2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

අලුත්කඩේ බර්ගර් කඩේ

 2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 60

1. අලුත්කඩේ බර්ගර් කඩේ

ඇමෙරිකාවේ ඉඳන් ආපු ආසියාතික පෙනුමක් තියෙන Traveler කෙනෙක් මේ දවස්වල රට වටේම කැරකෙනවා. මෙයාගේ නම මයෙර්. මුස්ලිම් ජාතිකයෙක්. පස්සෙ දැනගන්න ලැබුණු විදිහට මෙයා පාකිස්ථානයෙන් ඇමෙරිකාවට සංක්‍රමණය වුණු පවුලකින් පැවත එන කෙනෙක්.

ඔන්න යාළුවා පහුගිය දවසක අලුත් කඩේ කෑම වීදිය පැත්තෙ ගියා. බිත්තර රෝල්ස් දෙකක් කාලා, බාබකිව් චිකන් කෑල්ලකුත් කාලා ඉස්සරහට යනකොට මෙයාට බර්ගර් එකක් කන්න හිතුණා. එකම පවුලේ සහෝදරයෝ දෙතුන් දෙනෙක් එකතුවෙලා කරගෙන යන පොඩි කඩයක් ළඟ මෙයා නතර වුණා. ක්‍රිස්පි චිකන් බර්ගර් එකක් තමා මෙයා ගත්තේ.

''මේක තමයි මම කාලා තියන හොඳම ක්‍රිස්පි චිකන් බර්ගර් එක. ඔය ලොකු ලොකු කඩවල තියෙන හැමඑකටම වඩා මේක නියමයි....'' ලෝකෙ තිබුණු ලොකුම අවන්හල් කිහිපයකම නම් කියලා අපේ යාළුවා මෙහෙම කිව්වේ.

මේ පොඩි කඩේට දාලා තිබුණේ බෙල්ජියම් නමක්. ඒ ගැනත් මෙයා විස්තර හොයලා බැලුවා. කඩේ පවත්වාගෙන යන පවුලේ සහෝදරයෙක් ඉන්නවලු පිටරට. එයාලු කඩේ නම දැම්මේ. පහුගිය අර්බුදවලට කලින් මේ තරුණයෝ කිහිපදෙනා වෙන වෙන රස්සා කරලා තියෙන්නේ. පස්සේ එයාලා මේ වැඩේට බහින්න තීරණය කරලා. දැන් සහෝදරයෝ ටික බොහොම ලස්සනට වැඩේ කරගෙන යනවා. 

 

2. රුපියල් සියයේ ටිකට් දෙකක් රුපියල් 315යි ද?
එහෙමත් නෑමක් හිතුණලු...

ජෝශී ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක්. මෙයත් ලෝක වටේ සංචාරය කරන ගමන් තමන්ගෙ අත්දැකීම් බෙදාගන්නවා. හැබැයි දිග වීඩියෝ නෙවෙයි කෙටි වීඩියෝ තමා මෙයා ඉදිරිපත් කරන්නෙ.

ඔන්න පහුගිය දවසක ලංකාවට ඇවිල්ලා එක්තරා දුම්රිය ස්ථානයකින් නුවරට ටිකට් එකක් ගන්න මෙයා ගියා.

''මට නුවරට ටිකට් එකක් ඕන.... කීයද?''
''රුපියල් 100යි...''
''එහෙනම් මට ටිකට් දෙකක් දෙන්න.''

මෙයා ලංකාවට ඇවිල්ලා තිබුණේ තවත් පිරිමි කෙනෙක් එක්ක. එයාලා සිංහල වචන දෙක තුනකුත් පුරුදු වෙලා හිටියා. කොහොම හරි ටිකට් දෙක දෙනකොට අපේ දුම්රිය නිලධාරීතුමා මෙහෙම කිව්වා.

''3.15 වට තමයි දුම්රිය තියෙන්නේ...''

ඒත් ජෝශී ඒක තේරුම් ගත්තෙ වැරදියට. එයා අහනවා එක ටිකට් එකක් රුපියල් 100 නම් ටිකට් දෙකක් කොහොමද රුපියල් 315ක් වෙන්නේ කියලා. ජෝශි රට පටලා ගත්තා. ටිකක් වෙලා යනකොටම එයාටම තේරුණා අපේ නිලධාරීතුමා කිව්වේ දුම්රිය එන වෙලාව කියලා. ඊටපස්සේ පස්සෙ ටිකට් එක අරගෙන ඇවිදගෙන එන ගමන් ලැජ්ජාවෙන් රතුවෙලා මෙයා කැමරාවට කිව්වා මෙහෙම.

''අයියෝ මමනේ වරද්දගෙන තියෙන්නේ. අපොයි එයා කිව්වේ දුම්රිය එන්නේ 3.15ට කියලානේ....''

3. ලෝකයේ නරකම නිදන දුම්රිය ලංකාවේලු?
මෙන්න  මෙයා එහෙම කියලා

'කෝච්චි පිස්සෝ' කියලා කියන්නේ ලංකාවේ විතරක් නෙවේ ලෝකෙ පුරාම ඉන්න කට්ටියක්. මෙයත් කෝච්චිය පිස්සෙක්. ඒ වගේම Traveler කෙනෙක්. ඒත් මූණ නම් පෙන්නන්නෙ නෑ. හැබැයි ලෝකෙ වටේම විවිධ ප්‍රවාහන මාධ්‍යවල තමන්ගේ අත්දැකීම් වීඩියෝ හරහා බෙදා ගන්නවා.

පහුගිය දවස්වල ලංකාවට ඇවිල්ලා දුම්රිය ගමන් වාර කිහිපයක්ම ගිහිල්ලා තිබුණා. අගය කිරීම සහ දුර්වලතා පෙන්වා දීම් මේ අතර තිබුණා.

මේ එක ගමනකදී බදුල්ලේ ඉඳන් කොළඹ එන රාත්‍රී තැපැල් දුම්රියේ පළමු පන්තියේ නිදන මැදිරියක ටිකට් එකක් තමා මෙයා අරගෙන තිබුණේ. ඇත්තටම ඒ මැදිරියට ගිහිල්ලා බැලුවම එතන කිසි පිළිවෙළක් නැති අපවිත්‍ර තැනක්.

සංචාරකයකුට නම් කොහෙත්ම ගැළපෙන්නේ නෑ. වැසිකිළිය වුණත් බොහොම පරණ එකක්. ඇඳ ඇතිරිලි වුණත් හොඳ තත්ත්වයේ තිබුණේ නෑ. මෙයා ඒ හැම දෙයක්ම ලෝකෙට පෙන්නුවා.

ගොඩක් විචාරශීලීව අවසානයේ මෙයා කිව්වේ ලෝකයේ නරකම නිදන මැදිරිය තියෙන දුම්රිය මේක කියලා. කොහොම වුණත් එයා පෙන්නපු දේවල් අනුව ඒ කතාව ප්‍රතික්ෂේප කරන්නත් අපිට බැහැ. මේ වීඩියෝව නම් දුම්රිය දෙපාර්තමේන්තුවේ ලොකු ලොකු අය දකින්නම ඕනෑ. Traveler ලා අපේ හොඳ විතරක්ම කියන පිරිසක් නෙවෙයි. මේ වගේ වෙනස් අඩුපාඩු පිළිබඳවත් එයාලා ප්‍රසිද්ධි විවේචනය කරනවා.

I චමිඳු