම ඕනෙ. ස්වාමි විවේකානන්ද මධ්‍යස්ථානයේ මහාචාර්ය අන්කූරත් දත්තා සර් එක්ක මම කතා කළේ ඉතාමත් ප්‍රශංසනීය සහ උද්‍යෝගිමත් හැඟීමකින්. මට අවශ්‍ය වුණා විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගේ රසඥතාව ඉහළ මට්ටමකට ගෙන එන්නට මහෝපකාරී වන මෙවැනි ප්‍රසංගයක් ඒ දරුවන්ට නොමිලේ විඳින්න දෙන්න. කන්න බොන්න ප්‍රශ්න තියෙන බහුතරයක් විශ්වවිද්‍යාල දරුවන්ට ටිකට් එකක් අරගෙන ප්‍රසංගයක් බලන්න කියන්න තරම් සංවේදීත්වයක් සහ හෘද සාක්ෂියක් නැති කෙනෙක් නෙවෙයි මම. මම විශාල පිරිවැයක් දරලා මෙම ප්‍රසංගය කරන්නෙ. මට අනුග්‍රාකයන් ඉන්නෙ සී.බී.එල්. ආයතනය සහ සහන්‍යා පදනම විතරයි. ඒත් මේ ප්‍රසංගය පැවැත්වීමෙන් මම ලබන සතුට මේ ලෝකේ කිසිම මුදල් ඒකකයකින් ගණන් හදන්න බෑ. කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ලසන්ති මනරංජනී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සුදේශ් මන්තිලක, ආචාර්ය මනෝජ් අලවතුකොටුව, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය සමන් පනාපිටිය, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගීත අංශයේ අංශාධිපති රුවින් ඩයස් මේ මොහොතේ සිහිපත් කළ යුතුමයි. ජාත්‍යන්තර සංගීතඥයෙකු වශයෙන් සම්භාවනාවට පත් ප්‍රවීණ සරෝද් වාදකයෙකු වන ඉන්දියාවේ ඉන්දිරා කලා සංගීත් විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය පණ්ඩිත් ජෝයීදීප් ගෝෂ් අගෝස්තු තුන්වැනිදා මෙරටට පැමිණෙනවා. මහාචාර්ය ජෝයීදීප්ගේ පළමු සංගීත ප්‍රසංගය අගෝස්තු හතර වැනිදා කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී සවස 6ට පැවැත්වෙනවා. අගෝස්තු හය වැනිදා කොළඹ රමාඩා හෝටලයේදී බොලිවුඩ් නයිට් නමින් රාත්‍රී 7ට ප්‍රසංගයක් පැවැත්වෙනවා. රබීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ 82 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් අගෝස්තු 7 මාතර රුහුණු විශ්වවිද්‍යාලයේ රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරයේදී තවත් ප්‍රසංගයකුත් 8 වැනිදා කැලණිය විශ්වවිද්‍යාලයේදීත් 9 වැනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදීත් 11 වැනිදා කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේදීත් ප්‍රසංග පැවැත්වෙනවා. මහාචාර්ය පණ්ඩිත් ජෝයිදීප් සමඟ මෙම ප්‍රසංගවලදී වාදනයෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චින්තක මැද්දගොඩ, වාද්‍ය නිපුන් පේෂල මනෝජ් හා සංගීත් නිපුන් පමල්ක කරුණාරත්න එක්වෙනවා. ඒ වගේම රාමඩා ෙහා්ටලයේ ප්‍රසංගයට සංගීත් නිපුන් චම්පා කල්හාරි, අනූ මධුභාෂිණී, රිද්මා වීරවර්ධන ගායනයෙන් එක්වෙනවා. සහන්‍යා පදනමේ අනුශාසක ආචාර්ය අග්‍රහාරේ කස්සප හිමි, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ මහාචාර්ය අන්කුරන් දත්තා, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ first sectary Mr. Eldos Mathew, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් Vikas Sood, රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ළමාවංශ, කැලණිය විශ්වවිද්‍යාලයේ සහ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරුන්, Siddhivinayak Cine arts පෞද්ගලික සමාගමේ CEO Ms. Vaibhav Koltharkar, මහාචාර්ය සුනිල් ආරියරත්න සහ මහාචාර්ය ප්‍රදීප් රත්නායක, India Sri Lanka society vice president Mr. Kishore Reddy, රාමඩා හෝටලයේ කළමනාකාර අධ්‍යක්ෂ Mr. Imitiaz Cader මැතිතුමාට සහ කාර්ය මණ්ඩලයට CBL සභාපති රම්‍ය වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් කොතැනකදි හරි මට නමක් කියන්න අමතක වුණා නම් ඒ හැම දෙනාටමත්, මට සහාය දුන් මගේ සියලු මාධ්‍ය හිතවතුන්ට මෙන්ම මගේ ජීවිතය තුළ සිටි හැම කෙනාමත් මේ මොහොතේ මම ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා.
Q කෞෂල්‍යා මට දැනෙන විදිහට සංගීතය, සිනමාව හා කලාව කියන්නෙ ඔබේ ළය ලෙයට දැනෙන ආදරණීය හුස්මක්. තව බලාපොරොත්තු හුඟාක් ඇති. කියන්න කැමතිද මාත් එක්ක අපේ ආදරණීය පාඨකයන්ට ඒ බලාපොරොත්තු ගැන?
පූර්ණකාලීනව චිත්‍රපට ආනයනය කිරීම සහ නිෂ්පාදනය මම කරන්නෙ. ඉන්දියානු චිත්‍රපට තමයි ඇත්තටම මම ගෙන්වන්නෙ. ඉන්දියාවයි ලංකාවයි යා කරන වැඩ කලාව ඔස්සේ කරන්න ආසයි. ඒ වගේම තමිල්නාඩුව මට හුඟාක් සමීපයි. මට මගේ සහෝදරයෝ ඉන්නවා වගේ. මේ දවස්වල අපි දුප්පත් පාසල්වලට තෑගි භාණ්ඩ, වියළි ආහාර වගේ දේවල් බෙදාගෙන යනවා. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක අංශයත් එක්ක එකතුවයි මම මේක කරන්නෙ. මම දේශපාලනයකින් තොරව පිරිසිදු කලාකාරයෙක් විදිහට වැඩ කරන නිසා තමයි ඒ අය මට උදව් කරන්නෙ.
I සංජීවිකා