2023 අගෝස්තු 26 වන සෙනසුරාදා

වේදිකාව දිලිසෙන්නේ ඒ දාඩියෙන්...

 2023 අගෝස්තු 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 270

වේදිකා නාට්‍ය කලාවේ තිරය පිටුපස අතිශය වැදගත් චරිතයකට පණ පොවන බොහෝ පිරිසක් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් අත්පොළසන් දෙන්නට ප්‍රේක්ෂකාගාරයේ කිසිවෙක්ට වරම් නැහැ. ඒ නිසාම අද දේශය හදසර වේදිකා නාට්‍ය අතිරේකයෙන් එම පිරිස අතරින් විශේෂ චරිතයක් අප ඔබ හමුවට රැගෙන එනවා. කරළිය මත රංගන නිළි කැල හැඩ කරන්නේ ඔහු. මේ කතාව ඔහු පිළිබඳව.

අංග රචනා ශිල්පියා කියන්නේ නාට්‍ය කණ්ඩායමට සිටිය යුතු නිත්‍ය සාමාජිකයෙක්. නිෂ්පාදකයන් නළු නිළියන් ඇතුළු පිරිස හැරෙන්න බොහෝවිට නාට්‍යය රස විඳීම ප්‍රේක්ෂකයන් අංග රචනා ශිල්පයේ වටිනාකම හඳුනන්නේ නෑ. ඉතාමත් සරලවම කිව්වොත් මුහුණ මුල් කරගෙන, ශරීරයේ බාහිරට නිරාවරණය වන අංග, ශිල්පියා ඉදිරිපත් කරන අදාළ චරිතයට සුදුසු පරිදි අංග රචනා මෙවලම් යොදාගනිමින් හැඩගැන්වීම, අංග රචනා ශිල්පය කියලා කියන්න පුළුවන්. ඒත් ඇත්තටම ඒක සරල වැඩක් නෙමෙයි.

අංග රචනය වේදිකා නාට්‍ය තුළ අතිශයින්ම වැදගත් වනු ලබන ආනුෂාංගික කලාවක්. ඒ වගේම මේක විද්‍යාත්මක වැඩක්. එළිය අඳුර උපයෝගි කර ගනිමින් වර්ණ මගින් නළුවා ප්‍රකාශනය කරන හැඟීම් මනාව නිරූපණයට අංග රචනය විශාල දායකත්වයක් සපයනවා. මේක අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කියන විදිහට මේකප් එකක් දානවාට වඩා අතිශය සංකීර්ණ වැඩක්.

එක්තරා අවස්ථාවක දැනට ඉන්න ප්‍රවීණම අංග රචනා ශිල්පියෙකු වන වසන්ත විට්ටච්චි මහත්මයා මේ කලාව පිළිබඳ බොහෝම අපූරු පැහැදිලි කිරීමක් සිද්ධ කරලා තියෙනවා. ඔහු කියනවා මෙන්න මෙහෙම.

“අංග රචනය කියන මේ විෂයය අතීතයේදී වේෂ නිරූපණය යනුවෙන් හඳුන්වපු අවස්‌ථාත් තිබුණා. වේෂ නිරූපණයට හිසේ සිට දෙපතුල දක්‌වා කරන්නා වූ සියලු වෙනස්‌කම් ඇතුළත්. ඇඳුම් ආයිත්තම් - ආභරණ මේ සියලු දේ ඊට අයත්. අංග රචනය ඊට වඩා පුළුල් අර්ථයක්‌ දෙනවා. අපේ මුහුණෙහි ඇතිවන ඉරියව් සුවිශේෂී ලෙස මතුකොට දැක්‌වීම ඉන් හැඟවෙනවා. "ඉරියව්" තමයි අපි අංග හැටියට හඳුන්වන්නේ. එහෙම නම් මුහුණෙහි ඉරියව් ප්‍රේක්‍ෂකයාට ප්‍රක්‌ෂේපණය කිරීම සඳහා රචනා කිරීම අංග රචනය ලෙස හැඳින්වීමට හැකියි."

ඔහු කියන විදියට මේ දෙක බොහොම සමාන්තර අනුෂාංගික කලා මාධ්‍ය දෙකක්. ඒත් මේ ක්ෂේත්‍ර දෙකේ වෙනස්කම් රුසක් තියෙනවා. කොහොම වුණත් වේදිකා නාට්‍යයකට අංග රචනා ශිල්පය කොතරම් වැදගත්ද කියලා විට්ටච්චි මහත්මයා පැහැදිලි කරලා දීලා තිබුණා.

“මම හිතන්නේ වේදිකාවේදී තමයි මෙය වඩාත් හොඳින් කළ යුතු වන්නේ, මොකද සිනමාවේ හෝ රූප රාමුවේ දකින සමීප රූපයකට වඩා එය වඩාත් ආකර්ෂණය හා සෞන්දර්යාත්මක විය යුතුයි. ඈත වේදිකාවේ රංගනයේ යෙදෙන අයගේ සියලු ඉරියව් වේදිකාවේ කෙළවරට පෙනෙන්න නම් වේදිකාව තුළ අංග රචනය කොතරම් ප්‍රබල විය යුතුද කියන එක ගැන වෙනත් විග්‍රහයක්‌ අවශ්‍ය වන්නේ නැහැ."

