2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

දවස් තුනක් අහසේ හිටිය සරුංගලයක්!

 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 118

ඔන්න පහුගිය සතියේ තමයි අගෝස්තු මාසය ඉවර වුණේ. අගෝස්තු මාසේ ලංකාවේ ලොකුම Trend එක මොකක්ද කියලා සුදාලා දන්නවා. සරුංගල් තමයි අගෝස්තු අපේ පිස්සුව. පහුගිය අවුරුදුවල එක එක ප්‍රශ්න නිසා හරියට සරුංගලයක් හදන්න වගේම, යවන්නත් කාටවත් වෙලාවක් තිබුණෙ නෑ. ඒත් මෙදා සරුංගල් වාරේ ටිකක් සරුංගල් අහස පුරා පියෑඹුවා. හරි සතුටුයි.

පුංචි කාලේ මතක එක්ක මෙදා සැරේ සරුංගල් සිරි අසිරිය බලන්න ඔන්න අපිටත් අවස්ථාවක් ලැබුණා. ඒ නිසා සරුංගල් ගැන මේ Story එක සුදාලා වෙනුවෙන් ගලපන්න අපි කල්පනා කළා. ඕනෑම Trend එකකට ඉතිහාස කතාවක් තියෙනවා. Y Trend එකේදී ලාවට හරි අපේ කතාව කියන්නේ ඔයාලා වෙනුවෙන්.

වස්තුලා දැනගෙන හිටියද සරුංගලේ ඉතිහාස කතාව. මේක සිරාවට දැනගන්න ඕනෑ කතාවක්. ඔය විච්චූරණ ලස්සන item ගොඩේ මුල් අයිතිකාරයෝ චීන්නු. ඉතින් සුදෝ සරුංගල් මුලින්ම හදලා තියෙන්නෙත් චීනෙ තමයි. හැබැයි ඒක වෙන විදිහක සීන් කෝන් එකක්. 

ඔය චීන පතපොතවල තියෙන විදිහට මුලින්ම සරුංගලයක් නිර්මාණය වෙලා තියෙන්නෙ ක්‍රිස්තුන් වහන්සේගේ කාලයටත් අවුරුදු පන්සියයකට විතර ඉස්සර. ඒ කියන්නේ මචෝ සෑහෙන්න කාලෙකට කලින්. වැඩේ කියන්නේ මුල්ම සරුංගලය හදන්න මුල්වෙලා තියෙන්නේ චීන ජාතික දාර්ශනිකයන් දෙන්නෙක්. එයාගේ නම මෝසි. මෝ ඩී සහ ලූ බෑන්ය කියලත් එයාට කියනවා. ඇත්තටම මේක ටිකක් විතර වෙනස් කතාවක්.

මෝසි කුරුල්ලෙක්ගේ හැඩේ සරුංගලයක් හදලා දින තුනක් අහසේ පියාසර කෙරෙව්වා කියලා තමා චීන ඉතිහාස පුරාණ කතාවල සඳහන් වෙන්නේ. ඇත්තටම ඒ කාලේ මේ සීන් එක ලොකු මැජික් එකක් වගේ එකක් වෙන්න ඇති. ඒ නිසාම තමා මේ කතාව අදටත් අපිට දැනගන්න පුළුවන් විදිහට ඉතුරුවෙලා තියෙන්නේ.

කොහොම හරි මචෝ... චීන්නු මුල්  කාලෙ සරුංගලය ආගමික වශයෙන් භාවිත කරලා තියෙනවා. ඒ කියන්නේ සරුංගල් යැවීම භාවනාවක් විදිහට මෙයාලා භාවිත කරලා. අඩේ කොහොමද ඒක... සරුංගල් යැවීම කියලා කියන්නෙත් භාවනාවක්. ඔන්න අද තමා වස්තුලා ඒක දැනගත්තේ. ඒ විතරක් නෙවෙයි මුල් කාලේ තවත් අමුතු අමුතු දේවල්වලට සරුංගල් භාවිත කරලා තියෙනවා.

ධීවර ආම්පන්නයක් විදිහටත් සරුංගල් භාවිත කරලා. තවත් චීන පුරාණ  කතාවකට අනුව සරුංගලය කියලා කියන්නේ යුද උපකරණයක්. කොහොමද ඒක. සරුංගල්වල නැගලා සමහරක් නගර ආක්‍රමණය කරන්න ගියපු සොල්දාදුවෝ ගැනත් චීනේ කතා තියෙනවා. හැබැයි සුදාලා නම් මේවා Try කරලා බලන්න යන්න එපා හරිය.

