- සිනමාවේදී කැළුම් ආර්යන්
අරුණලු නැගි හිමිදිරියක මම මගේ ආදරණීය මිත්‍රයෙකුට ඇමතුමක් ගත්තෙමි. ඒ මිත්‍රත්වය තුළ දිගහැරෙන කතාවක් වෙනුවෙන් නොව මුහුණුපොත තුළ ඔහු තබා තිබූ සටහනක් කියැවූ මොහොතේ ඔහු අමතන්නට මට හැඟුණු සිතුවිලි නිසාවෙනි.
''එතුමා හිටියටත් වඩා ලස්සනයි. තිරිසන්නු යූටියුබ් විව්ස් සඳහා මොන තරම් බොරු වැපුරුවද? මහා රූස්ස ගසක් නිකරුණේ කපා බිම හෙළුවා වගේ හැඟීමක් එන්නෙ. අපේ රට හරි අවාසනාවන්තයි. ඔබට සුබ ගමන් සර්.''
ඒ සටහන තැබූ මගේ මිත්‍රයාගේ නම කැළුම් ආර්යන්ය. ආදරණීය ළයාන්විතයෙකුගේ නික්ම යාම අස දැනුණු සුසුම, වේදනාව, හැඟීම ඔහු වදන් සමුදායකට අකුරු වෙසින් අමුණා තිබුණේ එලෙසය. ආර්යන් සියල්ලන් නොව, ඔබ කී පරිදි ඇතැම් පිරිස් යූටියුබ් විව්ස් සඳහා ගෙතූ කතා මටත් මතකය. ජැක්සන් මැෂිමෙන් ගලවන තෙක් රට පෙරළන්නට කෑගැසූ, අපහාස, අවලාද නැගූ, ඇස් මස් දියවී ඇතැයි කියමින්, හොල්මනක් අවතාරයක් සේ ජැක්සන් ඇවිදිතැයි කියමින්, මරණය මරන්නට පෙර සිය දහස් වරක් මැරූ ජැක්සන් මේ මොහොතේ ඒ සියලු මරණයන්ගෙන් නැඟිට සැබෑ මරණය අභිමුව සැනසිල්ලේ නිදා සිටී.
Qආර්යන්... ආදරණීය ජැක්සන් ඇන්තනී එක්ක ඔබට තියෙන දයාබරම මතකය ගැන කතා කරන්න මම ආසයි?
ජැක්සන් සර් එක්ක මට කතා කරන්න හම්බවෙලා තියෙන්නෙ එක සැරයයි. එදා අපි පැයක් විතර කතා කළා. ඒ කතා කළේ නිර්මාණයක් ගැන. ඒ නිර්මාණය නොකෙරුණත් ඒ කතා කළ කතාබහේදී සර් කොච්චර පරිණත, ආදරණීය, සංවේදී මනුෂ්‍යයෙක්ද කියන එක මට දැනුණා. මට කිව්වා පුතා මම කැමතියි පුතා එක්ක වැඩ කරන්න. අපි මේක කරමු කියලා. අදටත් හිතෙනවා ඒ තරම් මහ ගසක් වගේ රටටම සම්පතක් වෙච්ච දක්ෂම නළුවෙක් එක්ක රඟපාන්න නොලැබීම අවාසනාවක් කියලා. මගේ ප්‍රියතම නළුවා ජැක්සන් ඇන්තනී නොවුණත් ඔහු තරම් දක්ෂයෙක් ශ්‍රී ලංකාවේ නළුවන් අතර තවත් ඉන්නවාද කියලා මට හිතෙනවා.
Qඔබ කියනවා ඔහු ආදරණීයයි කියලා. ආදරණීය වෙන්න ආදරය පපුවටම දැනෙන්නම ඕනෙ. කොතැනකදිද ආර්යන් ඒ ආදරය පපුවටම දැනුණෙ?
මාව කොතැනක දැක්කත් උරහිසින් අල්ලලා මිරිකලා උඹ... කියලා කියන වචනය ඇතුළෙ උරහිස මිරිකද්දි ඒ ඇඟිලි අස්සෙ ආදරය දැනුණා මහ ගොඩක්. ඔහු දැවැන්තයෙක්. ඒත් ඒ දැවැන්තයා ඇතුළෙ ප්‍රේමණීය සංවේදී කෙනෙක් හිටියා. භව දුක, භව කර්ම වගේ චිත්‍රපටවල ඉඳන් ජැක්සන් සර් රඟපාපු හුඟක් චිත්‍රපට මම බැලුවා. ජැක්සන් සර් අවුරුදු ගාණක් කෝමා තත්ත්වයේ ඉඳලා හරි ආයෙත් නැඟිටින්නෙ නැතුව අන්තිම ගමන ගියේ ඇයි කියලා මට හිතෙනවා.
