ඔයාලා දන්නවා දැනටමත් අවුරුදු දහයක් හනිමූන් ට්‍රිප් එකක් යන සුදු නෝනයි මහත්තයයි. එයාලා මේ දවස්වල ඉන්නේ ත්‍රීවීල් තරගයේ.
ඔන්න අද උදේ දෙන්නට තිබුණු අභියෝගය යට ඇඳුම පිටින් ත්‍රීවිල් එක හෝදන්න. ඉතින් දෙන්නා එක්ක වීල් එක හේදුවා සුපිරි හේදිල්ලක්. ආයේ නෑ සුපිරියි. සුදු නෝනා වීල් එක උඩ වහලයට නැගලත් හේදුවා. ඊටපස්සේ මෙයාලා නුවර ටවුම හරහා කිතුල් රා මණ්ඩියක් හොයාගෙන ගියා. ඒකත් අභියෝගයක්.
''කොළඹ වත් නෑ මෙහෙම ට්‍රුෆික් එකක්. මේක නම් පිස්සුවක්...''
එහෙම කිය කියා එහෙන් එහෙන් මෙහෙන් දාලා කිතුල් රා මණ්ඩියට ආවා.
''අපිට මේවා ටිකක් ටෙස්ට් කරලා බලන්න පුළුවන්ද?''
''බෝතලයක් 800යි...''
මෙයාලගේ ප්‍රශ්නෙට එතන හිටපු මාමා උත්තර දුන්නේ මෙහෙම. කොහොමහරි දන්න ඉංග්‍රීසි ගලපාගෙන කිතුල් රා පොල් කට්ටක් විතරක් මෙයාලා බොන්න ගත්තා.
''අපි මේක ටෙස්ට් කරලා බලමු. අපි නම් ඒත් ඇල්කොහොල් ලොකුවට බොන්නේ නෑ...''
මේ දෙන්නා ඉතින් ධාර්මික, ආධ්‍යාත්මික වෙනම සීන් එකේ ඉන්න දෙන්නෙක්. චුට්ට චුට්ට රහ බැලුවා.
''එහෙනම් අංකල් මෙන්න මේක තියාගන්න...''
මේ ගොල්ලෝ පෙරලා අන්කල්ට දුන්නේ පොඩි බියර් කෑන් එකක්. ඒවා මෙයාලා ළඟ තියාගෙන ඉන්නෙ.
''අපි ගිහින් එන්නම්... ස්තුතියි...''
දෙන්නත් එක්ක පිටත් වෙන්න හදද්දි අංකල් මෙයාලව නතර කර ගත්තා.
''මිනිත්තුවක් ඉන්න පොඩ්ඩක් එන්න...''
කියලා වදුල පැත්තට තමා එක්ක ගෙන ගියේ. මෙන්න තියෙනවා බට වලින් හැරලා බැඳපු කිතුල් ගහක්.
''අපි දවසට තුන් පාරක් මේකට නගිනවා රා ගන්න...''
කොහොමහරි දන්න භාෂාවෙන් වැඩේ පැහැදිලි කර ගත්තා. අපේ අංකල් ගහට නැගලම පෙන්නුවා වැඩේ. ගහ ටිකක් විතර උසයි. ඒ නිසාම මේ දෙන්නට වැඩේ මැජික් වගේ.
''අංකල්ගෙ වයස කීයද?''
''53 යි...''
''ආ පනස් තුනයි... වෙන 53 අය යන්නේ හැරමිට්ටෙන් මෙන්න මෙහෙම. ඒකට අංකල් දවසට තුන් පාරක් ගහට නඟිනවා...''
කොහොම හරි මෙයාලා සුහද සමුගැනීමකට පස්සේ පිටත්වෙන ලෑස්ති වෙනකොට තවත් වීල් එකක තරගකාරයො ටිකක් ආවා. එයා මෙයාලගේ වීල් එක අතරමඟදී හප්පලා. කොහොමහරි මේ විදිහට කතාබහ කරලා මෙයාල පිටත්වුණේ තවත් අභියෝගයකට.
පේරාදෙණිය සරසවියේ පන්ති පැවැත්වෙන ශාලාවකට ගිහිල්ලා එ්කේ ඉන්න ළමයි එක්ක සෙල්ෆියක් ගන්න එක තමා දැන් අභියෝගය. ඒක මේ අමුතු සුදු නෝනයි මහත්තයයි කරාද නැද්ද කියලා අපි කියන්නම් ලබන සතියෙ.
රුවල් ඔරුවේ මීගමුවේ චාරිකාවක
වචනවලින් කියන්න බැරි තරම් සුපිරි අත්දැකීමක් විඳින්න පහුගිය දවසක ක්‍රිස් කියන සුදු යාළුවා සමත් වුණා. අපි දන්න කියන ස්ටීව්ත් මේ ගමනට එකතුවෙලා හිටියා. මීගමුව වැල්ලේ ධීවරයෝ මාළු අල්ලන්න යන රුවල් ඔරුවක සවාරියක් යන්න මෙයාට අවස්ථාවක් ලැබුණේ.
