Q නිමන්තිගෙයි ප්‍රභාත්ගෙයි කාලයක් තිස්සේ දැකපු හීනයක් හැබෑ වුණා කියලයි ආරංචිය?
ඔව්... මායි ප්‍රභාතුයි මේ ක්ෂේත්රයේ ඉඳිද්දි අපි දෙන්නටම එක එක හීන තිබුණා. මම මේ ක්ෂේත්රයට රංගන ශිල්පිනියක් විදිහට සම්බන්ධ වුණා. ප්‍රභාත් සහාය කැමරා අධ්‍යක්ෂකවරයෙක් විදිහට සම්බන්ධවෙලා හිටියා. අපි දෙන්නා එකතු වුණාට පස්සේ අපි මුලින්ම ටෙලිනාට්‍ය නිෂ්පාදනයට සම්බන්ධ වුණා. ඒකත් අපි දෙන්නා දැකපු එක්තරා හීනයක්.
Q මුලින්ම ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කළේ කොයි කාලෙදිද?
අපි මුලින්ම ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කළේ 2003 අවුරුද්දෙ. ඒ වෙද්දි අපි විවාහවෙලා හිටියේ නැහැ. අපි විවාහ වුණේ 2006 අවුරුද්දෙ. නිෂ්පාදනය පැත්තට සම්බන්ධ වෙද්දි කවදා හරි දවසක චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවා කියන හීනයක් අපි දෙන්නටම තිබුණා. හැබැයි ඒකට අපි කලබල වුණේවත් හදිසි වුණේවත් නැහැ. අපිට මේ ක්ෂේත්රයෙන් අත්දැකීම් ගන්න ඕන වුණා. ඒ නිසා 2003 සිට 2022 දක්වාම අපි ටෙලිනාට්‍ය නිෂ්පාදනය කළා. මේ වෙද්දි අපි ටෙලිනාට්‍ය විසි පහක් පමණ නිෂ්පාදනය කරලා තියෙනවා.
Q ටෙලිනාට්‍ය විසි පහක නිෂ්පාදන ක්‍රියාවලියේ අත්දැකීම් ඇති ඔබ දෙන්නා මුලින්ම ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරද්දි ඒ වෙනුවෙන් කරපු කැපකිරීම් කොහොමද?
කැපකිරීම් මහ ගොඩයි. අපි දෙන්නටම ජීවිතේ ඉලක්ක තිබුණා. අපේ විවාහ උත්සවය වුණත් අපි ගොඩක් චාම්ව සීමිත පිරිසකට කියලයි ගත්තෙ. අපේ විවාහයෙන් පස්සේ හරියටම මාසයකින් අපි කාර් එකකුත් ගත්තා. අඩුම තරමේ ඒ වෙද්දි අපි දෙන්නට මෝටර් සයිකලයක්වත් තිබුණේ නැහැ. නාස්ති නොකර ජීවත් වෙන්න ඒ කාලෙදි අපි උත්සාහ කළා. 2003 අවුරුද්දෙ අපේ මුල්ම ටෙලිනාට්‍ය නිෂ්පාදනයට කලින් අපි දෙන්නා යාළුවෙලා ඉද්දි ප්‍රභාත් කලා කටයුතුවලින් ඈත්වෙලා නැවත රස්සාවකට ගියා. ඒකෙන් ඉතුරු කරගත්ත සල්ලි ටිකක් ප්‍රභාත්ට තිබුණා. මමත් මුදලක් දැම්මා. ඒ මුදල්වලට අමතරව අපි ලක්ෂ පහක් ණයට අරගෙන තමයි අපි අපේ මුල්ම ටෙලිනාට්‍ය නිෂ්පාදනයට එකතු වුණේ. ඒ ටෙලිනාට්‍ය රූගත කිරීම් සියල්ලම අවසන් කරලා රූපවාහිනී නාලිකාවක විකාශය කරන්න අවුරුදු එකහමාරක් විතර කාලයක් ගත වුණා. 'හිමි නැති පෙමකට' තමයි අපේ මුල්ම ටෙලිනාට්‍ය නිෂ්පාදනය වුණේ.
Q මේ වනවිට නිමන්ති - ප්‍රභාත් නිෂ්පාදනයෙන් දායක වුණු ජනප්‍රිය ටෙලිනාට්‍ය මොනවද?
ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍ය ඉතා දැවැන්ත නිෂ්පාදනයක්. මිල්ලෑව වලව්ව බොහෝ සම්මානවලට නිර්දේශ වුණු ටෙලිනාට්‍යයක්. ඒ වගේම හඳයා, මෙට්‍රෝ හීන වගේ ටෙලිනාට්‍ය ඉතා ජනප්‍රිය වුණා.
