ඔන්න මේ දෙන්නා අපි දන්න කියන කපල් එකක්. පහුගිය දවස්වල මෙයාලා ලංකාව වටේ කරක්ගහන ගමන් කරපු කියපු දේවල් කතා කළා. ඔන්න මේ සැරේ දෙන්නම නුවර ඇවිල්ලා.
“නුවර කියන්නේ ලස්සන නගරයක්. මම හිතන්නේ ලංකාවේ දෙවැනි විශාලතම නගරය."
එහෙම කියන ගමන් අද මුලින්ම එළියට බැස්සේ සුදු නෝනා. ඊටපස්සේ ඒගොල්ලෝ පාරේ ඇවිද ඇවිද ඉස්සරහට ආවා.
“අද අපි තීරණය කළා බස් එකේ යන්න."
සුදු මහත්තයා එහෙම කියලා පාර අයිනේ ඇන්ටි කෙනෙක් හිටගෙන ඉන්න තැනකට වෙලා බස් එකක් එනකම් හිටගෙන හිටියා. පිඹගෙන ආපු බස් එකකට මෙයාලා අත දැම්මත්, ඒ බස් එක නෙවෙයි මේ දෙන්නව සත පහකටවත් ගණන් ගත්තේ.
“අයියෝ ඒ බස් එක නතර කළේ නෑ."
එහෙම කියලා වටපිට බලද්දි පාරේ හිටපු ඇන්ටි අනිත් පැත්තට පාර පැන්නා. ඇන්ටි එතැන ඉඳලා තියෙන්නේ පාර පනින්න බලාගෙන. මෙයාලා හිතුවේ එතැන බස් හෝල්ට් එකක් කියලා.
කොහොම හරි දෙන්නත් එක්ක බස් එකක් නතර කරන තැනක් හොයාගත්තා. ඊටපස්සේ එතැන හිටපු කට්ටියගෙනුත් අහලා බස් එකක් එනකම් බලාගෙන හිටියා. එක බස් එකක් ආයෙත් නතර කළේ නැහැ. මෙයාලට නතර කරන්නැති බස් ගැන කතාව නම් එච්චර තේරුම් ගන්න බැරි වුණා.
ඔන්න ආවා බස් එකක්. දෙන්නත් එක්ක නැගලා වාඩිවුණා.
“අර බලන්න.. අර බලන්න අරයගේ අතේ ටිකට් කඩන මැෂින් එකක් හයි කරලා."
අපේ කොන්දොස්තර මහත්තයව දැකලා මේගොල්ලෝ ටිකක් පුදුම වුණා.
“අපිට දෙන්න ශ්‍රී දළදා මාලිගාව ළඟට ටිකට් දෙකක්."
කොන්දොස්තර මහත්තයා ටිකට් එක මේගොල්ලන්ට දුන්නා.
“ගාණ කීයද කියලා බලන්න."
සුදු නෝනා එහෙම කිව්වම සුදු මහත්තයා ගාණ බැලුවා.
“දෙන්නටම රුපියල් හැටයි."
කිලෝමීටර් කිහිපයක් වුණත් රුපියල් 60ට අරගෙන යන එක ගැන මේ දෙන්නම පුදුම වුණා.
“මේ තමයි අපි යන අඩුවෙන්ම වියදම් කරපු බස් ගමන."
කොහොම වුණත් රුපියල් දහයට තිබුණු ටිකට් එක රුපියල් තිහ වෙච්ච හැටි දන්නේ අපිනෙ.
පොඩි දුරක් ගියත් බස් ගමන ඇතුළෙ මේ දෙන්නා සෑහෙන්න විනෝදයක් ලබන බව නම් පේන්න තිබුණා. ලංකාවේ බස්වල වැඩ සිද්ධවෙන විදිහ මේගොල්ලෝ ලෝකෙටම පැහැදිලි කළා. ඔක්කොමත් කරලා අවසාන බස් නැවතුමට ආවම ඔන්න දෙන්නත් එක්ක බැහැගත්තා.
“මේක නේද අවසාන නැවතුම?"
ඔහොම කට්ටියගෙන් අහන ගමන් තමයි මේගොල්ලො බැස්සේ.
“මේ පැත්තෙන් ද පන්සලට යන්නේ?"
කොන්දොස්තර මහත්තයගෙන් ඇහුවත් එයාගෙන් එච්චර හොඳ ප්‍රතිචාරයක් දැක්කේ නෑ. ඔලුව වනලා ඔව් කිව්වේ අහපු ප්‍රශ්නෙ තේරුණේ නැති නිසා වෙන්න ඕනෑ.
