අද පොඩ්ඩක් වෙනස් Y Trend එකක් ගැන සුදාලා එක්ක චැටක් දන්න හිතුවා. රියැලිටි තරු හීන Trend එකක් ගැන තමා මේ කතාව. මචංලා දන්නවා සෑහෙන්න කාලෙක ඉඳලා. ලංකාවෙත් Star Competition තියෙනවා ඕසේට. ලෝකෙත් තත්ත්වය මේකම තමා. ඉතින් මේ සීන් කෝන් එක නිසා අමුතු උමතු Trend ගොඩක් ලෝකය පුරා නිර්මාණය වෙලා තියෙනවා. සුදාලට දැන කියාගන්නත් එක්ක අපි ඒ ගැන කතා කරන්න හිතුවා.
සුදාලා දන්නවා සාමාන්‍යයෙන් දවසකට සෑහෙන්න ලොතරැයි අලෙවි වෙනවා. ඒත් පළමු දිනුම ලේසියෙන් කෙනෙක්ට ලැබෙන්නෙ නැහැ. අන්න ඒ වගේ තමා මේ රියැලිටි තරගත්. බලාපොරොත්තු නම් ගොඩයි. ඒත් මචෝ ඇත්තටම මේ බලාපොරොත්තු ඉටුවෙන්නේ ඉතාම සීමිත පිරිසකගේ. හැබැයි ඒ බලාපොරොත්තු ටික ලොකු බිස්නස් එකකට පාවිච්චි වෙනවා.
අපේ සුදාලට කියන්න මේ Trend නිර්මාණය වෙලා තියෙන්නේ මේ Reality Show කියන බිස්නස් එක වෙනුවෙන්මයි. Competition-based reality shows මේ වෙනකොට ලෝකේ ඉහළම ආදායමක් ලබන රෑපවාහිනී වැඩසටහන් විශේෂයක්. මේ වැඩසටහන් වෙනුවෙන් 'මොඩ්ස්' පවා හදලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නේ ගායන තරග ගැන විතරයි. ඒත් මචෝ මේ වෙනකොට ලෝකේ ඉහුම් පිහුම් කලාවේ ඉඳලා කම්මල් කර්මාන්තය දක්වාම Competition-based reality shows පැවැත්වෙනවා.
අපි හැමෝම දන්න සාමාන්‍ය Reality Show ආකෘතිය තමයි, විශාල පිරිසක් තරග කරනවා. අවසානයේ විනිශ්චය මණ්ඩලය හෝ නරඹන්නන්ගේ කැමැත්ත අනුව එක එක්කෙනා තරගයෙන් ඉවත් කරනවා. කොහොම වුණත් මචෝ මේක අදක ඊයෙක පටන් ගත්ත දෙයක් නම් නෙවෙයි. ඒ කාලේ රෝමයේ මිනිස්සුන්ව එකිනෙකාට විරුද්ධව සටන් කරන්න දාපු සංදර්ශනවල ඉඳලා, මෑත කාලේ රෑපවාහිනී ගුවන්විදුලි ගායන තරු තෝරාගන්න තරග දක්වාම ලොකු ඉතිහාසයක් මේ සීන් එකට තියෙනවා.
දැන් ලංකාව පැත්තට හැරුණොත් විශේෂයෙන්ම ගායන තරගවල සිහින කුමරා කුමරිය වෙන්න ගොඩක් හීන දකින බව අපිට පේන්න තියෙනවා. ඒක පට්ට Trend එකක්. සමහරුන්ට රෑපවාහිනී මාධ්‍යවල පෙනී ඉඳලා ගීතයක් කිව්වත් ඇති. තරග දිනන්නත් ඕනෑ නැහැ. ඒ කියන්නේ මචෝ එච්චරටම මේ සීන් එක අපේ තරුණ පරම්පරාවට පත්තියන් වෙලා තියෙන්නෙ.
එහෙම වෙන්න ලොකු හේතුවක් තමා මේ තරගාවලි අතර පවතින තරගය. විවිධ රෑපවාහිනී නාලිකා, විවිධ Reality වැඩසටහන් ඉදිරිපත් කරන අතරේ, “අපි තමා හොඳටම කරන්නේ", “අපේ එක තමයි විශාලම පිරිසක් නරඹන්නේ" කියලා කියාගන්න උත්සාහ දරනවා. අද වෙනකොට විනිශ්චය මණ්ඩල අතරත්, තරගාවලියෙන් තරගාවලියට තරගකරුවන් අතරත් අමුතුම ජාතියේ තරගයක් නිර්මාණය වෙලා තියෙනවා කියලා පේනවා.
කොහොම වුණත් මචෝ මේක රියැලිටිය ඇතුළේ තියෙන එකක් නෙවෙයි. පිටතින් තියෙන දෙයක්. සුදාලට කියන්න එක වෙලාවකට මේ සීන් කෝන් එක දිහා බලද්දි තේරෙනවා මේ සියල්ලම reality නෙවෙයි Fake කියලා. ප්‍රේක්ෂක ආකර්ෂණය ගන්න ගොඩක් වෙලාවට මෙයාලා කරන්නේ විකාරරෑපී බොරු දේවල්.