Q නිමන්තිගෙයි ප්‍රභාත්ගෙයි හීනයක් වුණු ප්‍රථම චිත්‍රපට නිෂ්පාදනය ගැන කියමු?
මීට අවුරුදු දෙක තුනකට උඩදි අපිට චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ලොකු ආසාවක් තිබුණා. ඒත් කොවිඩ් ප්‍රශ්නයත් එක්ක අපි හිර වුණා. ඒ වගේම මේ වගේ කාලයක චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවා කියන්නෙ ලේසි පහසු දෙයක් නෙවෙයි. ලංකාවේ සිනමාවට තියෙන තැනයි චිත්‍රපට ප්‍රදර්ශනය වෙද්දි ඇතිවන ප්‍රශ්නයි ඇස් දෙකට පෙනි පෙනී අපිට චිත්‍රපට නිෂ්පාදනයට සම්බන්ධ වෙන්න බයකුත් ඇතිවුණා. නමුත් එහෙම හිතුවොත් අපිට හැමදාම මෙතැනම හිරවෙලා ඉන්න වෙනවා කියලා හිතුණා. ඒ නිසා ''මේ පාර අපි චිත්‍රපටයක් කරමු'' කියලා ප්‍රභාත් කිව්වා. කොහොමත් ප්‍රභාත් ජීවිතේ අවදානම් ගන්න බය නැති කෙනෙක්. ඒ බොහෝ දේවල් එයා ජයග්‍රහණය කළා. එයා කවදාවත් කඩා වැටෙන්නෙ නැහැ. ඒ ගුණය මම දැඩි ලෙස විශ්වාස කළා.
Q මේ චිත්‍රපටයේ ප්‍රභාත් නිෂ්පාදනයට සම්බන්ධ වෙන්නෙ ලලිත් රත්නායක නම් අධ්‍යක්ෂකවරයා සමඟයි?
ඔව්.. ලලිත් අයියා (ලලිත් රත්නායක) එක්ක අපේ අවුරුදු විසි ගණනක යාළුකමක් තියෙනවා. අපි තුන්දෙනාම එකට 'සබඳ පබිලිස්' ටෙලිනාට්‍යයේ වැඩ කළා. ඒ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළේ චන්ද්‍රරත්න මාපිටිගම මහතායි. ලලිත් අයියා සහාය අධ්‍යක්ෂකවරයා විදිහට වැඩ කළා. ප්‍රභාත් ඒ ටෙලිනාට්‍යයේ කැමරා අධ්‍යක්ෂකවරයා විදිහටත් මම රංගනයෙනුත් දායක වුණා. ඒ ටෙලිනාට්‍ය නිෂ්පාදනය කළේ ජෝ අබේවික්‍රම මහතායි. ඒ ටෙලිනාට්‍යයේ වැඩ කරද්දි තමයි මමයි ප්‍රභාතුයි යාළු වුණේ. ප්‍රභාත්ට ඒකට ලලිත් අයියා උදව් කරලත් තිබුණා. ලලිත් රත්නායක කියන්නෙ ඉතා දක්ෂ, ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්. ඒ වගේම ඔහු තුළ තිබුණු විශ්වාසයයි යාළුකමයි නිසාම ඔහුත් සමඟ අපිට අපේ පළමු චිත්‍රපටය නිෂ්පාදනය කරන්න ඕනෙ වුණා. මේ චිත්‍රපටයේ පිටපත් රචකයාත් ලලිත් රත්නායකයි.
Q මේ පිටපත මොන විදිහේ පිටපතක්ද?
