මන නන්දනීය දසුන් ඉම නොවේ. නොකියා කියන අනන්ත සල්ලාප ඉම සලකුණු කරන සෙයකි. දකින දේ විනිවිද, පෙනෙන දේ විනිවිද ගැඹුරට ගිලී කියවමි. වේදිකාවේ වින්දනය යනු එයමයැයි මට හැඟේ. සිකුරාදා හැන්දෑව සමාරම්භය සලකුණු වන වග කීවෙන් බදාදාවේ ලියැවෙන මේ අකුරු ඉරිදාට කියවද්දී ඒ සිකුරාදා 'අන්ටච්ඩ්' අප විඳ හමාරය. Colombo International Theatre Festival ඇරඹුණේ 25 සිකුරාදා සවස 6.30ට අන්ටච්ඩ් වේදිකාව මත දිගහරිමිනි. තරගකාරී නොවන ඉසව්වක හිඳ අන්ටච්ඩ් සමාරම්භය සනිටුහන් කළේ ෂාම් එල් ෂේක් 2022 ඊජිප්තු ජාත්‍යන්තර නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය ලෙස ලද විවරණය වෙනුවෙන් පුද ලබන ස්නේහයේත් ආශිර්වාදයෙත් මල් දෝතක් ලෙසිනි. සුජීව පතිනිසේකර එහි අධ්යක්ෂය. මේ අහන්න.. අගෝස්තුවේ 25 වැනිදා ඇරුඹී 30 වැනිදා සම්මාන ප්‍රදානෝත්සවයෙන් නිමාව දකින Colombo International Theatre Festival සිංහල භාෂාවෙන් කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල වේදිකාව මත වේදිකා නාට්‍ය දහතුනක් දිගහැරේ.
Untouched - අධ්යක්ෂ - ශ්‍රී ලංකාව
Two Dying Scenes - අධ්යක්ෂ - Saranjith NK - ඉන්දියාව
Storyless…Blead - අධ්යක්ෂ - Abderamen Cherif, Sadok Aidani - ටියුනීසියාව
Lyric Dragon Fly - අධ්යක්ෂ - Amparo Nogues - ස්පාඤ්ඤ
Eka Ek Nani (A Woman Alone) - අධ්යක්ෂ - Debaprosad Debnath - බංග්ලාදේශය
Erendira’s Metamorphosis - අධ්යක්ෂ - Dr. Mrinal Jyoti Goswami - ඉන්දියාව
The Tyre - අධ්යක්ෂ - Asith Muthukumara - ශ්‍රී ලංකාව
Equal Feeling - අධ්යක්ෂ - Nirmani Fernando, Vidura Abeydeera – ශ්‍රී ලංකාව
Inviction - අධ්යක්ෂ - Samitha Sudeeshwara – ශ්‍රී ලංකාව
Asadakta Vedi Thiyanu - අධ්යක්ෂ - Nirosha Godamulla – ශ්‍රී ලංකාව
Tik Tik - අධ්යක්ෂ - Dilshan Thilanka – ශ්‍රී ලංකාව
Don’t revenge us - අධ්යක්ෂ - Ella Nistor and Silvia Raileanu - රුමේනියාව
PARADOX - අධ්යක්ෂ - Krzysztof Pulkowski - පෝලන්තය
ශ්‍රී ලාංකික වේදිකාව මත දේශීය විදේශීය නාට්‍ය රසසාර වපුරවන්නට දරන මේ මහන්සිය පිටුපස දැවැන්තම හස්තය ලෙස මා හඳුනාගනු ලබන්නේ එම්. සෆීර්ය. ජාත්‍යන්තර නාට්‍ය උළෙල සෆීර් ආරම්භ කළේ 2012 වසරේදීය. එතැන් සිට මේ දක්වා දශකයක ගමන් මඟ නැවත පිරික්සද්දී 2023 වර්ෂය දැනෙන්නේ පහසු කලාපයක් ලෙසදැයි මම සෆීර්ගෙන් අසමි.
කියවන්න...
මේ සෆීර්ගේ උත්තරයයි.