''අම්මෝ මේක තල්ලු කරන්න අමාරුයි. කොහොමද ඕගොල්ලෝ මේක කළේ...''
ඔරුව මුහුදට දාන එක ලේසි නැහැ. මේවා තුන් හතර දෙනෙක් යන විශාල ඒවා. කට්ටිය එකතුවෙලා තල්ලු කරනකොට ක්‍රිස්, ස්ටීව් ඇතුළු පිරිසක් වැඩේට එකතුවුණා.
''ඔය කට්ටිය නම් ඇත්තටම ලෙජන්ඩ්ලා.''
අපේ කට්ටිය ඔරුවේ එහාට මෙහාට ඇවිදින ඔරුව වතුරට දාපු ගමන්ම මේගොල්ල පුදුම වුණා.
කොහොම වුණත් මේ ගමන එතරම්ම ආරක්ෂිත එකක් නෙවෙයි. ජීවිත ආරක්ෂක කබා වගේ කිසිම දෙයක් මෙයාලා පැළඳ ගෙන හිටියේ නම් නෑ. හැබැයි කිලෝමීටර් දෙක තුනක් තමයි ගමන ගියේ. ජීවිත ආරක්ෂකයොන්ටත් වඩා සුපිරි වැඩකාරයෝ සෙට් එකක් ඔරුවේ හිටපු බව නම් සහතිකයි.
ඔන්න කට්ටිය ටිකක් දුර යනකොට ධීවරයෝ රුවල්වලට වතුර ඉහින්න පටන් ගත්තා.
''මොනවද ඔය ඔයාලා කරන්නෙ.''
''අපි මේ හුළං හමන දිශාව බලා රුවල්වලට හුළං බදන්න සලස්වනවා...''
අපේ සුදු යාලුවොන්ට සිද්ධ කරන දේ හොඳට පැහැදිලි කරලා දුන්නා. මේ හැමදෙයක්ම එයාලට නැවුම් අත්දැකීමක්.
ඊටපස්සේ ඔරුකාරයෝ මුහුදේ මුහුදේදී අල්ලගන්න මාළු පිළිබඳවත් මේ ඇමෙරිකන්කාරයෝ තුන්දෙනා ප්‍රශ්න කළා.
''හැමදාම ලංකාවේ මුහුද මේ විදියට හොඳට තියෙනවද?''
''නැහැ. අවුරුද්දේ මාස කිහිපයක් තමා මෙහෙම තියෙන්නේ. අනික් මාස කාලගුණය එච්චරම හොඳ නැහැ.''
කොහොම හරි මේ රුවල් ඔරුව පිළිබඳව ලොකු කුතුහලයක් තිබුණු මේ අය දිගින් දිගටම ප්‍රශ්න කළා. මෙතැන හිටිය හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් තරුණයෙක්. පස්සේ තමා එයා කතාව කිව්වේ.
''කෝවිඩ් වසංගත කාලේ රස්සාව නැතිවෙලා අමාරුවෙන් ඉන්නකොට මේක හදන්න මට උදව් කළේ ඩෙන්මාර්ක් මිත්‍රයෙක්. ඔහු මට මුදල් එව්වා...''
මේ තරුණයා කියපු විදිහට ඒ මුදල්වලින් සීගිරිය අනුරාධපුරයේ පැත්තෙන් විශාල ගහක් අරගෙන ඒක වඩු මහත්තයකුට දීලා තමා මේ විශාල රුවල් ඔරුව හදාගෙන තිබුණේ. දැන් ඒ වඩු මහත්තයත් සෑහෙන්න වයසයිලු. මේ ජාතිය විශාල ඔරු හදන්න තවත් කවුරුවත් ලංකාවේ ඉතුරු වෙනත් නැහැලු.
''ඒක නම් මාර කතාවක්...''
ක්‍රිස් තවත් පුදුමයට පත්වුණා. ඔරුවේ පැද්දී පැද්දී දෙතුන් දෙනත් එක්ක යන ගමන් තමයි මේ සාකච්ඡා සිදුකළේ. ඊට පස්සේ මෙයාලගේ දැල් දැල්වලට මාළු ටික දෙනෙකුත් හම්බවුණා. සමහර මාළුන්ව ආයෙම වතුරටත් දැම්මා.
ඊට පස්සේ ස්ටීව් ඔරුවෙන් වතුරට පැනලා මුහුද මැද්දෙ නාන්න ගත්තා. කට්ටිය මේක දැක්කම පුදුමත් වුණා. ඊට පස්සේ නාගෙන කරගෙන තමා ගොඩ ආවේ. මේ අත්දැකීම ගැන ඇමරිකන්කාරයෝ තුන්දෙනා පුදුම විදිහට සතුට වුණා.
I නිසල්