2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

සුද්දෝ නටන හනුමා වන්නම

 2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 76

ඔන්න පහුගිය කාලේ අපි නිතර නිතර කතා කරපු අවුරුදු දහයේ හනිමූන් කපල් එක ත්‍රීවිල් තරග ඉවර කරන්න ලෑස්ති වුණා. ඇබැද්දි ගොඩකට මුහුණපාලා හොඳ විනෝදයක් අරගත්තු මේ දෙන්නා තරගයේ අන්තිම දවසේ හිටියේ කලබලෙන්.

''අද අපිට මුලුමනින්ම කරන්න තියෙන්නෙ බීච් එක පිරිසිදු කරන එක.''

ඔන්න දෙන්නා බීච් එකට ගිහින් වැඩ ඇල්ලුවා. හැමදේම බාගෙට කළේ, හදිස්සිය. බීච් එකේ නිදාගෙනත් පින්තූරයක් ගහගත්තා.

''අපිට ලංකාවේ විදිහට නටන්න තියෙනවා...''
''මේ චැලෙන්ජ් එක හනුමා ඩාන්ස් එක දාන්න...''

කොහොමත් මේ දෙන්නා නර්තනය විනෝදාංශය කරගත්ත දෙන්නෙක්නෙ. හනුමා වන්නමේ තාලේට දැම්මා පොඩි නැටුමක්. හරියට ඉගෙන ගත්තා නම් මේ දෙන්නට අපේ සාම්ප්‍රදායික නර්තනය ඉගෙන ගන්න අපහසු නැහැ.
ඊටපස්සේ දෙන්නා ගියා ඔන්න ලංකාවේ වැඩකරන මිනිස්සුන්ට උදව් කරන්න.

''අපිට හම්බවුණා වැලි හලන අයව...''

මෙහෙම කියලා රොන් වැලි හලන්න පටන් ගත්තා පාර අයිනේ වැඩපොළක.

''මේ වැලි මොකටද? ඇයි මෙහෙම හලන්නෙ...?''

මෙයාලාගෙන් ප්‍රශ්න කෝටියයි. ඒත් අපේ වැඩපොළේ අයියලාට මේ ප්‍රශ්න සම්පූර්ණයෙන් තේරුම් ගන්න බැරිවුණා. පුළුවන් විදිහට උත්තර දුන්නා.

''මේ හතරදෙනා වැලි ටිපර් දහයක් දොළහක් දවසට හලනවා. මෙයාලා පුදුම ශක්තිමත් මිනිස්සු...''

අවසානෙ තේරුම් ගත්ත දේ එයාලා ලෝකෙට කිව්වා.

ඔන්න දෙන්නා පොඩි කඩේකට ගිහිල්ලා ඉඳිආප්ප පාරක් දැම්මා. පොල් සම්බෝල පරිප්පු වගේ අපේ දේවල් එක්ක. අපේ විදිහටම.

ත්‍රීවීල් එක සුද්ධ පවිත්‍ර කරලා අවසාන තරගෙට දාන්න ඕනෑ නිසා මෙයාලා ගියා ඒ වැඩේ කරගන්න පුළුවන් හැමතැනම. වයිෆ් වීල් එක ළඟ තියලා හස්බන්ඩ් ගියා රුවුල කොණ්ඩේ කපාගෙන එන්න.

''මම ගියා කොණ්ඩේ රුවුල් කපන්න. එතැනින්ම දැම්මා ඔළුවට සුපිරි මසාජ් එකක්...''

ඔළුවට සනීප තෙල් ජාතියක් දාලා අපේ බාබර් අයියා සුපිරි මසාජ් එකක් දාලා. ඒක රොන්ට පුදුම විදිහට හිතට අල්ලලා.

වයිෆ් ඔළුව ඉඹලත් බැලුවා.

''මට නම් ඊරිසියයි...''

මේ වගේ අමුතු අත්දැකීම් ගොඩක් එක්ක තරග අවසානයට මෙයාලා ලංවුණා. ඇත්තටම ඒක අපූරු අවසානයක්.

ඒ ගැන කතාව ඉදිරි සතියක.

මඤ්ඤොක්කා බයිට් පැකට් එකක් දී කෙසෙල් ගෙඩියක් ඉල්ලූ සුද්දා

මෙයත් ටිකක් අමුතු ජාතියේ කෙනෙක්. පහුගිය සතියේ තමයි ලංකාව ගැන වීඩියෝස් දාන්න පටන් ගත්තෙ. ඔන්න මෙයා කොළඹ හරස් වීදිවල කරක් ගහන්න පටන් ගත්ත දවසක්.

