2023 අගෝස්තු 19 වන සෙනසුරාදා

ඒක පුදුම පිස්සුවක් Barbie

 2023 අගෝස්තු 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 99

ලෝකේ එක එක විදිහේ Trend කාලෙන් කාලෙට හැදෙනවා මචෝ. ඒ අතරින් Movies නිසා නිර්මාණය වෙච්ච Y Trend හරිම සුවිශේෂී. ඔන්න මචෝ මේ දවස්වල බර්බී ෆිල්ම් එක නිසා ලෝකේ ගොඩක් දෙනෙක්ට බර්බී පිස්සුව හැදිලා. මේක ලොකු Trend එකක්. මේ හා සම්බන්ධ ලොකු කතාවකුත් තියෙනවා.

කොහොම හරි මේ වෙනකොට 2023 වසරේ රීලීස් වුණු නවතම Barbie Movie එක ලෝකෙ පුරා ආදායම් වාර්තා බිඳගෙන යනවා. ඇත්තටම මචෝ මේක පිස්සුවක්. මේ චිත්‍රපටය ආවේ ජූලි මාසේ. මේ වෙනකොට විලාසිතා ලෝකය බාර්බී නිසා නැවතත් උඩු යටිකුරු වෙලා.

මේ Movie එක බලන්න දැන් ලෝකෙ පුරා සිනමාහල්වලට මිනිස්සු යන්නේ රෝස පාට ඇඳුම් ඇඳගෙන. ගැහැනු ළමයි බාර්බී බෝනික්කන් වගේ සැරසිලා යනවා. ටික කාලෙකට හරියටම ලෝකයම රෝස පාටවෙලා වගේ. පහුගිය මාසයේ මුළු ඇමෙරිකාවම බාර්බී නිසා පිස්සු වැටිලා හිටියා කියලා කිව්වොත් හරි. බාර්බී සජීවීකරණය වෙලා සැබෑ ලෝකෙට ආපු එක තමා ඒකට හේතුව මචෝ.

TikTok වගේ Social Media Platforms වීඩියෝ දහස් ගාණක් Barbie සම්බන්ධව හැදිලා තියෙනවා. එක එක ඩාන්ස් එහෙත් Trend වෙලා. සමහරක් දේවල අපහාස උපහාස තියෙනවා. ඒ අස්සෙ සමහර පිරිමින් බාර්බී වගේ ඇඳගෙන එක එක විකාර කරනවා. සිරාවට මේක අමුතුම සීන් Trend එකක් මචෝ.

ඔන්න මේ පාර ලංකාවෙත් වෙනදා නැති උනන්දුවක් මේ Trend එක ගැන දකින්න ලැබෙනවා. ලංකාවේ බාර්බී පාටි එහෙමත් පහුගිය දවස්වල සංවිධානය වෙලා තිබුණා අපි දැක්කා මචෝ. රෝස පාට ඇඳගෙන මේ චිත්‍රපටිය බලන්න ගිය අයත් ලංකාවේ හිටියා. ලෝකය පුරා වගේම වෙන්නම Trends ගොඩක් බාර්බී මූවී එක නිසා ඒක නිර්මාණය වුණා.

ගොඩක් සිනමා විචාරකයෝ කියන විදියට ඇත්ත ලෝකෙට ආපු බාර්බී මුහුණ දෙන දේවල් ඇතුළේ, ස්ත්‍රීවාදය පිළිබඳ නිරූපණය වෙනවාලු. මේ ගැන ලංකාවේ අයත් එක එක විචාර ලියලා තිබුණා බුකියේ.

'චිත්‍රපටය මම කියවා ගත්ත විදියට නම් 'බාර්බි' නරඹලා ඉවර වෙලා මෙන්න මේ වගේ අදහසක් හිතට ආවා. වර්තමානයේ හොලිවුඩ් සිනමාව තුළ නිරූපණය වෙන්න ඕන ස්ත්‍රියගේ ආකර්ෂණය, සුන්දරත්වය හා බාහිර විලාසිතාවන්වලට වඩා ඇගේ බුද්ධිමත් බව, වැඩ කිරීමේ හැකියාව සහ තීරණ ගැනීමේ හැකියාව අතින් නොදෙවෙනි බව, පවුල් සංස්ථාව තුළ ඇගේ මෙහෙය සහ සහභාගීත්වය ගැන වගේ අදහසක්. 'බාර්බි' කියන්නේ පුරුෂාධිපත්‍යයට (patriarchy) එරෙහිව ගැසූ අතිශය ප්‍රබල ස්ත්‍රීවාදී (Feminist) කැරුල්ලක් විදියටයි මම දකින්නේ.' ඔහොම කියල තිබුණෙ ලංකාවෙ කෙනෙක්.

