Qප්‍රියංගා බණ්ඩාරනායක ඔබ 'අහස' මාධ්‍ය කණ්ඩායම විසින් පවත්වන්නට තීරණය කර තියෙන සම්මාන උළෙල ගැන මුලින්ම සඳහන් කරමු?
අගෝස්තු මාසේ 26 වැනිදා සවස 3.00 ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී 'Sri Lankan top 100' නමින් සම්මාන උළෙලක් පවත්වන්නට තීරණය කරලා තියෙනවා. මෙය ලංකාවේ පවත්වන විශාලම සම්මාන උළෙල කිව්වොත් නිවැරදියි. ලංකාවේ කිසිම සම්මාන උළෙලක එකවර ක්ෂේත්‍ර දහයක් නියෝජනය කරමින් සම්මාන ප්‍රදානය කරලා නැහැ. ඒ අනුව එක් ක්ෂේත්‍රයකින් දහ දෙනකු බැගින් අපි සම්මාන සියයක් ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වෙනවා.
Qමේ කීවැනි වරට පවත්වනු ලබන සම්මාන උළෙලද?
'Sri Lankan top 100' සම්මාන උළෙල මේ පවත්වනු ලබන්නේ තුන්වැනි වතාවටයි. මුලින්ම අපි 2021 අවුරුද්දේ තමයි මේ සම්මාන උළෙල ආරම්භ කළේ. ඒ අනුව නොකඩවා වසර තුනක් මේ සම්මාන උළෙල පවත්වන්නට අපිට හැකියාව ලැබුණා.
Qමෙවැනි සම්මාන උළෙලක් පැවැත්වීමේ අරමුණු මොනවද?
මෙය 'අහස' මාධ්‍ය කණ්ඩායම පවත්වනු ලබන සම්මාන උළෙලක්. අපේ තේමාව වන්නේ නායකත්වයයි. ඒ අනුව සෑම ක්ෂේත්‍රයකම නායකයන්ව සම්මානයෙන් ඇගයීම් කිරීම මෙන්ම අනිත් පිරිස දිරිගැන්වීමත් අපේ අරමුණයි. ඒ අනුව හැම ක්ෂේත්‍රයකම යම් පිබිදීමක් ඇතිකිරීම අපේ අරමුණ වෙනවා.
Q'අහස' මාධ්‍ය කණ්ඩායම ගැන කතා කළොත්?
'අහස' මාධ්‍ය කණ්ඩායම කලාකරුවන් මෙන්ම මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් එක්ව ගොඩනැගුණු කණ්ඩායමක්. මේ කණ්ඩායම ආරම්භ කරලා මේ වනවිට වසර පහළොවක් පමණ වෙනවා. 'Ahasa media team' නමින් හඳුන්වන අප කණ්ඩායමේ නිර්මාතෘ ජනප්‍රිය ජයසිංහයි. ඔහු ප්‍රවීණ මාධ්‍යවේදියෙක්. 'Sri Lankan top 100' සම්මාන උළෙලේ නිර්මාතෘ වන්නේ ඔහුයි. මම ප්‍රියංගා බණ්ඩාරනායක 'අහස' මාධ්‍ය කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරිනියයි. ඒ වගේම මේ සියලු සම්මාන උළෙල සංවිධාන කටයුතු භාරව ඉන්නේ මමයි.
Qප්‍රියංගා... 'Sri Lankan top 100' සම්මාන උළෙලට අමතරව තවත් සම්මාන උළෙල කිහිපයක්ම 'අහස' මාධ්‍ය කණ්ඩායම විසින් සංවිධානය කරනවා නේද?
ඔව්.. 'අහස' මාධ්‍ය කණ්ඩායම වසරකට සම්මාන උළෙල හතරක් සංවිධානය කරනවා. ඔක්තෝබර් මාසයට යෙදිලා තියෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් Future leader (අනාගත නායකයා) නමින් දරුවන් වෙනුවෙන් සම්මාන උළෙලක් පවත්වනවා. ඒ වගේම ජනවාරි මාසයේදී 'විශ්ව කලා අභිමානී' නමින් අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ කලාකරුවන් වෙනුවෙන් උපහාර සම්මාන උළෙලකුත් මාර්තු අට වැනිදා 'ලංකා ලංකාර' නමින් විශේෂ සේවාවක් කරන කාන්තාවන් තිස් දෙනෙකු අගය කරමින් සම්මාන උළෙලකුත් පවත්වනවා.
