2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

ප්‍රේමයෙන් තොර ලෝකයක් නැත ඔබ සැමට ප්‍රේමණීය නත්තලක්!

 2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 44

අකුරු වැඩියෙන්ම ලියූ පරිච්ඡේදත්, හිස් පිටුත් ජීවිතයේ පොත නැවත පෙරළද්දී මට හමුවෙයි. ඒ හිස් පිටු එහෙමම තිබියදෙන්. ජීවිතයේ බලා හිඳි තැන්, දරා උන් තැන් සහ අත්හැර දැමූ තැන් ද ඒ පිටු කියවද්දී හමුවේ. එහෙත් ඒ සියලු තැන්හි සියුම්ව ඉසියුම්ව හෝ කෙසේ හෝ නොවැරදීම තැවරී ඇත්තේ ප්‍රේමයයි. ප්‍රේමය ප්‍රේමය ලෙසින්ම හමුවුවත්, නොවුණත් ප්‍රේමයක් නොරැඳි තැනක් ජීවිතයේ හමුවී ද නොදනිමි. සනසන, සැනසෙන, රිදවන, රිදවෙන සියලු තැන්හි ප්‍රේමයම මිස කිසිවක්ම නොවූ වග දැනේ. දෙවියන් වහන්සේ ද ප්‍රේමය ගැන තරම් මේ ලෝකයේ අන් කිසිවක්ම ගැන කිවේදැයි සිතේ. එය වරෙක මහ ගසකි. මහ පොළොව නම් සංසාරයට ප්‍රේමය නම් ඒ ගසේ මුදුන් මුලේ සිට සියලු මුල් කොතෙක් නම් ගැඹුරකට විහිදී පැතිරී ඇත්දැයි දැනගන්න විදිහක් නැත. සංසාර ගමන් මඟ යා යුතු දුර සේම ආ දුර ද නොදන්නාම කතාන්දරයකි. දන්න එකම දේ ඒ ගමනේ දී ආ ගිය නැවතුණු තැන් සේම හමුවූ මඟහැරුණු මිනිසුන් ද බොහෝ වග පමණි. ඉතුරු කර ගිය මතක සටහන් මහ කන්දක් වග පමණි. ඒ මතක මහ කන්ද පාමුල තනිවෙන්නට අවැසි තැන් සේම තනි වී සිනාසෙන්නට මෙන්ම හඬන්නට අවැසි තැන් ද බොහෝ වර හමුවේ.  

ඒ මහ කන්ද පාමුල නැවතී ගිමන් හරිද්දී බොහෝ මතකයන් හිත අද්දරට සපැමිණේ. කීවා සේම පෙර දී ප්‍රේමය ගසක්මය. එය අන් කිසිවකුත් නොවී ප්‍රේමයම වූ කල්හි මහ ගසක්මය. සංසාර මහ පොළොවක තදින් මුල් ඇද බදාගත් කල්හි කල්ප චාරිකාව පුරා මුලකින් මුලකට නොගැලවෙන මහ ගසකි. දළුලන දල්ලක් ගාණේ ඉපදෙන ළපල්ලක් ගාණේ පූදින පොහොට්ටුවක් ගාණේ සුපිපෙන මලක් ගාණේ ඒ මල දරා හිඳින නටු අතු රිකිලි ගාණේ සරසන ඵලයක් ගාණේ ඒ ගස ප්‍රේමයේ මහ ගසකි. ජීවිතයක් වෙනුවෙන් නවාතැනකි. නොඉල්ලමින් කිසිවක්ම නොඉල්ලමින් ප්‍රේමය මිස කිසිවක්ම ඒ ගස පුරන්නේ ප්‍රේමයේ පාරමිතාවකි. 

සීතල දෙසැම්බරය මේ මහ කන්ද පාමුල දී ඒ මහ ගසක් ගැන මතකය පාමුලට මා කැටුව යයි. දෙවියන් වහන්සේ ප්‍රේමයට තරම් කිසිවකට පෙම් නොකළේ යැයි මට සිතේ. කුරුසියේ ඇණ ගසන්නට කල්වාරි කන්ද වෙත රුගෙන යද්දී උන්වහන්සේ සනහන්නට වතුර පොල් කටුවක් රැගෙන ආ මද්දලාවේ මරියාගේ සිට ප්‍රේමය මුණගැසුණු තැන් උන්වහන්සේගේ ජීවිතයේත් අප්‍රමාණ වන්නට ඇත. සියල්ලට වඩා ප්‍රේමය ශ්‍රේෂ්ඨ බව දේව සමිදාණන් කීවේ ප්‍රේමය තරම් සිත සුවපත් කරන, සනසන, නිවාලන තැනක් ජීවිතේ හමු නොවුණු නිසාමය. එහෙයින් ප්‍රේමයෙන් තොර ලෝකයක්, ප්‍රේමයෙන් තොර ජීවිතයක් සහ ප්‍රේමයෙන් තොර ප්‍රේමයක් කොහේ නම්, කොතැනක දී නම් හමුවන්නේ දැයි නොදනිමි. 