''මේ අවුරුද්දේ මේ නාට්‍ය උළෙල කරන්න තුන් පාරක් සැලසුම් කරලා අවසානයේ කල් දැම්මා. එක දවසක් මම හිතුවා 2023 අවුරුද්දේ ජාත්‍යන්තර නාට්‍ය උළෙල මට කරන්න බැරි වුණොත් ආයේ කවදාවත් මම මේ නාට්‍ය උළෙල කරන එකක් නැතිවෙයි කියලා. ඔබ විශ්වාස කරන්න මෙම නාට්‍ය උළෙලට අනුග්රාහකයන් හොයාගන්න මම ඊමේල් දෙසිය පනහකට වැඩිය විවිධ සමාගම් වෙත යැව්වා මේ නාට්‍ය උළෙලට අනුග්‍රාහකත්වය ලබා දෙන්න කියලා. ඒත් ඒ ලැබුණු ප්‍රතිචාර බහුතරය ගැන කතා කරනවට වඩා කතා නොකර ඉන්න එක හොඳයි. මගේ දෙපැත්තෙන් මට ඉන්න එක හයියක් තමයි මගේ සොල්දාදුවො ටික. ඒ කියන්නෙ මගේ නාට්‍ය ජීවිතයේදී මා අත් නොහල මගේ සහායකයන්. අනෙක් පිරිස තමා මාධ්‍ය. මේ රටට ජාත්‍යන්තර නාට්‍ය උළෙලක වැදගත්කම කොච්චරක්ද කියන එක මේ රටේ පුරවැසියන්ට තේරිච්ච දවසක වේදිකාවේ අනාගතය හුඟාක් සුබවාදී වෙයි. ඒත් එහෙම දවසක් එන්නෙ කවද්ද කියලා අපි කවුරුත් දන්නෙ නෑ. මට අනුග්‍රහය දැක්වූ සමාගම් ගැන මට කියන්න ඕනෙ එකම දේ ඔවුන්ට අවශ්‍ය නැහැ මේ නාට්‍ය උළෙල හරහා ඔවුන්ගේ ආයතනවලට ප්‍රචාරණයක් ලබාගන්න. ඔවුන් ඒ දායකත්වය ලබා දුන්නේ හදවතින්මයි. නාට්‍ය වෙනුවෙන් ඇති ආදරය හින්දා. අපි කරපු සමීක්ෂණයකින් පැහැදිලි වෙච්ච දෙයක් තමයි කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල ගැන මෙරටේ මිනිසුන්ගෙන් 80' ක් දෙනා අහලා තියෙනවා. ඒත් පැමිණි සංඛ්‍යාව හරිම අඩුයි. හුඟාක් අයට එන්න උවමනාව තියෙනවා. ඒත් එන්න විදිහක් නෑ. ගොඩක් අයට බයක් තියෙනවා මේ නාට්‍ය උළෙලට ආවම මේ තියෙන නාට්‍ය බලද්දි තේරෙන එකක් නෑ කියලා. මේ නාට්‍ය උළෙල බලන්න එන්න හුඟාක් කැමති ඈත ගම් දනව්වල මිනිස්සු. ලංකාවේ නාට්‍යකරුවන් දාහක් ඉන්නවා කියලා උපකල්පනය කළොත් මේ දශකය පුරාවටම එකම දවසක්වත් මේ නාට්‍ය උළෙල බලන්න ආවේ නැති නාට්‍යකරුවන් ඉන්නවා 40' ක්. පහුගිය දශකය පුරාවට විශ්වවිද්‍යාලවල නාට්‍ය හා රංග කලාව හදාරන ශිෂ්‍යයෝ 7' යි මේ නාට්‍ය උළෙල බලන්න සහභාගිවෙලා තියෙන්නෙ. ඒ වගේම නාට්‍ය පාසල් හා ඒ ආශ්රිත පද්ධතියක් ලංකාවේ තියෙනවා. ඒ වගේම ශිෂ්‍යයන් පිරිසක් ඉන්නවා. ඔවුන් දශකය පුරාවටම මේ නාට්‍ය උළෙල බලන්න ඇවිල්ලා තියෙන්නෙ 1' යි. ලංකා ඉතිහාසය පටන්ගත් දවසේ ඉඳන් 2012 වෙනකම් ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් මේ රටේ තිබුණෙ නෑ. පහුගිය දශකයක් පුරාවට ලෝක නාට්‍ය සිතියම ඇතුළේ ලංකාව ඉන්නවා. ඒ සඳහා සාක්ෂි දරාවි ලූෂන් බුලත්සිංහල. පළවෙනි අවුරුද්ද අපි නාට්‍ය දොළහයි ගත්තේ. දෙවැනි අවුරුද්දේ අයැදුම්පත් තිස් අටක් ආවා. නාට්‍ය දොළහක් ගත්තා. අටවැනි අවුරුද්ද වෙද්දි අයැදුම්පත් තුන්සිය ගණනක් ආවා. අටයි අපිට තෝරගන්න පුළුවන්කම තිබුණෙ.'' ඒ සෆීර්ය.
