2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

නොදැම්ම කෙනෙක් නෑ හලෝ

 2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 50

ඔන්න මචෝ අද තොප්පි ගැන කතාවක් අරගෙන ආවා. හැබැයි මේක තොප්පි වෙළෙන්දගෙ කතාව නම් නෙවෙයි. ඇත්තටම කැප් එකක් නොදාපු කොල්ලෙක් හොයාගන්නවා කියලා කියන්නේ ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. අපේ සුදාලා Fashion එකට නොවුණත් පුංචි කාලේ අව්වට වැස්සට හරි කැප් එකක් දලා ඇති අනිවා.

ඉතින් වස්තු කැප් කියන්නෙ Fashion World එකේ පට්ට Trend එකක්. ඒ වගේම Sports World එකෙත් අත්‍යවශ්‍ය අංගයක්. ඉතින් වස්තු, මේ Trend එක හිතාගන්න බැරි වපසරියක පැතිරිලා යනවා. පිස්සුවෙන් වගේ කැප් දාන, එකතු කරන කොල්ලෝ තාමත් ලංකාවේ ඉන්නවා. ඒක වෙනම ආතල් එකක්.

තොප්පියේ ඉතිහාසයත් අපි පොඩ්ඩක් හොයලා බැලුවා හරිය. ක්‍රිස්තු පූර්ව 3200 තරම් ඈත ඉතිහාසක් මේ කැප්වලට තියෙනවා. අද මේක Fashion එකක් වුණත්, ආරම්භයේදී මිනිසුන්ගේ අවශ්‍යතාවයක් විදිහට තමා කැප් නිර්මාණය වෙලා තියෙන්නෙ. විශේෂයෙන්ම හිරු එළියෙන් ආරක්ෂා වීමේ අවශ්‍යතාවය මත.

එතකොට Cap කියන වචනය හැදිලා තියෙන්නේ ප්‍රංශයේ chapeau කියන වචනය පදනම් කරගෙන. මේ වචනයේ තේරුම තමා හිස් ආවරණය කියන එක. ඒත් සමහරු කියන විදියට Cap කියන ඉංග්‍රීසි වචනයේ තේරුම covering or covering up කියලා. ඒකත් ඉතින් හරි.

අපේ පුංචි කාලේ ගොඩක් වෙලාවට අව්වෙන් වැස්සෙන් බේරෙන්න තමා අම්මලා තාත්තලා අපිට තොප්පියක් දැම්මේ. ගොඩක් වෙලාවට අපි ඉස්කෝලවල  සෙල්ලම් කරපු නිසා තමා වැඩිහිටියෝ අපිට කැප් එකක් දැම්මේ. ඒ අවශ්‍යතාවය ක්‍රීඩාමය අවශ්‍යතාවයක්. ඒත් සුදාලට මතක ඇති, එතැනදි ලස්සන ලස්සන තොප්පි ළමයින්ට අරන් දෙන්න දෙමව්පියෝ උනන්දු වුණා. ඒකට හේතුව තමා, ඒ වෙනකොටත් Cap කියන්නෙ Fashion එකක් වීම. 

අපි ක්‍රීඩාව පැත්තට හැරුණොත් වර්තමාන ක්‍රීඩාවට කැප් සංස්කෘතිය අරගෙන ඇවිල්ලා තියෙන්නේ බේස්බෝල් ක්‍රීඩාව. ඒ නිසා තමා අදටත් බේස්බෝල් කැප් ලෝකේ පුදුම විදිහට ජනප්‍රිය වෙලා තියෙන්නෙ. මේ සීන් එක පිටිපස්සෙත් අමුතු කතාවක් තියෙනවා.

පිදුරුවලින් හදපු තොප්පි පැළඳගෙන පළමු වතාවට 1849 අප්‍රේල් 24 වැනි දින New York Knicks කණ්ඩායම තරගයක් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ කාලේ හැටියට මේක ටිකක් අමුතු වැඩක්. කොහොම හරි මේ සීන් එකෙන් වසර කිහිපයක් ගියාට පස්සේ, ලොම්වලින් සාදන ලද වර්තමාන කැප් එකේ ආකෘතියට සමාන කැප් භාවිත කරන්න බේස්බෝල් කණ්ඩායම් පෙළඹිලා තියෙනවා.

ඉතින් මචෝ කැප් දාන්න පුරුදු කරපු පළමු ක්‍රීඩාව බේස්බෝල්. ඒත් ක්‍රිකට්, ගොල්ෆ්, ටෙනිස් වගේ ලෝකේ පුරා තියෙන ක්‍රීඩා රුසක කැප් එක අනිවාර්ය අංගයක් වෙලා ඉවරයි. අපි දන්නවා ක්‍රිකට්වල එහෙම කැප් එකට විශේෂ පිළිගැනීමක් තියෙනවා. ජාතික කණ්ඩායමට ක්‍රීඩකයෙක් එනකොට කැප් සංකේතයක් විදිහට  භාවිත කරනවා. මෙහෙම බැලුවම ලංකාවේ තරුණයෝ අතර කැප් සංස්කෘතියක් නිර්මාණය වෙන්න ක්‍රිකට් ක්‍රීඩාව හේතු වුණා කියලත් හිතන්න පුළුවන්.

