2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

රහසක් සොයා රහසින් ගියා 63 වසරක් ඈතට ඉතින් 1970 Love story

 2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 76

සීතල නොවැම්බරයම කිතිකවන ආදර කතාවක්

සඳ පහන් රැයේ, සඳ එ සඳ පායා ආ රැයේ සඳ රැස් මට කොඳුරයි. කාල කඩතුරාවෙන් එහා ඈත ඈත නිම්න අතරෙහි මම සැරිසරමි. මම නවතිමි...

ඒ 1970 වර්ෂයයි...

සඳ එළිය සේ සුපෙම්බර වී ජීවිතය කියා දෙන ඇය සඳය; ඔහු හදවතෙහි.

1970 Love story යේ සඳ පායන්න ගීතය මම විඳිමි.

''සඳ පායන්න පායන්න සැරසී
අඳුරට ළං වුණා
කළුවර ලෝකේ පීඩා 
සිසිලෙන් පහන් වුණා
හෙට පායන්න පායන්න ඔබගෙන්
අරුණලු හිරු අරන්
මං ඉන්නවා ඉන්නවා
ආයෙමත් රූ අරන් - ආයෙමත් රූ අරන්

හැම රාත්‍රී තරුවක්ම පායාපු ආකාසේ
මට අහිමි සඳ දිලුණා දෝ
ඒ සඳට ඉහළින්ම ආකාසෙ ගෑවෙන්න
මැව් සිහින තව නින්දේ දෝ
සඳ පායන්න පායන්න සැරසී...

යුග නේත්‍ර හැමදාම මට දීපු කඳුළැල්ල සේ
මගෙ අඳුර ළඟ ඉන්නේ දෝ
ඒ අඳුර බිඳලන්න යළි එන්න අහසින්ම
මා පොළොවෙ මිය යන්නේ දෝ
සඳ පායන්න පායන්න සැරසී...

ගායනය: සුරේන්ද්‍ර පෙරේරා
පද රචනය: දුමින්ද අලහේන්ද්‍ර
සංගීතය: මංගල ගලප්පත්ති

මේ මොන කෝලමක්ද? එහෙමත් හිතුණා ඉතින්... හීසර විඳින්න හදවත පිරෙන්න මල්සරා.. පෙම් රස දැනෙන්න සවනට කියන්න කොඳුරලා...
මෙහෙම ගයද්දි මගේ හිත හොඳටෝම කිතිකැවෙයි. විදපන් මල්සරෝ දැනෙන්නම හීසරයැයි මල්සරා ළඟ දැවටි දැවටී යදින්නට මට හිතෙයි.
අරුණ ජයවර්ධනගේ 1970 Love storyහි තවත් ගී පද දහරාවක් දිගේ නොදන්නා දුරකට මා කැටුව ගොස් අතරමං කරන හැටි.
ආදරවේදය ආත්මීය ආලයකින් ළය සර හඬවමින් කොනිත්තමින් ඉඹිමින් කියවන පරිච්ඡේද මඟහැරෙද්දී මෙහෙම කියන්නට හිතුණාවත්දැයි මට සිතේ.

අනාරාධිත ඇරඹුමක පැමිණි
පිළිසරණ නැති මිරිඟුවක පැටලී
සඳ කියා තරු එළිවලට රැවටී
මං මුලා වී මං සොයා ඇවිදී...

ජීවිතයේ පාර දිගේ සංසාර වීදියෙන් වීදියට රිදෙන දෙපතුල දරාගෙන අප්‍රමාණ මනෝභාව විඳිමින් ඇවිදින ගමන වරෙක වෙහෙසකි. බොහෝ වූ ඍතුන් දරාගනිමින් ඒ වෙහෙසකර ගමන තුළම සැනසීමත් සුවයත් ආදරයත් විඳිනා උන් නොවන්නේද අපි... ඒ තමයි ජීවිතය. 

අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ 1970 Love story බලන්න මඟ බලන් ඉන්නවා මම මළවුන්ගේ මාසය නැත්නම් සීතල නොවැම්බරය එනකම්.

ජීවිතය ළඟ ජීවිතය හොයන අපි...
ජීවිතය ළඟ සිහින දකින සහ සිහින සොයන අපි...
මේ ගී පද මා රැගෙන ගිය දුර නම් බෝමැයි.

හීසර විඳින්න හදවත පිරෙන්න මල්සරා
පෙම් රස දැනෙන්න සවනට කියන්න කොඳුරලා
ආදර උල්පතින් පෙම් රස අම දහරා
ගලාවි රස දහරා
මේ පෙම් ජීවිතේ මනහර මනහාරා

නෙතු පියන් පවන් සැලී ආදර ගී කොඳුරා
හදවත මත් වුණා ඒ පෙම් රස හඳුනා
කල්පනා ලොවක් මැවූ මේ ආදරේ
හිනැහෙන්න සතුටින් පිරි සුපෙම් ජීවිතේ

දිගු සුසුම් මුවින් ලෙහී මා වතෙහි වෙලුණා
රතදර ළං වුණා මා නෙත් පිය පියවා
සිත් සදා සුවෙන් වෙලූ මේ ආදරේ
හිනැහෙන්න සතුටින් පිරි සුපෙම් ජිවිතේ

ගායනය: සමිතා එරන්දතී මුදුන්කොටුව සහ ඉන්දික රුවන් (රෑනි)
පද රචනය: ශෙහාන් ගලහිටියාව
සංගීතය: තිළිණ රුහුණගේ 
මම දන්නෑ... ඇත්තටම ආදරයයි ජීවිතයයි කියන්නේ එකක්ද? දෙකක්ද?

I සංජීවිකා