අනෙක් පැත්තට ගත්තාම මේ සීන් කෝන් එක නිසා ප්‍රේක්ෂකාගාරය ඇතුළෙත් Trend නිර්මාණය වෙලා තියෙනවා. හොඳම ෂෝ එක මොකක්ද කියලා තර්ක කරන ප්‍රේක්ෂකයෝ ඕනෑ තරම් දැන් දැකගන්න පුළුවන්. ඒ වගේම එයාලා අතරත් පිල් බෙදීම් තියෙනවා. මේ සීන් එක ඇත්තටම ලංකාවේ විතරක් තියෙන තත්ත්වයක් නෙවෙයි. මේක ලෝකෙ පුරා ගොඩක් රටවල්වල දැකගන්න පුළුවන් තත්ත්වයක්.
මේ වෙනකොට මේ වැඩසටහන් පාදක කරගෙන චිත්‍රපට පවා නිර්මාණය වෙනවා. සාමාන්‍යයෙන් රෑපවාහිනී නාලිකාවල විතරක් නෙවෙයි, Netflix වල පවා මේ වැඩසටහන් විකාශය වෙනවා. මේ වැඩසටහන් ආකෘතියේ භයානක බව පිළිබඳව කතාන්දරත් ඕනෑ තරම් තියෙනවා. මේ හා සම්බන්ධ ජීවිත අනතුරු, සියදිවි නසා ගැනීම්, අපරාධාත්මක ස්වරෑපයක් ගත් වැඩසටහන්, අඳුරු වෙබ්අඩවි ආදිය පිළිබඳ කතාන්දරත් ඕනෑ තරම් සුදාලට අන්තර්ජාලය ඇතුළෙන් හොයාගන්න පුළුවන්.
මචංලට මතක නම් පහුගිය කාලෙ ලංකාවෙත් ඔය වගේ සිදුවීම් වාර්තා වුණා. ළමයින් සම්බන්ධ රියැලිටි වැඩසටහනක සිද්ධවුණු අපචාර ගැන ලොකු කතාබහකුත් නිර්මාණය වුණා. ඒ වගේම සමහරක් වැඩසටහන් අවසානයේ තරගකරුවන් එළියට ඇවිල්ලා ඒවා ඇතුළේ තියෙන කුණු කන්දල් ටික එළියට දැම්මා. ඒ වුණත් කිසි වෙලාවක මේ වැඩසටහන් නම් නතර වුණේ නැහැ.
අපේ රටේ විතරක් නෙවෙයි මචෝ, ලෝකෙ අනිත් රටවලත් මෙහෙම සීන් සිද්ධ වෙනවා. ඒත් මේ වැඩසටහන් ආකෘතිය ලොකු ධනයක් වගේම බලයක් නිර්මාණය කරලා තියෙන නිසා ගොඩක් වෙලාවට වැරදිකරුවන් කොටු කර ගන්න අවස්ථාවක් නැහැ.
නරක පැත්තක් විතරක් නෙවෙයි, හොඳ පැත්තකුත් මේ වැඩසටහන් ආකෘතියේ තියෙන බව කියන්න ඕනෑ. ලේසියෙන් අවස්ථාවක් නොලැබෙන දක්ෂයන්ට ඉදිරියට එන්න මේ ආකෘතිය ඇතුළේ අවස්ථාවක් ලැබෙනවා. ලංකාවේ නම් මේක ගොඩක් වෙලාවට ගායන ඇතුළු සීමිත ක්ෂේත්‍ර කිහිපයකට සීමා වුණත්, ලෝකෙ තත්ත්වය ඊට වඩා වෙනස්.
විවිධාකාර Competition-based reality shows ලෝකය පුරා දැකගන්න පුළුවන්. ගොවිතැන, ගෙවතු වගා, කායික ශක්තිය, ව්‍යාපාර, ගොඩනැගීම්, ඉවුම් පිහුම්, මාර්ග සොයාගැනීම්, අන්තර්ජාල පරිහරණය ආදී විවිධ ක්ෂේත්‍රවලට අදාළව Reality දැකගන්න පුළුවන්. ඇත්තටම මේ වගේ ක්ෂේත්‍ර උදෙසා මේ වගේ ජනප්‍රිය වැඩසටහන් සංවිධානය වීම ඒ ක්ෂේත්‍රවල දියුණුවටත් හේතු වෙනවා.
“පිටරටවල එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. මෙහෙ මචංලා ආතල් මිස වැදගත්කම සලකන්නේ නෑ."
ඉතින් මචෝ මේ ජනප්‍රිය Trend එක හොඳ විදියට භාවිත කරන්න කියන ඉල්ලීම තමා අවසානයේ අපිට කියන්න තියෙන්නෙ. නැත්නම් මේ වැඩසටහන් හරහා දිනෙන් දින සිද්ධවෙන අයහපත් බලපෑම් වැඩි වෙන්න පුළුවන්.
I චමිඳු නිසල්