කොහොම හරි චීනෙ වටේ තියෙන අනිත් රටවල්වලට මේ සරුංගල් සීන් කෝන් එක පසුකාලීනව ඇවිල්ලා තියෙනවා. ඊටපස්සේ කාලයක් යද්දි සීන් එක Trend වෙලා. දැන් ඉතින් සරුංගල් කියලා කියන්නේ මුළු ලෝකෙම පට්ට ජනප්‍රිය Trend එකක්. ඔය සමහරු කියලා ලියලා තිබුණා අපි දැක්කා, ගුවන් යානා තාක්ෂණය හොයාගන්නත් මිනිස්සුන්ට සරුංගලේ උදව් වුණා කියලා.

ඔන්න අපි ආයේ ලංකාවට ආවොත් පහුගිය දශකවල ලංකාවේ සරුංගල් කියලා කියන්නේ ලොකූ Trend එකක්. අගෝස්තු පාසල් නිවාඩුව තමා අපේ රටේ සරුංගල් වාරේ විදිහට සැලකුවේ. මේ කාලෙට හොඳට සුළං එහෙමත් තියෙනවා. වැස්සත් නෑ. ඉතින් ළමයි වැඩිහිටියෝ එකතුවෙලා සරුංගල් උඩ යවලා ලොකු විනෝදයක් ගත්තා මේ කාලෙදී. ඇත්තටම මචෝ මේක සාමූහික වැඩක් වෙච්ච නිසා සරුංගලයක පිටිපස්සේ ලස්සන මතක ගොඩක් අපි අලවලා තියෙනවා. සුදාලටත් එහෙම මතක සරුංගල් ගැන ඇති.

ඒත් කාලයත් එක්ක අධ්‍යාපනයේ තරගකාරී බව, දරුවන්ට විවේකයක් නොමැතිවීම වගේ දේවල් නිසා සරුංගල් අපෙන් ගොඩක් ඈත්වුණා. ඒ වගේම මචෝ අද වෙනකොට සරුංගලයක් අලවන්න සව් කොළයක් ගන්න එක වුණත් පහසු වැඩක් නෙවෙයි. ඒත් පහුගිය අවුරුදුවල ආර්ථික, සෞඛ්‍ය හේතු නිසා පීඩාවට පත්වෙච්ච දරුවෝ ඔන්න මේ පාර සරුංගල් හදන්න පටන් අරගෙන තිබුණා.

සුදාලාට කියන්න කළු පාට dustbin bag තමා මේ පාර ගොඩක් දරුවෝ තමන්ගේ සරුංගල් හැඩ කරන්න භාවිත කරලා තිබුණෙ. මේවා දිහා දැක්කම ටිකක් විතර දුකත් හිතුණා. ජීවිතයේ ලස්සනම Trend එකක් විදියට අපිට පාඩම් ගොඩක් කියලා දීපු සරුංගල් නැවත අහසේ පාවෙනවා දැකපු එක නම් ලොකු සතුටක්. මේ අවුරුද්දේ සැලකිය යුතු දරුවන් පිරිසක් මේ වැඩේට නැඹුරුවීම ගොඩක් වටිනවා මචෝ. සරුංගල්වල සුන්දරත්වයේ රසය හඳුනන වැඩිහිටියෝ මේ සීන් එකට අත හිත දෙන්න ඕනෑ.
සරුංගල් කියන්නේ ලෝක මට්ටමෙන් එක්තරා ආකාරයකට ලොකු කර්මාන්තයක්. සුදාලා දන්නවද පහුගිය කාලේ ලංකාවට සරුංගල් ආනයනය කළා. ඒක නම් එච්චර තේරුමක් නැති වැඩක්. සරුංගලයක් තමන්ම හදලා උඩ යවන එක තරම් ආතල් එකක් තවත් නෑ. පහුගිය කලේ තිබුණු සරුංගල් සැණකෙළි ආයේ පටන් ගන්නවා නම් ගොඩක් හොඳයි සුදෝ.

සරුංගල් සැණකෙළිය කියලා කිව්වම මතක් වු‍ණේ බාලි දූපත්වල, ජපානය ටෝකියෝවල වගේම තවත් රටවල් ගොඩක ප්‍රසිද්ධ සරුංගල් සැණකෙළි තියෙනවා. ඒවා විශාල සංචාරක ආකර්ෂණයක් දිනාගත්ත උත්සව. ඉතින් සරුංගලයට පෙම් බැඳපු මිනිස්සු ඉන්න අපේ රටෙත් ඒ වගේ උත්සවයක් පටන් ගන්න බැරිකමක් නෑ. සංචාරක ආකර්ෂණය දිනාගන්න විදිහට උත්සවයක් පටන් ගත්තොත් රටේ ආර්ථිකයටත් හොඳ වෙයි.

එහෙනම් අපි අවසානයට පුංචි යෝජනාවකුත් කළා. සරුංගලේ සුළං සැරේ නූල දිගේ ගිහින් එන්නම්. පාවි පාවී නිදහසේ ඉන්න ඕන ඔයාලත් වස්තු. ලබන සතියේ හම්බවෙමු.

I චමිඳු නිසල්