“මෙන්න අපි දෙන්නා ඇවිල්ලා තියෙන්නේ කැන්ඩි මාර්කට් එකට."
වැඩ වැරදිලා.. දෙන්නා පන්සලේ නෙවෙයි මාර්කට් එකේ.
“අපි එයාගෙන් ඇහුවා මේ පන්සලට යන පැත්තද කියලා, එයා ඔව් කිව්වා. අපි ආවා. ඒකත් හොඳට ගියා. මෙතැනත් නියමයි."
මාලිගාව පැත්තට යන්න ගිහිල්ලා පාර වරද්ද ගත්ත සුදු නෝනයි සුදු මහත්තයයි මාර්කට් එකේ හොඳ රවුමක් ගැහුවා.
විටක් කෑවා සුදු යාළුවා
පහුගිය දවස්වල ස්ටීව් එක්ක රුවල් ඔරුවේ ගියපු යාළුවා මතකද? ඔන්න මේ පාර කතාව ඒ යාළුවා ගැන. පහුගිය දවස්වල පැවැත්වුණු ත්‍රීවිල් තරගෙට සහභාගි වෙන්න තමයි මෙයාලා ලංකාවට ඇවිල්ලා හිටියෙ. කොහොම හරි තරගය අතරතුර කරක් ගහද්දි පාර අයිනේ මෙයාලා දැක්කා කඩයක්.
“හෝ හෝ පොඩ්ඩක් නතර කරන්න. අන්න අර කඩේ ලංකාවෙ කොඩි තියෙනවා."
මෙයත් එක්ක තවත් සුදු යාළුවෝ දෙන්නෙක්ම වැඩේට හවුල් වෙලා හිටියා.
“මෙතැන තියෙන පොඩි කොඩියක් කීයද?”
“රුපියල් සීයයි."
“එහෙනම් මට දෙකක්ම දෙන්න."
කොහොම හරි කඩේ අයියටත් ටිකක් ඉංග්‍රීසි අමාරුයි. ඒ වුණාට දෙන්නත් එක්ක කතාබහ කරලා කොඩි ගන්න ලෑස්ති වුණා.
කොහොම හරි අපේ යාළුවා කඩේ තියෙන දේවල් එකින් එක අල්ල අල්ලා එක එක ඒවා කියෙව්වා.
“ශ්‍රී ලංකාවේ බැට් බෝල්වලට කැමතියි. එයාලා ක්‍රිකට්වලටත් කැමතියි."
ඔහොම කිය කියා ඉන්නකොට තවත් එක කොඩියක් අපේ කඩේ අයියා යාළුවට විකිණුවා.
“මේ මොනවද මේ?"
“බුලත් විට"
“බූ.. ලා...තෝ වොට"
අපේ එක්කෙනා කියපු දේ අනිත් පැත්තට උච්චාරණය කළේ සුදු යාළුවා බොහොම අමාරුවෙන්.
“මේ වලින් මොනවද කරන්නේ?"
“මේවා කනවා"
“එකක් කීයද?”
“150 යි"
“මේක කන්නෙ කොහොමද?”
“හව් හම් ගාලා කාලා තූ කියලා විසි කරනවා."
“මට පොඩ්ඩක් කාලා පෙන්නන්න බැරිද?”
බේරෙන්න බැරිම තැන, අපේ කඩේ අයියා බුලත් විටක් ඔතාගෙන කන හැටි කරලාම පෙන්නුවා. දැන් ඉතින් සුදු යාළුවටත් මේක කරන්න ඕනෑ.
“දුම් කොළද?”
කියලා සුදු යාළුවා අහද්දි කඩේ අයියා නම් කිව්වේ
“ෆන් ෆන්" කියලා විතරයි.
“මට මේක කාලා ත්‍රීවිල් එක පැදගෙන යන්න පුළුවන්ද?”
“නෝ ප්‍රොබ්ලම්"
ඔන්න විටක් ඔතාගෙන සුදු යාළුවත් කටේ දාගත්තා. කටේ දාගත්තටත් වඩා අපේ කඩේ අයියා &ෆන් ෆන්* කිය කියා සුදු යාළුවගේ කටේ එබුවා.
දෙපාරයි තුන් පාරයි හැපුවේ, ඕග් ගාලා දැම්මෙ නැතැයි මේ හාදයා ඔක්කොම.
I නිසල්