''තැඹිලි ගෙඩියක් කීයද?''
''එකසිය පනහයි...''

ගමන පටන් ගත්තේ තැඹිලි ගෙඩියකට ස්ට්‍රෝ එකක් දාගෙන බිබී යන ගමන්.

''මේක නියම රහයි. රිප්‍රෙෂ් වෙනවා...''

ඔන්න තැඹිලි ගෙඩිය බීලා එහෙම කාරිය මෙයා රස්තියාදුව පටන් ගත්තා. කොෆි ෂොප් එකකට යන්න, කෑම කඩේකින් කෑම කන්න තමා මෙයාගේ ප්ලෑන් එක. ඒත් කොලුව ගියේ වැරුදි පැත්තට. කොළඹ කොටුවේ එක එක ජාතියේ බඩු තියෙන හරස් වීදිවල මෙයා ඇවිදින්න පටන් ගත්තා.

''මේ මොනවද මේ?''

බයිට් කරත්තයක් ළඟ හිටපු දමිල අම්මලා කිහිපදෙනෙක්ගෙන් මෙයා ඇහුව ප්‍රශ්නයක්. 

දැන් බැදපු මඤ්ඤොක්කා පෙති කන්න තමා මෙයාට ඕනෑවෙලා තියෙන්නේ. මෙයා ප්‍රශ්න අහනවා අපේ කට්ටිය මඤ්ඤොක්කා කියලා කියනවා. දෙගොල්ලන්ටම තේරෙන්නේ නැහැ.

''මේවා කීයද? මේවා පැණි රසද?''

එහෙම අහනකොට ළඟ හිටපු කෙනෙක් තේරුම් බේරුම් කරලා දුන්නා කඩේ අයට.

ඊටපස්සේ මෙයාට හම්බවුණා එක මඤ්ඤොක්කා පෙත්තක්. තප් තප් ගාලා ඒක කාලා මෙයා කියනවා ඒකට එයා කැමතියිලු. ඊටපස්සේ මේක කකා මෙයා ඇවිදින්න පටන් ගත්තා. ඒකෙ රස ගුණ කියන ගමන් ඉස්සරහට යනකොට කොහෙට හරි අරගෙන යන කෙසෙල් කැන් පුරවපු ත්‍රීවීල් එකක් හම්බවුණා.

''මම ඔයාලාට මේ පැකට් එක දෙන්නම් මට කෙසෙල් ගෙඩියක් දෙනවද?''

පුංචි හුවමාරුවක් දාගන්න තමයි දැන් අපේ යාළුවාගේ උත්සාහය. ඒත් ඔන්න ආයෙම සන්නිවේදන දුර්වලතා ඉස්සර වුණා. කොහොම වුණත් වැඩකට ගෙනියන කෙසෙල් කැන්වලින් ගෙඩියක් සුද්දට දෙන්න අපේ අය කැමති වුණේ නැහැ. බයවෙලා වගේ මෙයා දිහා බලාගෙන හිටියා.

අන්තිමට යාළුවා වැඩේ අතහැරලා ඉස්සරහට යන්න හදද්දීම එහා පැත්තේ හිටපු නාට්ටාමි මහත්තයෙක් අත වැනුවා.

''ඔයාට මේක ඕනද? ඔක්කොම ගන්න මට ඇති...''

එහෙම කියලා අපේ යාළුවා නාට්ටාමි මහත්තයට දුන්නා එයාගේ මඤ්ඤොක්කා මල්ල.

''පිටකොටුවේ හොඳ කෑම කඩ තියෙන්නේ කොහෙද?''

අතරමඟදී හම්බවුණු පොඩි කොල්ලො දෙන්නෙක්ගෙන් මෙයා එහෙම ඇහුවා. දෙන්න වම් පැත්තට යන්න කියලා තමා කිව්වේ.

ඒත් අපේ යාළුවා වැඩ වරද්ද ගත්තා. එහෙ මෙහේ අස්සේ පාරවල්වල කැරකිලා කඩයක් හොයාගන්න බැරුව අනාථ වුණා. අන්තිමට මෙයා කොටුවේ හෝටලයකට ආවා කොහොම හරි. කන්න කලින් මෙයා ඇහුවා සුපිරි ප්‍රශ්නයක්.

''ඇයි ලංකාවේ කෑම තියෙන රෙස්ටුරන්ට්වලට හොටෙල් කියලා කියන්නෙ. ඒවගේ කාමර නෑනි...''

I චමිඳු නිසල්