Q'Sri Lankan top 100' සම්මාන උළෙලේදී සම්මාන ලබන්නන් තීරණය කරන්නේ කොහොමද?
'Sri Lankan top 100' සම්මාන උළෙල පමණක් නෙවෙයි, අපි විසින් පවත්වනු ලබන සියලු සම්මාන උළෙලවලදී සම්මානයට පාත්‍රවන්නන් අපි විසින් සොයාගනු ලබන සම්මානලාභීන්. ඒ කිසිම සම්මානයකට අපි මුදල් අරගෙනවත්, අයැදුම්පත් ගෙන්වා හෝ නෑ. ඒ වගේම SMS වලින් තෝරපු සම්මානලාභීන් නෙවෙයි. අපේ මාර්ගයෙන් තමයි සම්මානලාභීන්ව සොයා ගන්නේ. මේ සම්මාන උළෙල හතරම උපහාර සම්මාන උළෙල විදිහට හඳුන්වන්න පුළුවන්. 'Sri Lankan top 100' සම්මාන උළෙලේදී කලාව, වාණිජ හා ආර්ථික, මාධ්‍ය, ව්‍යවසාය, ක්‍රීඩා, නව නිපැයුම්, අත්කම් හා නිර්මාණ, වෛද්‍ය ආදී ක්ෂේත්‍ර දහයක් නියෝජනය කරන සම්මානලාභීන් සිය දෙනෙක් සම්මානයෙන් පිදුම් ලබනවා. මේ සියලු දෙනාව තෝරාගැනීමට 'අහස' මාධ්‍ය කණ්ඩායමේ විශේෂිත කමිටුවක් පත් කරලා තියෙනවා. ඔවුන් වසරක් පුරාම ඒ ඒ ක්ෂේත්‍රයන් පිළිබඳව අධ්‍යයනය කරනවා. ඒ අනුව තමයි ඔවුන් සම්මානලාභීන්ව අපිට තෝරලා දෙන්නේ. ඒ විද්වත් කමිටුවේ තීරණයට 'අහස' මාධ්‍ය කණ්ඩායම කිසිදු සම්බන්ධයක් හෝ කිසිදු බලපෑමක් කරන්නේ නැහැ. ඔවුන් ස්වාධීනව තෝරලා දෙනු ලබන සම්මානලාභීන්ට තමයි මේ සම්මාන පුද කරනු ලබන්නේ.
Qඉදිරි බලාපොරොත්තු මොනවද?
නොකඩවා පැවැත්වූ මෙම සම්මාන උළෙලවල් ඉදිරි වසරේදීත් පවත්වන්නට අපි තීරණය කරලා තියෙනවා. ' Sri Lankan top 100' සම්මාන උළෙල අපි 2021 වසරේදී තමයි ආරම්භ කළේ. ඒ කොවිඩ් වසංගතය සමයේදී. අලුත් වැඩක් තබා, පවත්වාගෙන යන වැඩ කටයුතු පවා නතර කරපු කාලයකදි තමයි අපි මේ සම්මාන උළෙල ආරම්භ කළේ. ඒක අපිට විශාල අභියෝගයක් වුණා. දුරස්ථභාවය හේතුවෙන් සීමිත පිරිසක් පමණක් සහභාගි කරවාගෙන කරපු ඒ සම්මාන උළෙල ඇත්තටම අපිට අභියෝගයක් වුණා. කිසිම අනුග්‍රාහකයෙකු සොයාගන්නට නොහැකි කාලයක 'අහස' මාධ්‍ය කණ්ඩායමේ පෞද්ගලික මුදල් වැය කරලා අපි පළමු සම්මාන උළෙල පැවැත්වුවා. ඒ පදනම් ආයතනයේදි. දෙවැනි සම්මාන උළෙල කාලය රටේ ආර්ථික ගැටලු ඇතිවුණු, අරගල පැවැත්වූ සමයයි. නමුත් ඒ සම්මාන උළෙලත් ඉතා සාර්ථක සම්මාන උළෙලක් වුණා. ඉතින් ඉදිරි වසරේදිත් මෙම සම්මාන උළෙලවල් පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා.
I දිශානි ජයමාලි