Q චාමර.... වේදිකා නාට්‍යවලට අවශ්‍ය වෙස්මූණු ඇතුළු අංශ රචනා ශිල්පියෙක් ලෙසින් කටයුතු කරනවා. ඔබ දායක වුණ වේදිකා නාට්‍ය මොනවාද?
මම ආචාර්ය සරච්චන්ද්‍ර මහතාගේ වේදිකා නාට්‍ය කණ්ඩායමේ වසර කිහිපයක් තිස්සේම අංග රචනා ශිල්පියෙක් විදිහට කටයුතු කරනවා. ඒ නාට්‍ය කණ්ඩායමට අදාළ ''රත්තරන්'' කියන නාට්‍යයේ ''මැල්ලාගේ'' වෙස්මුහුණ මම නිර්මාණය කළා. ඒ වගේම ජයන්ත ෆොන්සේකාගේ ''සිංහයා ඇවිත්'' වේදිකා නාට්‍යයේ යක් මුහුණ නිර්මාණය කළා. ඒ වගේම ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාගේ පරාස්ස නාට්‍යයේත්, අකිල සපුමල් මහතාගේ ''පුළුවන් නම් අල්ලගන්න'' වේදිකා නාට්‍යයේ සහ තවත් නාට්‍ය කිහිපයකත් ඒවාට අවශ්‍ය වෙස්මුහුණු නිර්මාණ කරලා තිබෙනවා.
Q වේදිකා නාට්‍ය වෙස්මුහුණු කලාවට චාමර යොමුවුණේ කොහොමද...?
මම ඉගෙන ගත්තේ වේයන්ගොඩ බණ්ඩාරනාක මධ්‍ය මහා විද්‍යාලයෙන්. මම උසස් පෙළට චිත්‍ර විෂය හැදෑරුවා. ඒ වකවානුවේ පියසේන හපුආරච්චි ගුරුතුමා සමඟ ප්‍රායෝගිකව අධ්‍යාපනයේ යෙදෙන්නට අපිට බොහෝ ඉඩකඩ ලැබුණා. කැටයම් කලාව, මූර්ති කලාව ආදී කලාවන් ප්‍රායෝගිකව අපි පාසැලෙත් කළා. එයින් ලැබුණ කැමැත්තත් එක්ක පසුකාලීනව ලයනල් රන්වල මහතා මට මුණගැසුණා. ඔහු හරහා මට නාට්‍ය කලාවට යොමුවෙන්න අවස්ථාව ලැබුණා. ජයලත් මනෝරත්න මහතා යටතේ ඔහුගේ නාට්‍ය කණ්ඩායමේ වැඩකරන්නට මට අවස්ථාව ලැබුණා. ඒ වගේම සරච්චන්ද්‍ර මහතාගේ කණ්ඩායම, කේ.බී. හේරත් මහතාගේ නාට්‍ය කණ්ඩායම ආදී කණ්ඩායම් එක්කත් මට වැඩකරන්න අවස්ථාව ලැබුණා. මුලින් අංග රචනා ශිල්පියෙක් ලෙස වැඩකරපු මට නාට්‍යයේ අවශ්‍යතාවයක් අනුව ආභරණ නිර්මාණය කිරීම, වෙස්මුහුණු නිර්මාණය ආදී නිර්මාණයන්වලට දායක වෙන්න අවස්ථාව ලැබුණා.
Q යම් වේදිකා නාට්‍යයකට අවශ්‍ය වෙස්මුහුණක් නිර්මාණය කරද්දී ඒ මුහුණේ පෙනුම ගොඩනැගෙන ආරම්භය කොහොමද?
ලංකාවේ සාම්ප්‍රදායිකව පාවිච්චි කරන වෙස්මුහුණු අංගයන් කිහිපයක් තිබෙනවා. කෝලම්, යක් ආදී මේ සම්ප්‍රදායන්වලට අයිති වෙස්මුහුණු ඒ විදිහටම හැම නාට්‍යයකටම යොදාගන්න බැහැ. වේදිකාවේදී වැදගත්ම වන්නේ හඬයි. වෙස්මුහුණ පැළඳුවාට පස්සේ නිර්මාණකරුවන්ගේ දෙබස් උච්චාරණය හරියටම උච්චාරණය වෙන්නේ නැහැ. ඒ නිසා වේදිකාවට එද්දී අධ්‍යක්ෂත් එක්ක කතාබහ කරලා වේදිකාවට ගැලපෙන විදිහට ඒ වෙස්මුහුණ අර්ධ වෙස්මුහුණක් විදිහට අපිට නිර්මාණය කරන්න සිදුවෙනවා. ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාගේ ''පරාස්ස'' වේදිකා නාට්‍යයේ වෙස්මුහුණ සැහැල්ලු එකක් වෙන්න ඕනේ. ඒ නිසා අපි එයට අර්ධ වෙස්මුහුණක් නිර්මාණය කළා. එවැනි වෙස්මුහුණුවලදී නිර්මාණකරුවන් කට විවෘත වෙන විදිහටත් ඒ අදාළ පෙනුම පෙනෙන විදිහටත් නිර්මාණය වෙලා තිබෙනවා.
Q වේදිකා නාට්‍යවලට අදාළ මෙවැනි වෙස්මුහුණු නිර්මාණය කරන්නේ මොනවායින්ද?