අපි චිත්‍රපටයට 'Belong the bounds' කියලා නම දාලා තියෙනවා. මේ නමින් කොරියන් ටෙලි වෘතාන්තයක් වගේම පොතකුත් තියෙනවා. හැබැයි ඒ කිසිම දෙයක් මේ චිත්‍රපටයට සම්බන්ධ නැහැ. පොලිස් නිලධාරීන් තුන්දෙනෙක් සහ අපරාධකරුවෙක් අතර වන සම්බන්ධයක් ගැනයි කතාව ගොඩනැගිලා තියෙන්නෙ. ඒ අයට නීතියෙන් පිට සමහර දේවල් කරන්න සිදුවෙනවා. අපේ හැඟීම් නිසා රාජකාරියේ සීමාවන් වෙනස් කරන්න සිදුවන අවස්ථා එක්ක ගෙතුණු කතාවක් තමයි අපි මේ චිත්‍රපටයට එකතු කර ගන්න උත්සාහ කළේ. මේ චිත්‍රපටයට මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, රන්දික ගුණතිලක රංගනයෙන් දායක වෙනවා. වේෂ නිරූපණය කරන්නෙ ප්‍රවීණ වේෂ නිරූපණ ශිල්පී ප්‍රියන්ත දිසානායකයි. කැමරාකරණය කරන්නෙ ප්‍රභාත්. මුලින් කැමරා අධ්යක්ෂණයට ලලිත් අයියාට කැමති දෙනෙක්ට බාර දෙන්න කියලා ප්‍රභාත් යෝජනා කළත් ලලිත් අයියා ඒ වැඩේටත් ප්‍රභාත්ට කතා කළා. මේක වෙනස්ම විදිහේ කතාවක්.
Q නිමන්ති... ඔබව ප්‍රේක්ෂකයන් හඳුනා ගන්නෙ රංගන ශිල්පිනියක් විදිහටයි. දැන් ඔබ රංගනයෙන් ඈත්වෙලා. 'සීමාවෙන් පිට' චිත්‍රපටයටවත් නැවත රංගනයෙන් දායක වෙන්නෙ නැද්ද?
ඇත්තම කිව්වොත් මට රඟපාන්න තන්හාවක් ඇතිවෙලා නැහැ. මම අවුරුදු විසි ගණනක් මේ ක්ෂේත්රයේ නියැලිලා ඉන්නවා. මේ වෙනතුරු මම චිත්‍රපටයක කැපිලා පෙනෙන චරිත කරලා නැහැ. අපි නිෂ්පාදනය කරන නිසා මට චිත්‍රපටයේ චරිතයකට සම්බන්ධ වෙන්න අවස්ථාව තිබුණා. නමුත් එහෙම ආසාවක් තන්හාවක් මට නැහැ. ඒ ගැන මට සතුටුයි. 'සීමාවෙන් පිට' නිර්මාණයෙදිවත් මම රංගනයට දායක වුණේ නැහැ.
Q දැන් ටෙලිනාට්‍ය නිෂ්පාදන කටයුත්තෙන් දෙන්නා ඈත්වෙලාද?
එහෙම ටෙලිනාට්‍ය නිෂ්පාදනය අතහරින්නෙ නැහැ. නමුත් ටෙලිනාට්‍ය නිෂ්පාදනයේ අවදානමක් තියෙනවා. අපි නිෂ්පාදනය කළ, විකාශය වුණු සමහර ටෙලිනාට්‍යවලට අදටත් අපිට මුදල් ලැබිලා නැහැ. තව ටෙලිනාට්‍යයක් අවසන් කරලා ගෙදර තියාගෙන ඉන්නවා. ඒ නිසා අපි දැන් හිත හදාගෙන ඉන්නෙ චිත්‍රපට නිෂ්පාදනයටයි. ඒකෙන් අපේ හිතට වැඩි තෘප්තියක් තියෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඒකාකාරී ටෙලිනාට්‍ය නිෂ්පාදනයට අත ගහන්න අපේ වැඩි කැමැත්තක් නැහැ.
Q අද ගෙවන ජීවිතේ ගැන මොකද හිතන්නෙ?
මේ වෙනකොට කාර්යබහුල ජීවිතයක් ගත කරන්නෙ. පුතා අප්‍රේල් මාසෙදි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින නිසා ඒ කාර්යබහුලත්වය පසුගිය කාලෙදි වැඩි වුණා. දරුවන් දෙන්නගේ අනාගතය වෙනුවෙන් අපි බොහෝ කැපකිරීම් කළා. අපි මොන දේ කළත් අපේ දරුවන් රටට බරක් වෙනවා නම් ඒකෙන් වැඩක් නැහැ. දරුවන් ළඟ අම්මා හෙවණැල්ල වගේ ඉන්න ඕනෙ. ඉතින් හැම කැපකිරීමක්ම කරලා මම වැඩි කාලයක් දරුවන් දෙන්නා වෙනුවෙන් යොදවනවා. පුතා විභාගයෙන් හොඳට සමත් වුණා. දුව දැන් පහ වසරේ. ඉතින් දරුවන් නිසා මම කාර්යබහුලයි. අපි හතර දෙනා හරිම සතුටින් ජීවිතේ ගත කරනවා. මේ ජීවිතයට මම හරි ආදරෙයි.
I දිශානි