පිනි බින්දුවකට වැඩියෙන් වහින වැස්සක බරුතිම වැහි බින්දුවට වැඩියෙන් කඳුළ බෝ සේ බර වග කියා දුන්නේ ද ප්‍රේමයමය. එහි උපත හදවතේ සියලු ලේ නහර කරා දිව යයි. එය උපදින්නේම දැනෙන හැඟීමක් විනිවිද ළය ලෙය පාමුලින්මය. ප්‍රේමය කඳුළකට මං සදන'යුරු කියා දුන්නේ ද ප්‍රේමයමය. එනයින් ප්‍රේමය සිනහව ගැන සේම කඳුළ ගැන ද බොහෝ දේ කියා දී තිබේ. දේව සමිදාණන් කී පරිදි ප්‍රේමයෙන් විතැන් වූ යමක් ලොව ඇත්දැයි මම නොදනිමි. සංසාරය භවයෙන් භවයට ගැටගසන අන් හැඟීමක් මිනිස් චිත්ත සන්තානයේ තවත් ඇත්දැයි මම නොදනිමි. ඔව් ප්‍රේමය මිසක සංසාර බන්ධන නොබිඳෙන්නට තනන තවත් හැඟීමක් ලොව ඇත්දැයි මම නොදනිමි. එහෙයින්ම ප්‍රේමය ප්‍රේමයම මිස අන් නමක් නැති වග ද දනිමි. 

දෙවියන් වහන්සේ ප්‍රේමය ගැන බොහෝ දේ කියා දී ප්‍රේමය නිසාම ජීවිතය කුරුසියකට පූජා කළේය. සැබැවින්ම තමාටත් වඩා අන් අයට ප්‍රේම කළ හැකි වග සාක්ෂි ඉතිරි කර තබා කියා දෙන්නට උන්වහන්සේට හැකි විය. උන්වහන්සේ ප්‍රේමයට ප්‍රේම කරමින් ප්‍රේමය නිසාම ජීවිතය ද අවසානයේ අත්හැරීය. උන්වහන්සේ පරිදි ජීවිතය අත්හරින්නට අවැසි නැතත් ප්‍රේමය ජීවිතයම බවට පරිවර්තනය කරගත හැකි නම් රිදුම් නැති ප්‍රේමයක් සංසාර භව සැරිය සරා ඔබටත් මටත් මුණගැසෙනු ඇත. 

රිදුම් නැති තැන කොතෙක් සොඳුරුදැයි ඔබ දන්නවා ඇත. නොරිදවා පිරිමදින සිත් ඇති තැන ප්‍රේමයේ ඉසියුම්ම රේඛාවන් විහිදී ඇත. ඉදින් ප්‍රේමය තරම් තවත් ඉසුරක් ලොව පවතීදැයි යන්න හිතන්න යැයි ඔබට කියන්නට මට සිතේ. සැබැවින්ම ප්‍රේමය තරම් සුවයක් මේ මිහිමත තවත් නැත. දේව සමිදාණන් සදාකාලිකව පවතින ධර්මයක් දවටා ඇත්තේ ඒ ප්‍රේමය තුළය. මානවයා මේ විශ්වයේ සමාරම්භය සනිටුහන් කළ පළමු තත්ත්පරයේ සිට හුස්මට දෙවැනි වූ යමක් ඇත්නම් ඒ ප්‍රේමය යැයි මට සිතේ. සියල්ල ඉරි කෑල්ලකින්, බැල්මකින්, සිතුවමකින් සන්නිවේදනය වූවා නම් ඒ සන්නිවේදනය වූයේ ප්‍රේමය තුළ මිස අන් කිසිවක් තුළ නොවේ. වේදනා, කලකිරීම්, පසුතැවීම්, පලිගැනීම්, අත්හැරීම් සියල්ල උපදවන්නට පාදකය සකස් කළේ ප්‍රේමය තුළ ඇති අල්ලාගැනීම සහ තෘෂ්ණාව විසින්මය. එහෙයින් ඕෂෝ කී පරිදි නෙලා නොගෙන දුරින් තබා යමකට පෙම් කළ හැකි නම් ප්‍රේමය කිසිදා ප්‍රේමයම මිස අන් කිසිවක්ම නොවනු ඇත. දෙවියන් වහන්සේ කී මනෝරම්‍ය වූ ශ්‍රේෂ්ඨ මනෝභාවය එවන් ඉසව්වකදී සුපිරිසිදු දියවරක් සේ ඔබ අභිමුව දිස්වනු ඇත. මගේ සහ මගේම යන සිතුවිල්ල මත ප්‍රේමය උපදින තැන වඩාත් වේදනාකාරී වන්නේ අල්ලා ගැනීම් තුළ උපදින තෘෂ්ණාව ප්‍රේමයේ සොඳුරුතම වර්ණ සහ සොඳුරුතම සේයාවන් ප්‍රේමය තුළින් සියුම් ඉසියුම් ලෙස උදුරා දමන හෙයින්මය. එහෙයින්ම ප්‍රේමය ප්‍රේමයම මිස කිසිදා කිසිවක්ම නොවිය යුතුය.

ප්‍රේමය ප්‍රේමය වෙසින්ම, ප්‍රේමය ප්‍රේමය වෙසෙසින්ම මුණගැසෙන සුබ නත්තලක් වේවා!

ප්‍රේමණීය නත්තලක් වේවා!

I සංජු