මේ සඳහා අපි මාධ්‍ය කිහිපයක් පාවිච්චි කරනවා. ඒ අනුව කඩදාසි පල්පය, ලී කුඩු පල්පය වගේම ශක්තිමත්භාවය වැඩිවෙන්නට අවශ්‍ය නම් ෆයිබර් පල්ප වශයෙන් කුඩා කොටසක් පාවිච්චි කරලත් වෙස්මුහුණු නිර්මාණය කරනවා. නිතර නිතර පාවිච්චි කරමින් කාලයක් තියාගන්නට හැකි නිසා ෆයිබර් මාධ්‍යයෙන් සැකසීම පසුකාලීනව ජනප්‍රිය වුණා. එයින් නළුවාට අපහසුතාවයක් නොවන පරිදි සකස් කරන්නට පුළුවන්.
Q වෙස්මුහුණක් සකසද්දී ඒ අදාළ නළුවාගේ හෝ නිළියට ගැලපෙන ලෙස මුහුණේ හැඩය, ප්‍රමාණය, තීරණය කරන්නේ කොහොමද?
ඒ සඳහා ක්‍රමවේදයක් දෙකක් තිබෙනවා. යම් නළුවෙක්ගේම මුහුණටම ගැලපෙන වෙස්මුහුණක් අවශ්‍ය නම් අපිට ඔහුගේ හෝ ඇයගේ මුහුණේ අච්චුවක් ගැනීමට පුළුවන්. ජනප්‍රිය වේදිකා නාට්‍ය නළු නිළියන්ගේ මුහුණේ මිමි එහෙම මම අරගෙනත් තිබෙනවා. ඊටපස්සේ ඒ මිමිවලට අනුවම මුහුණට ගැලපෙන විදිහට වෙස් මුහුණක් හදන්නට පුළුවන්. ඊට අමතරව දළ වශයෙන් අදාළ නළු නිළියන්ට ගැලපෙන විදිහට නිදහස් මිමිවලින් වෙස්මුහුණ හදන්නට පුළුවන්. බොහෝ වේදිකා නාට්‍යවලට නිර්මාණ වන්නේ එවැනි වෙස්මුහුණයි. එයින් වරින්වර සාමාන්‍යයෙන් නළු නිළියන් කිහිප දෙනෙකුට භාවිත කරන්නට පුළුවන්.
Q චාමර.... වෙස්මුහුණට ගල්වන වර්ණයක් තීරණය කරන ක්‍රමවේදයක් මොනවාද...?
මම වෙස්මුහුණකට අවශ්‍ය වර්ණයන් අන්තර්ජාලයේ තිබෙන වෙස්මුහුණ බලා තීරණය කරන්නේ නැහැ. නව නිර්මාණ ශිල්පියකුගේ නිර්මාණයක් මම අනුකරණය කරන්නේ නැහැ. මම වෙස්මුහුණු කලාව සම්බන්ධයෙන් හොඳට අධ්‍යයනය කරලා තියෙනවා. ලංකාවේ, වගේම ඉන්දුනීසියාව වැනි රටවල්වල වෙස්මුහුනු කලාව ගැන මම බොහෝ ඉගෙන ගත්තා. අතීතයේදී වෙස්මුහුණු සම්ප්‍රදායේ භාවිත කළ වර්ණයට අදාළව අර්ථයන් තිබුණා. කොළ වර්ණයෙන් ගුප්ත නාට්‍ය ප්‍රදර්ශනය වුණා. නමුත් නාට්‍ය පිටපතට අවශ්‍ය පසුබිමට අදාළව ඒ අධ්‍යක්ෂවරයා හා කතාබහ කරමින්, නළුවා හෝ නිළියගේ ඇඳුමේ වර්ණයට සහ ඒ නාට්‍ය අදාළ සම්ප්‍රදායන් රුකගෙන ඒ සියල්ලට ගැලපෙන ලෙස වෙස්මුහුණට අදාළව වර්ණ ගැන්වීම් සිදුවෙනවා.
Q මෙවැනි නාට්‍ය වෙස්මුහුණක් නිර්මාණය කිරීමට චාමරට කොයිතරම් කාලයක් ගත වෙනවාද?
ඒක වෙස්මුහුණෙන් වෙස් මුහුණට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් දින දෙකකින් නිර්මාණය කරන්න පුළුවන්. මම ළඟ මුලින් හදපු මිනිස් වෙස් අච්චුවක් තිබෙනවා. ඒ අච්චුවට අවශ්‍ය පල්පයන් භාවිත කරමින් ඒවා අලවා වේලා වෙස් මුහුණ සාදා වර්ණ ගල්වනවා. සාම්ප්‍රදායික වෙස් මුහුණෙන් සිදුවන්නේ මෙහෙමයි. ඉස්සර සාම්ප්‍රදායික වෙස් මුහුණු සැදුවේ ලීයෙන්. ඒ ලීය කපලා එය දුමේ දාලා වේලලා පුළුවන් තරම් බර අඩුකර ගන්නවා. එයට සුදුපාට මකුළු මැටි නමින් හඳුන්වන මැටි ගල්වනවා. ඊටපස්සේ එය දේශීය වර්ණක වලින් වර්ණ ගැල්වූවා. එය දිස්නය ගැන්වීමට දුම්මල, කුකුළු තෙල් වැනි දෑ මිශ්‍රකරමින් ඒවා උඩින් ආලේප කළා. ඒ ක්‍රමවේදයටම වර්තමානයේදී අපිට අවශ්‍ය වර්ණකයන් ආලේප කරමින් පාවිච්චි කරනවා. හිසකෙස්, සතුන්ගේ රෝමවලට හණ කෙඳි භාවිත කරනවා. ඒ හණ කෙඳි වර්ණ ගල්වා අවශ්‍ය විදිහට වෙස් මුහුණේ පාවිච්චි කරන්න පුළුවන්.
I දිශානි ජයමාලි