2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

මේක මාෆියාවක් අපි අමාරුවේ වැටිලා - නීටා ප්‍රනාන්දු

 2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 118

Q සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කළ ස්වර (සප්තකය) සිනමා පටයේ නිෂ්පාදිකාව ඔබයි. මෙය වසර ගණනාවකට උඩදී රූගත කෙරුණු නිර්මාණයක්. එහෙම නේද?

ඔව්. සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කළ මමත්, මනෝහන් නානායක්කාරත් නිෂ්පාදනය කළ 'ස්වර' රූගත කිරීම් කළේ 2012 අවුරුද්දෙයි. සමාජයේ පවතින කාලීන ප්‍රශ්න ගැන සිනමා පටයකින් කතා කරන්න ඕනෑ කියලා මට හිතුණා. මෙය ඒඩ්ස් රෝගය තේමාවුණු නිර්මාණයක්. චිත්‍රපටයෙන් මනුෂ්‍යත්වය පිළිබඳ ප්‍රබල පණිවිඩයක් දෙනවා වගේම බලාපොරොත්තුව සහ ප්‍රශ්නවලට මුහුණදීමේ හැකියාව පිළිබඳ තේමාවන් ඉස්මතු කරනවා. මෙය සමාජ සත්කාරයක් ලෙසින් හිතුණු නිසා අපි මේ නිර්මාණයට එකතු වුණා.

Q 2012 අවුරුද්දේ රූගත කෙරුණු 'ස්වර' සිනමා පටය 2023 දී තිරගත කරන්න වසර දහයකට වැඩි කාලයක් ගතවෙලා තියෙනවා. නිර්මාණය තිරගත කරන්න මේ තරම් කාලයක් ගතවීමට බලපෑ හේතු මොනවාද?

මෙම චිත්‍රපටය අපි ඉතා අමාරුවෙන් රූගත කිරීම් කළා. ඒ කාලය චිත්‍රපට පෝලිම් තිබුණු, චිත්‍රපට කර්මාන්තය විශාල අර්බුදයකට මුහුණ දීපු කාලයක්. ඔය අතරේ කොවිඩ් වසංගතය ආවා. විවිධ ගැටුම් රට පුරා පැවතුණා. චිත්‍රපටයක් නිදහස් කරන්න ආර්ථිකයත් යහපත් වෙන්න ඕනෑ. ඒ බොහෝ ගැටලු මේ චිත්‍රපටය තිරගත වෙන්න තදින්ම බලපෑවා. 'ස්වර' ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල ඉහළ පිළිගැනීමක් ලබාගත් නමුත් විවිධ පසුබෑම් හේතුවෙන් දේශීය ප්‍රදර්ශනයට එක්වීම ප්‍රමාද වුණා.

Q යොලන්ඩා වීරසිංහ ලියූ ස්වර පිටපත සඳහා දායකත්වය ලබා දුන් නළු නිළියන් කවුද?

සංජය චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයායි. මෙම චිත්‍රපටය සඳහා නළු නිළියන් තෝරාගනිද්දි සංජය නිර්මාල්ගේ අදහසට අනුව අපි නළු නිළියන් තෝරාගත්තා. ඒ අනුව සිනමා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත් දක්ෂ නළු නිළියන් රාශියක් මෙම චිත්‍රපටයට දායක වුණා. දමිතා අබේරත්න, සචිනි අයේන්ද්‍රා, ඩබ්ලිව්. ජයසිරි, අනූෂා රාජපක්ෂ, දිලුනි මල්ලවාරච්චි, ධනූ සින්නතම්බි ඇතුළු නළු නිළියන් මෙම චිත්‍රපටයට දායක වුණා. 

Q 'ස්වර' කතා තේමාව ගැන කතා කළොත්?

මෙය 'නර්මදා' නම් කාන්තාව වටා ගෙතුණු කතාවක්. ඇය වෘත්තීය සංගීතඥවරියක්. ඇයට කරන ලද රුධිර පරීක්ෂණයකින් ඇය එච්.අයි.වී. ආසාධිතයකු බව දැනගන්නවා. එතැන් සිට ඇය ජීවිතේ විශාල වෙනස්කම් රාශියකට මුහුණ දෙනවා. නර්මදාට ඒඩ්ස් බව ප්‍රසිද්ධියේ හෙළි කිරීමත් සමඟ ඇයව නිවසින් පිටමං කරනවා. එය ඇයගේ වෘත්තීය ජීවිතයට පමණක් නොව, ඇයගේ දියණියගේ ජීවිතයටත් විශාල තර්ජනයක් වෙනවා. නමුත් ඔවුන් එච්.අයි.වී. ආසාදිතයන් වෙනුවෙන් සටන් කරන්න තීරණය කරනවා. ඒ ගැන ගෙතුණු කතාවක් ලෙසින් ස්වර හඳුන්වන්න පුළුවන්. මෙය සමාජ සත්කාරයක්. රාජ්‍ය මට්ටමින් ලබා දිය යුතු පණිවිඩයක්. මේ සඳහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය සහ ඒඩ්ස් මර්දන වැඩසටහන සහයෝගය ලබා දුන්නා. ඒ අනුව 'ස්වර' සිනමා පටය ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව දෙසැම්බර් මස පළවැනිදා තිරගත වුණා. රාජ්‍ය අනුග්‍රහයෙන් කළ යුතු දෙයක් කුඩා කණ්ඩායමක් විදිහට අපි එකතුවෙලා කරලා තියෙනවා කියලා චිත්‍රපටය නැරඹූ බොහෝ දෙනෙක් පැවසුවා. ඒ ගැන මට ලොකු සතුටක් දැනෙනවා. මගෙන් විය යුතු යම්කිසි සමාජ සත්කාරයක් මා විසින් කරලා තියෙනවා කියලා දැනෙනවා. මුදල්වලට වඩා එයින් හිතට ලැබෙන සතුට මට ලොකු හයියක්.

