2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

සංසාර මහ කැලයේ වහං වූ සිංහයා

 2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02 152

භව දුක නිමා කරමින් නොව යළිත් සංසාරණ්‍යයේ කොහේ කොතැනකදි හෝ ජීවිතය සරන්නට තැනක නවතිනු රිසින් අධිරාජයාණන් නික්ම ගියේය. සාර නිස්සාර සංසාර භූමියේ කවර වෙසෙකින් කවර නමකින් පැළ වුවත් අහස සිඹින ඉමකට එසවුණු මේ මහා වනස්පතිය ජැක්සන් ඇන්තනී නමින් ලියූ රන්වන් පරිච්ඡේදය ශ්‍රී ලාංකික කලාවේ අප්‍රමාණ ඉසව් පුරා විදාහල සදාතනික ස්වර්ණවත් සුගන්ධය දැනී දැනී දැනී අප්‍රමාණ වාරයක් අපේ මතක සුවඳවත් කරනු ඇත. ජැක්සන් ඇන්තනී යනු ආදරවේදයකි. ප්‍රේමයේ අක්ෂර ආදරය තවරා ඔහු තරම් ලියන්නට දත් ප්‍රේමවන්තයෙක්, ආලවන්තයෙක්, සෞන්දර්යවේදියෙක් තවත් හිඳී දැයි මම සිතමින් සිතමි.  සිංහබාහු සිංහයාට ළය ලෙය කැලතෙන අප්‍රමාණ ආලයකින් ජීවනය දෙන්නට ගිය මොහොතකදී ඔබ වැටුණු ඇඳ අද හිස්ය. 14 මාසයක් නින්දත් නොනින්දත් අතරේ ගෙවූ කාලය නිමා කර මරණයේ ද්වාරය හැර ඔබ නික්ම ගියේය. සංසාර මහ කැලයේ සිංහබාහු සිංහයා හිටිවනම වහං වී ගියේ යැයි මට සිතේ. අනන්ත සංසාර සක්මනේ සංසාර වීදියෙන් වීදියට සරන ඇසිල්ලක යළි යළිඳු ඔබ මා හමුවෙතැයි සිතෙනමුත් එසේ හමුවේදැයි නිශ්චයටම නොදන්නෙමි. එහෙයින්ම වාවාගත නොහැකි සුසුමක් මේ මොහොතේ හීන් සැරේ හදවතේ ගැඹුරුම තැනකින් නැඟෙන වග දැනේ. එහෙත් සමුගත් සඳ සමු දිය යුතුමය. එහෙත් සාර භූමියේ ඉතිරි කර ගිය සුවඳ අසමාන සුසාදර ප්‍රේමාන්විතම සුවඳක්මය. ජැක්සන් ඉඳින් ඔබ යන්න. ඔබට අවැසි ජීවිතයක් හමුවෙන තැනක නවතින්න. මතක සහ ආදරය පමණක් මා ළය අවසන් හුස්ම තෙක් සදාතනික වේවි. මරණයත් සමඟ නොමැරෙන සහ නොමැරිය හැකි බොහෝ දේ ඇති වග කියා දුන්නාට ස්තූතියි.  

සිංහ වෙසින් සැරසී රඟනු රිසින් රංග භූමියට සපැමිණි සිංහයාගේ සේලය ගිනි ඇවිලුණේ සපැමිණි දිගු ගමනක නිමාව කියන ඉඟියක් ලෙසින්දැයි සිතෙයි මට. සොබාහදමේ නොකියා කියන ඉඟි වරෙක කෙතරම් දෛවෝපගතද?

I සංජීවිකා