මචෝ බාර්බී කියන්නේ අදක ඊයක ලෝක පිස්සු වට්ටපු චරිතයක් නම් නෙවෙයි. බෝනික්කෙක් විදිහට බාර්බී මුලින්ම නිර්මාණය වෙන්නේ 1959 දී. මේ බෝනික්කාට 60 දශකයේ තරුණියෝ පිස්සු වැටෙනවා. ඇත්තටම මචෝ බාර්බී කියන්නේ ඇමෙරිකානු ෆැන්ටසියක්. ඒක ඇත්ත කතාවක් වගේ මුල් බැහැගෙන තියෙනවා. ලෝකය උමතු කරලා තියනවා.

සිහින් රතු තොල්, රත්තරන් පාට Blonde Hair එක, දිගු ඇඟිලි, හීනි ඇස්, එක මිටට ගන්න පුළුවන් සිහින් ඉඟ, පුළුල් උකුළ, කුඩා පියයුරු, ඇත්දළ පාට සම එක්ක රෝස පාට විලාසිතාවලින් හැඩවුණ බාර්බී බෝනික්කන් බිලියන ගානක් මේ වනවිටත් ලෝකෙ පුරා අලෙවි වෙලා තියෙනවා.

වාර්තා වෙන විදියට බාර්බි බෝනික්කා නිර්මාණය කරන්නේ ඇමරිකානු සුප්‍රකට සරාගී නිළි මැරිලින් මුන්රෝ සහ එලිසබෙත් ටේලර්, දෙදෙනා පාදක කරගෙන. නිර්මාණ ශිල්පිනිය තමයි රූත් හැන්ඩිලර්. කොහොම වුණත් බාර්බී තවදුරටත් නිර්මාණයක් නොවෙයි නොවී යථාර්ථයක් විදිහට බාරගන්න පිරිසකුත් ලෝකෙ ඉන්නවා මචෝ. පිස්සුවෙන් වගේ මේ බෝනික්කෝ එකතු කරන අයත් ඉන්නවා.

බාර්බී සම්බන්ධ මත ගැටුම් විවේචන තරග විචාර දහස් ගණනක් ලෝකය පුරා තියෙනවා. බර්බිගේ ශරීර ප්‍රමාණය පිළිබඳ සමහරු තර්ක කරනවා. ඒ වගේම එයාගේ පෞද්ගලික විස්තර එක එක තර්ක අදහස් තියෙනවා. හරියට මාර්ස් චරිතයක් නැත්නම් ෂර්ලොක් හෝම්ස් වගේ චරිතයක් තමා බාර්බී.

ඒ වගේම මේ චිත්‍රපටය සම්බන්ධවත් විචාර විවේචන තියෙනවා. මේ චිත්‍රපටයේ සමහර තැන්වල වැඩිහිටි විහිළු අන්තර්ගත වෙන නිසා රටවල් කිහිපයක් මේ සම්බන්ධව දැඩිව කටයුතු කළා. ඒ වුණත් මේ සම්බන්ධව ගැටලුවක් නැහැ කියලා දරුවන් එක්කම මේක නරඹන්න යන්න ඕන තරම් අය ලෝකය පුරා ඉන්නවා මචෝ.

මීට කාලෙකට කලින් බාර්බී හැබැයි ස්ත්‍රිය නියෝජනය කරන්නේ නැහැයි කියලා ලොකු චෝදනාවක් තිබුණා. ඒත් පස්සේ විවිධ ආබාධ සහිත බාර්බිලා නිර්මාණය කරන්න නිෂ්පාදන සමාගම පෙළඹුණා. පා නැති රෝද පුටුවල යන බාර්බිලා පවා ඔවුන් නිර්මාණය කළා.

බාර්බී ලිමිටඩ් එඩිෂන් සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා. ජනාධිපති බාර්බීගේ ඉඳන් විවිධ සංස්කෘතීන් වෘත්තියෙන් නියෝජනය කරන බර්බිලා සෑහෙන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒ අනුවත් එකසිය විසි පහකට අධික බාර්බිලා ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා කියලා තමා කියවෙන්නේ.

1959 ඉඳලා අද වෙනකම් බාර්බී ලෝකේ පුරා ඩොලර් බිලියන ගාණක ආදායමක් හොයාගෙන තියනවා. ඇත්තටම ජීවත්වුණා නම් ලෝකේ ධනවත්ම කාන්තාව බාර්බී. ඒ ගැනනම් තර්කයක් නෑ මචෝ.

I චමිඳු නිසල් ද සිල්වා
I ඡායාරූප - අන්තර්ජාලයෙනි