ප්‍රවීණ නාට්‍යවේදී, ගීත රචක ලූෂන් බුලත්සිංහල මෙම නාට්‍ය උළෙල ගැන කියන්නේ මෙහෙම කතාවකි.
''ජාත්‍යන්තර කියන වචනයම මෙරටට අකැපයි. ජාත්‍යන්තර කියපු ගමන් හුඟාක් බලධාරින් හිතන්නේ එන්ජී.ඕ. වැඩ කියලා. නැත්නම් අපේ රටට කවුරු හරි කුමන්ත්‍රණකාරයෝ ටිකක් එන වැඩක් කියලා. කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල ගැනත් එහෙම වැරදි මතයක ඉන්න අය ඉන්නවා නම් පුදුම වෙන්න දෙයක් නැහැ. රාජ්‍ය ආයතන, බැංකු සහ වෙනත් ආයතන බොහොමයක් මෙවැනි වැදගත් සමාජීය වටිනාකම් ඇති කර්තව්‍යයන්ට අනුග්‍රාහකත්වය නොදෙන්නෙ ඇයි කියලා මම දන්නෙ නැහැ. ඒත් ලෝකයේ දියුණු රටවල්වල නාට්‍ය කලාව පවත්වාගෙන යන්නෙ බැංකු වලින්, කර්මාන්ත ශාලාවලින් ඒ රටවල්වල ධනය උපද්දවන මිනිස්සුන්ගේ සල්ලිවලින්. ඒ අය දන්නවා රටේ ශීලාචාර සමාජයක් හැදුනොත් හොඳ බැංකුවක්, හොඳ කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන්න පුළුවන් කියලා. වියපත් මනුස්සයෙක් සහ මේ කලාවන්ගෙන් බොහෝ දුරට ඈත්වෙලා ඉන්න කෙනෙක් විදිහට. අපේ රට මම දකින්නෙ මගේ අත්දැකීමෙන් අපි දිනෙන් දින අශීලාචාරකම වර්ධනය කර ගත්ත ජාතියක්. පාරට බැස්සම ඒක පේනවා. පුංචි කාලේ අපි හිටියේ රේල් පාර අයිනේ පුංචි ගෙදරක. ඒ රේල් පාර කොයි තරම් පිරිසිදුද කියලා මම දැකලා තියෙනවා. මිනිස්සු හිටියේ රේල් පාරට කොළ කෑල්ලක් වැටුණොත් ඒක අහුලලා දාන මට්ටමේ. අද කොහොමද රේල් පාර දෙපැත්ත. පැල්පත්, මුඩුක්කු. ඇත්තටම කිව්වොත් කෝච්චිය යන්නෙ හරි අමාරුවෙන්. සුද්දට බැණ බැණ අපි වර්ධනය කරගෙන තියෙන්නෙ අශීලාචාරකම සහ දුප්පත්කම. අපි අලුතෙන් හිතන ජාතියක් බවට පත්වෙන්න ඕනෙ. ඒත් මට තේරෙන්නෙ නෑ කොහෙන්ද අපි ඒක පටන් ගන්නෙ කියලා. ඒක හරි අමාරුයි. මුළු රටේම මේ වගකිවයුතු පැලැන්ති ගත්තොත් අපිට ගුණධර්ම උගන්වන ඇතැම් බෞද්ධ චීවරධාරීන් මේ රට නගා සිටුවන්න කියලා බලය වෙනුවෙන් ඡන්ද ගන්න පිරිස්. අනෙක් පැත්තෙන් රාජ්‍ය සේවයේ ඉන්න පොලිසිය, හමුදාව, අධිකරණය, මේ හැම ආයතනයක්ම මම දකින්නෙ දවසින් දවස කඩා වැටෙනවා. ආධ්‍යාත්මය වගේම කාර්යශීලීභාවය