Q ඔබ ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ නිෂ්පාදිකාවක්. 'ස්වර' නිෂ්පාදිකාවත් ඔබයි. ඉදිරියේදි තවත් නිර්මාණවලට නිෂ්පාදිකාවක් ලෙසින් අත ගහයිද?

ඒ ගැන හිතන්න අමාරුයි. ස්වර චිත්‍රපටයෙන් අපිට ආදායමක් ලැබෙන්නෙ නැහැ. එය සමාජ සත්කාරයක් කියලා හිත හදාගන්න සිදුවේවි. ඒ නිසා දැනට නිෂ්පාදිකාවක් ලෙසින් තවත් නිර්මාණයකට අත ගහන්න කල්පනා කරලා නැහැ.

Q නිෂ්පාදිකාවක් ලෙසින් ඔබ ඉන්නෙ කලකිරීමෙන්ද?

ඇත්ත වශයෙන්ම ඔව්. එහෙම කලකිරීමක් තියෙනවා. කර්මාන්තයක් ලෙසින් මෙය අද කඩා වැටිලා තියෙන්නෙ. රජයෙන්වත් චිත්‍රපට සංස්ථාවෙන්වත් නිසි ප්‍රමිතියක් දෙන්නෙ නැහැ. එකිනෙකාට ඕනෑ විදිහට අද මේ කර්මාන්තය නටවනවා. මේක ඇත්තටම මාෆියාවක්. අපි වගේ අහිංසක නිර්මාණකරුවන් අද අමාරුවේ වැටිලා. එක දවසකට චිත්‍රපට හතරක් තිරගත වෙනවා. 'ස්වර' බලන්න යන සිනමා ලෝලීන්ට අද ඒ චිත්‍රපට ශාලාවේම ඒ වෙලාවට වෙනස් චිත්‍රපටයක් බලන්න සිදුවෙලා තියෙනවා. කිසිම දැනුම්දීමකින් තොරව ඇතැම් සිනමා ශාලා හිමියන් ඒ අයගේ හිතුමතේට චිත්‍රපට ප්‍රදර්ශනය කරනවා. ඇත්තටම කලකිරීමක් ඇතිවුණාට පස්සේ කුමන ලෙසින්වත් සිනමාවට අත දෙන්න අමාරුයි. නිෂ්පාදකයන් නැත්නම් චිත්‍රපට කරන්නෙ කොහොමද? කලාකරුවන් කලාකාරියන් කොයි තරම් දක්ෂ වුණත් චිත්‍රපටයක් හදන්න නිෂ්පාදකවරුන් අවශ්‍යයි. ඔවුන්ව ආරක්ෂා කරන්න බැරි නම් සිනමාව පමණක් නෙවෙයි, ඕනෑම කර්මාන්තයක් ඇද වැටෙනවා. ඒ නිසා රජය සහ චිත්‍රපට සංස්ථාව එක්වෙලා නිසි නීතිරීති මාලාවකට අනුව මෙය පාලනය කළ යුතු වෙනවා. ඇත්තටම මෙය මාෆියාවක්.

Q කාලයක් ඔබ හිටියේ කැනඩාවේ. මේ කලකිරීමත් එක්ක නැවත විදෙස්ගත වෙයිද?

නැහැ. මේ කලකිරීමත් එක්ක මම ලංකාව දාලා වෙන රටකට යන්නෙ නැහැ. මට සිනමා ප්‍රදර්ශනය සම්බන්ධවයි කලකිරිලා ඉන්නෙ. නිෂ්පාදකයන්ට මේ කරන දේ නිසා කලකිරුණාට ලංකාව ගැන මගේ කලකිරීමක් නැහැ. අපිව අගය කරන්නෙ නැත්නම්, අපිට වටිනාකමක් නැත්නම් හොඳම දේ එතැනින් අයින් වීම පමණයි ඒ නිසා කවදාවත් සිනමාව ගැන කලකිරීමෙන් රට හැර යන්නෙ නැහැ. මම මේ රටට හරි ආදරෙයි.

I දිශානි