සෑබෑවටම අංග රචනය එක්තරා භාෂාවක්. නළු නිළියන් හඳුනාගැනීම පහසු කිරීම සිදු කරනු ලබන්නේ අංග රචනයෙන්. චරිතයකට අනන්‍යතාවයක් දෙන්න, ඔවුන්ගේ මුහුණේ ඉරියව් තීව්‍ර කරන්න මේ ශිල්පය සතුව අරුම පුදුම හැකියාවක් තියෙනවා. මුල් කාලීනව හරිම ග්‍රාම්‍ය විදිහට විදිහට ආරම්භ වුණත් අද වෙනකොට මේ ශිල්පය වෙනුවෙන් විදෙස් උපාධි පවා තියෙනවා.

ශ්‍රී ලාංකික වේදිකාව හැඩ කරන අංග රචනා ශිල්පීන් පිළිබඳ අංශුමාත්‍රික හෝ  අවබෝධයක් සහෘද ඔබ සැම වෙත ලබාදීම අප අරමුණයි. සැබෑවටම ඔවුන් පිළිබඳ අප කතා කරන පරිමාව ඉතාම අල්පයි. එහෙත් නාට්‍ය කතා කරන අතරේ ඔවුන්ව මගහැර යන්න අපිට යුතුකමක් නෑ.

මෙය පිළිබඳ තවදුරටත් කතා කරද්දී නාට්‍ය සම්ප්‍රදාය සහ නාට්‍ය තේමාවන් අනුව අංග රචනා ශිල්පීන්ගේ රාජකාරිය වෙනස් වෙනවා. ඇත්තටම ඔහුට චරිත විනිවිද දැකීමේ හැකියාවක් තිබිය යුතුයි. විශේෂයෙන්ම ශෛලීගත නාට්‍යවලදී මේ අයට විශාල රාජකාරියක් තියෙනවා. ඇතැම් තැනක නාට්‍යයෙන් අර්ධයක් මෙය දරාගෙන ඉන්නවා කියලා කිව්වොත් ඒක වැරදි නෑ. "මනමේ" "සිංහබාහු" වැනි අතිශය ජනාදරයට පත්වුණු ශෛලීගත නාට්‍යවල චරිත අපේ මනසේ මැවෙන්නේ ඔවුන්ගේ මුහුණේ හැඩතලත් එක්ක. ඒක මේ ශිල්පයේ වටිනාකම සරලව තේරුම් ගන්න කෙනෙක්ට උපකාරී වෙනවා. ඇත්තටම මේ කටයුත්ත ආලෝකය සහ වර්ණය අතර කරන හරඹයක්.

කොහොම වුණත් මේ කලාකරුවන්ට නියම වෘත්තීයමය වටිනාකමක් ලැබෙනවද කියන එක ප්‍රශ්නයක්. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ ගෙදරින් එළියට බහිනකොට තමන් රැගෙන යන මේකප් එකක්, සාදයකට සිද්ධ කරන රූපලාවණ්‍ය කටයුත්තක් තරම් මේක සරලයි කියලා. මේ ගැන බොහොම අපූරු පැහැදිලි කිරීමක් වසන්ත විට්ටච්චි මහත්මයා සිදු කරලා තිබුණා.

“ඇත්තටම එතැනදී මේ වචන භාවිතයේ වරදක්‌ තියෙනවා. අපි කතාවට කියන්නේ 'මේක්‌අප්' කියලනේ. මනාලියන්ට ඇන්ඳවීම, මෝස්‌තර නිරූපණය සහ සාමාන්‍ය ජන ජීවිතයේ සමහරු එළියට බහිනකොට වුණත් පොඩි මේක්‌අප් එකක්‌ දාගන්නවා. දැන් ඒවාත් අංග රචනය හැටියටයි අර්ථ ගන්වන්න යන්නේ. අපි ඒක වේදිකාවේ අංග රචනය හැටියට ගත්තොත් සරල අංග රචනය, චරිතාංග අංග රචනය, මායාකාරී අංග රචනය ආදී විවිධ කොටස්‌වලින් කතා කරනවා."

සිනමාව, රූපවාහිනිය සේම වේදිකාව මත සිදු කරන ඕනෑම මාසයක ඉදිරිපත් කිරීමක් අරභයා මෙම ශිල්පය බලපැවැත්වෙනවා. කෙසේවෙතත් වේදිකාව මෙහි උත්කෘෂ්ඨ අවස්ථාවයි.

“සරල අංග රචනය හා චරිතාංග අංග රචනය කියන එක ඒ වචනවලින්ම අර්ථ ගැන්වෙනවා. මායාකාරී අංග රචනය, විශේෂ අංග රචනා ගණයට අයත් වෙනවා. ඒ කියන්නේ මනඃකල්පිත හෝ මේ භූමිය මත නොහිටපු චරිතයක්‌ වෙන්න පුළුවන්. ඒ වගේ සංකීර්ණ ක්‍රියාදාමයක්‌ ඇත්තටම "සායම් ආලේප කිරීම" හැටියට පමණක්‌ අර්ථ දැක්‌වීම වැරදියි. මේ සියල්ලටම ඇඳුම් නිර්මාණය - ආලෝකකරණය ආදී විෂයය පථයනුත් එකට බද්ධ වෙනවා."

සැබැවින්ම මෙය මවිත කරවන සුළු විශ්මකර්ම කලාවකි. ශ්‍රී ලාංකීය වේදිකාවේ මෙවන් විශ්මයන් හිමි බොහෝ ශිල්පියෝ සිටිති. සැබැවින්ම ඔවුන් ලැබිය යුතු ගරුසරු උපහාර නොලද්දෝය.

♦ චමිඳු නිසල්
♦ සේයාරූ I අන්තර්ජාලයෙන්