දැන් Fashion World එක පැත්තට හැරුණොත් 19 වැනි සියවස වෙද්දී යුරෝපයේ කාන්තාවන්ගේ හිස් ආවරණ සංස්කෘතිය උපරිම තැනකට ඇවිල්ලා තිබුණා. විවිධ සමාජ පන්ති, කණ්ඩායම් නිසා හිස් ආවරණ සම්බන්ධව විලාසිතා සංස්කෘතියක් නිර්මාණය වෙමින් තිබුණා. ඒත් ඒක අපි කතා කරන sporty Cap සීන් එක නම් නෙවෙයි.

කොහොම හරි වර්තමාන සීන් එක ගත්තොත් 1980 ගණන්වල ක්‍රීඩා කණ්ඩායම් සඳහා තොප්පි නිර්මාණය කරමින් හිටපු New Era කියන සමාගම අද Trend එකට පුරෝගාමීන් වෙන්නේ. මෙයාලා ක්‍රීඩා සඳහා නිර්මාණය කරපු කැප් සාමාන්‍ය ජනතාව සඳහා විකුණන්න පටන් ගත්තා. ඉතින් ඒක ක්‍රීඩාවට ආදරය කරන අයට ටිකක් වෙනස් අත්දැකීමක් වුණා.

අවසානයේ Sports cap විලාසිතා කර්මාන්තයට ඒ තීරණය ලොකු බලපෑමක් එල්ල කළා. Baseball caps, fitted caps, snapback caps and truckers hats වලින් තමා වැඩේ නැගලා යන්න පටන් ගත්තෙ. ඊටපස්සේ සංගීත ලෝකෙ වගේම චිත්‍රපට කර්මාන්තය තුළෙත් මේ Cap විලාසිතාව ලොකුවට භාවිත වුණා. ඩයනා කුමරිය පවා කැප් එකක් දැම්මා. එහෙම තමයි ඉතින් මුළු ලෝකෙම Cap සීන් එකට සෙට් වුණේ.

හැබැයි පොදුවේ හිස්වැසුම් කියන තැන ඉඳලා මේ ගැන කතා කළොත් සීන් එක වඩා විශාල වෙනවා. විවිධ සමාජ පන්ති, තරාතිරම්වල භාවිත කරපු හිස් ආවරණ, වෘත්තීයවලට අඩංගු වෙච්ච හිස් ආවරණ, ඒ වගේම ලෝකෙම පිස්සු වට්ටපු  කව්බෝයි හිස් ආවරණය වගේ දේවල් ගැන අපිට කතා කරන්න වෙනවා දීර්ඝව. ඒත් ඒක අද කරන්න පහසු නෑ මචෝ. අපි ඒ ගැන වෙන දවසක චැටක් දාමු.

අද වෙනකොට Cap නිර්මාණය කිරීම ඩොලර් බිලියන ගණනක විශාල කර්මාන්තයක්. ලෝකෙ පුරා බිලියන ගාණක කැප් භාවිත වෙනවා. විශේෂයෙන්ම තාරුණ්‍ය අතර එක එක Fashion තියෙනවා. ස්ටාර් ලෙවල් ක්‍රීඩකයෝ, නළුවො, ගායකයො ඉන්නවා කැප් භාවිත කරන. ජනප්‍රිය සුපිරි brand ගණනාවක් තියෙනවා. සුදාලට මේක කොච්චර ලොකු කර්මාන්තයක් ද කියලා තේරුම් ගන්න අපි නිකම් ගණන් හිලව් ටිකක් කියන්නම්. 

ලොව විශාලතම තොප්පි සහ හිස් ආවරණ අපනයනය කරන රට චීනය. සෑම වසරකම චීනය මෙයින් සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.6 කට වඩා වැඩි ආදායමක් හොයනවා. එතකොට ගෝලීය හිස්වැසුම් වෙළෙඳපොළ 2022 දී USD බිලියන 26.50 ක් වුණා කියලා වෙබ්අඩවි සඳහන් කරනවා. 2023 ඉඳලා 2030 දක්වා 6.5% ක වර්ධනයක් අපේක්ෂා කරනවා. ඒ කියන්නේ මචෝ තාමත් මේක පට්ට ජනප්‍රිය Trend එකක්.

ඉතින් ඔන්න ඔහොම තමා කැප් ගැන කතාව. ලංකාවේ අපේ අය කැප් දාන විදිය ගැනයි ඒ වටා තියෙන ආතල් උප සංස්කෘති, කැප් හොරු ගැනයි වෙනම කතාවක් අරගෙන එන්නම්. හැබැයි සුදෝ වෙන දවසක. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. 

I චමිඳු නිසල්