බිඳ වැටිලා තියෙනවා. මේ වගේ සමාජයකට අපි නිර්මාණය කරලා දාන්න ඕනෙ නාට්‍ය මොනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ සමාජයේ මිනිසුන්ගේ රසඥතාවය කොහොමද අපි තේරුම් ගන්නෙ. ඒක තමයි අද නාට්‍යවේදීන් තියෙන අභියෝගය. සෆීර් මේ වාතාවරණය උඩ වේදිකා නාට්‍ය තවදුරටත් රැකගන්න සහ කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල පවත්වන්න දුෂ්කරතා බොහොමයක් මැද්දේ පුදුමාකාර මහන්සියක් දරන්නෙ. මම වගේ දුප්පත් මනුස්සයෙකුට සෆීර්ට උදව් කරන්න පුළුවන් මේ වගේ ඔහු වෙනුවෙන් කතා කරන වචනයකින් විතරයි. කිසි කෙනෙකුගේ උදව්වක් නැතුව ජාත්‍යන්තර රංග කලා උළෙලක් පැවැත්වීමම සෆීර් විශිෂ්ටයෙක් බවට පත්කර හමාරයි. වෙන රටක නම් මෙවැනි නාට්‍ය උළෙලක් පවත්වන්නෙ ආණ්ඩුවෙන්. ජාත්‍යන්තරය අවශ්‍ය වෙන්නේ ආණ්ඩුවට. ඒත් අපේ රටේ කොහෙද එහෙම ආණ්ඩු. අපි කාටවත් කියන්න බෑ මේ වටිනාකම් තව කොයි තරම් කාලයක් අපිට පවත්වාගෙන යන්න පුළුවන්ද කියලා. ඒත් පුළුවන් තාක් කල් අපි ඒක කරමු. රට ගැන තක්සේරුවක් දෙන්න බැරි එකේ කොහොමද නාට්‍ය ගැන තක්සේරුවක් දෙන්නෙ.'' සත්‍ය විනිවිද දැක විනිශ්චයෙහි අයිතිය අපි ඔබට බාරකරමු.
වසර තුනක නිහැඬියාවකින් පසු කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල පැවැත්වෙන්නේ බොහෝ දුෂ්කරතාවයන් මධ්‍යයේ බව නැවත නැවතත්, ඔව්.. නැවත නැවතත් සිහිපත් කරන්නේ සැබැවින්ම කටු අත්තක මල් පුබුදන්නට දරන මහන්සිය හදවතට ඒත්තු යන පසුබිමකය. එහෙත් සාරෙට අස්වැද්දුණු පොළොවක නෙලන මලකට වඩා අස්වද්දා ගස් පැළ කර මල් නෙලද්දී දැනෙන සතුටෙහි ඉමක් සහ නිමක් නැති වග පමණක් දනිමි. ඒ පොළොව දස වසරක් පුරා අස්වද්දන්නට ඔබ හෙළූ දහඩිය කැට කොපමණදැයි ගණනින් නොඅසන්නේ ඒ මහන්සියේ තරම හොඳ හැටියටම දන්නා හෙයින්මය. සෆීර් වෙනුවෙන් නොව, ශ්‍රී ලංකාවේ වේදිකා නාට්‍ය වෙනුවෙන් එන්න යැයි ඔබට අඬගසන්නේ එතැනට හෝ ඔබ ඔබේ ආදරය අංශ්රමාත්රයක් හෝ දිය යුතුම නිසාය.
සෆීර්.. සුබ පැතුමක දවටා අපි ඔබ වෙත තෑගි කරන්නේ ළෙන්ගතුකම, සහෝදරත්වය, සහෘදත්වය සහ ශක්තියයි.
I සංජීවිකා