Qජැක්සන් මාරම නළුවෙක් කියලා ඔබට දැනුණෙ ජැක්සන්ගෙ කවර රංගනය ළඟදිද කියලා ඇහුවොත් දෙන්න උත්තරයක් තියෙනවද?
ඔව්. සූරිය අරණ චිත්‍රපටය බලද්දි ජැක්සන් සර්ගෙ රංගනය දැකලා ඇත්තටම මාව හිරිවැටුණා. ජැක්සන් ඇන්තනී කියන්නෙ මාරම නළුවෙක් කියලා මට හිතුණෙ එදා. එයාගේ ඇඟේ පුදුම රිද්මයක්, පුදුම ජවයක් තියෙන්නෙ. ඇක්ෂන් පැත්තටත් මට හිතුණා එයාගේ මාරම හැකියාවක් තියෙනවා කියලා. ඒ පැත්තෙන් තව එයාට කරන්න හුඟක් දේවල් තිබුණා. ඒ විදිහෙ නිර්මාණ ජැක්සන් සර්ට ලැබුණා නම් කියලත් මට හිතුණා. එයාගේ ඇඟ ඇතුළෙ ඉන්නෙ පුදුම ක්‍රියාශීලී මනුෂ්‍යයෙක්. ඒ වගේම එයාට ලස්සනටම හොඳටම නටන්න පුළුවන්. ඉස්සර වේදිකා නාට්‍ය බලද්දි එයාගේ ලස්සන නර්තන හැකියාව මම දැකලා තියෙනවා.
Qඒ සුවිශිෂ්ට රංගධරයා වෙනුවෙන් ඔබේ අවසන් ඇගයුම මට කියන්න?
ජැක්සන් ඇන්තනී සර් තරම් ජැක්සන් ඇන්තනී කියන රංගධරයා තරම් රිද්මයක් තියෙන කිසිම නළුවෙක් මම එතෙක් මෙතෙක් ලංකාවේ දැකලා නෑ. ලංකාවේ එකම නළුවෙක්ගෙන්වත් මෙච්චර කාලෙකට නොදැක්ක රිද්මයක් මම සර්ගේ රංගනය තුළ දැක්කා. ඒ තමයි මගේ ඇගයුම.
Qසමුගන්න පෙර සිය දහස් වාරයක් ඔහු මරා දැමූ ශ්‍රී ලාංකික බාල මානසිකත්වයන් ඔබ දකින්නෙ කොහොමද?
මේ රටේ කලාකරුවන්ට සමහර මිනිස්සුන්ගෙ තියෙන වෛරය, තරහ, ඊර්ෂ්‍යාව හොඳටම කැපී පෙනුණ මාස 14ක් පහු කළා. මට දැනුත් හිතෙන්නෙ රෝද පුටුවේ ඉඳගෙන ඉන්න තත්ත්වයට හරි ජැක්සන් සර් නැඟිට්ටා නම් තව අවුරුදු 15ක කාලයක්වත් ඔහු ජීවත් වේවි කියලා. ජැක්සන් ඇන්තනී කියන්නෙ රංගධරයෙක් විතරක් නෙවෙයි, පුදුමාකාර හැකියාවන් ගොඩක් එක මිටට අරගත්ත පුදුම දක්ෂයෙක්. එහෙම සම්පත් හරි හිඟයි. විශ්ව කෝෂයක්, ශබ්ද කෝෂයක්, පුස්තකාලයක් වගේ මනුස්සයෙක් රෝද පුටුවකට වාරුවුණත් ඔහු අතින් තව බොහෝ දේ නිර්මාණය වෙන්න තිබුණා. ශ්‍රී ලාංකික කලාව සාර භූමියක් වගේ අස්වද්දන්න ජැක්සන් චින්තනය තුළින් බොහෝ දේ තිළිණ වෙන්න තිබුණා. රෝද පුටුවේ ඉඳන් හරි ජැක්සන් ඇක්ෂන් කියන නිමැවුම් නිමැවෙන්න තිබුණා.
I සංජීවිකා