2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

සමහරු පට්ට චාටර් මචෝ! ඒ හින්දා පරිස්සමෙන්...

 2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 90

ඔන්න මචෝ අද  Y Trend එක සැරට මිරිසට අඹරලා කොටලා ගන්න අපි හදන්නේ. මේක වෙනම කතාවක් වස්තු. මේක නොකිව්වොත් අපි වෙනවා සත්තු. ඒ නිසා අහගෙන ඉන්න ඕනෑ මගේ හිතවත්තු. අවසරයි!

සුදාලා දන්නවා අද YouTube එකේ පොරවල් පාරට බැහැලා ප්‍රශ්න අහන Trend ගැන. Social Media පැත්තේ කරක්ගහන ඕනෑ කෙනෙක් දැකලා තියෙනවා මේ සීන් කෝන් එක. මේකට කියන්නෙ Street Quiz කියලා. මේ වෙනකොට ලංකාවේ විතරක් නෙවෙයි, මුළු ලෝකය පුරාම ජනප්‍රිය ආතල් එකක් තමා මේක. පාරේ වීදිවල මිනිස්සුම අල්ලගෙන කරන Category ගොඩක් සංවාද මේ සීන් එකට ඇතුළත්.

ලංකාවේ දෙතුන් දෙනෙක් YouTubers ලා ඉන්නවා මේ සීන් එකේ. අමුවෙන්ම කියනවා නම් සමහරු හෙන ගොන්. සමහරු ආතල්. තවත් ටික දෙනෙක් පට්ට චාටර් මචෝ. පහුගිය දවස්වල ලංකාවේ Social Media වල මේ අතරින් එක්කෙනෙක් කරපු මේ සීන් එකක් වයිරල් වුණා. සමහරවිට සුදාලා දකින්නත් ඇති. පාරෙදී හම්බවෙන පොඩි දරුවෙක්ගෙන් ලංකාවේ අගනුවර මොකක්ද කියලා අහනවා. දරුවා අන්දමන්ද වෙලා එක එක උත්තර දෙනවා. ඒත් ඇත්තටම හරි උත්තරේ මේ පුංචි දරුවා කියන්නේ නෑ. 

මේ වීඩියෝ එක කරපු YouTuber චාටර් චරිතයක් නෙවෙයි. සාමාන්‍ය දැනුම ගැන තමා පාරේ මිනිස්සුන්ගෙන් ප්‍රශ්න කරන්නෙ. ඒ වීඩියෝ බැලුවාම අපිට දැනෙන්නෙ මිනිසුන් කොච්චර ගොන්ද කියලා. හැබැයි මචෝ මේ සීන් එක ඇතුළේ බලන කෙනාට ඇතිකරන්න හදන ආතල් එක තමා ඒක. 

මේක American TV Show Style එකක්. American Talk Show වල අංගයක් විදිහට තමා මේක ජනප්‍රිය වුණේ. පස්සේ Social Media වල සීන් එක වෙනම Program Category එකක් විදිහට Develop වුණා. ඇමෙරිකාව ඇතුළු සමහර රටවල මිනිස්සු බාහිර ලෝකය ගැන කොච්චර නොදැනුවත්ද කියලා ලෝකය පුරා සමාජ කතිකාවක් ඇතිවුණේ මේ Programs නිසා.

දැන් ලංකාවේ සීන් එක පැත්තට එමු. සිරාවටම කියනවනම් අයියෝ අපේ අනාගත පරම්පරාව කියලා තමා අර දරුවගේ වීඩියෝ එක දැක්කට පස්සේ ඕනෑ කෙනෙක්ට හිතෙන්නෙ. මේ දරුවා ලබාදෙන උත්තරත් තරමක් විහිළු සහගත නිසා මේ වීඩියෝ එක හරහා යම් හාස්‍යයක් වගේම කලකිරීමක් ප්‍රේක්ෂකයා තුළ ඇතිවෙනවා. ඒක තමා මේ Trend එකේ ස්වභාවය. හැබැයි %මොබයිල් ෆෝන්^ එකේ පුංචි තිරෙන් නොපෙනෙන කතාවක් මේ වීඩියෝ එක පිටිපස්සේ තිබුණා.

කොහොම හරි Video එක Out වෙලා සතියක් දෙකක් යනකොට ඔන්න මේ දරුවත් එක්ක තවත් නාඳුනන කෙනෙක් කරන Video එකක් සමාජ මාධ්‍යයට මුදා හැරුණා. එතකොට තමා අපි නොදන්න කතාව එළියට ආවේ. සුදාලට කියන්න මේ කතාවේ සීන් කෝන් එක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත කැරකුණේ මෙන්න මෙතැන දී. පාසලේ අටවැනි ශ්‍රේණියේ ඉගෙන ගන්න මේ පුංචි පැටියා හැමතැනම Viral වුණු මේ වීඩියෝව නිසා සෑහෙන්න අපහසුතාවයට පත්වෙලා.

ඒ අපහසුතාවය කොච්චරද කියනවනම්, දරුවා පාසල් යන්න බැහැ කියලා. යාළුවො විහිළු කරන නිසා දවස් තුනක් ඉස්කෝලේ ගිහිල්ලත් නෑ. සැලකිය යුතු තරම් විශාල මානසික පීඩනයක් මේ වීඩියෝව පුරාවටම පේනවා. මේ දරුවා සත්මහල් ප්‍රාසාදයක ජීවත් වන රාජ කුමාරයෙක් නම් නෙවෙයි. පුංචි ගෙදරක ජීවත්වෙන අම්මගේ කීමට බඩු ටිකක් ගේන්න කඩේට යන අතරේ කොහෙදෝ යන YouTube කාරයෙක්ගේ Views හීන වෙනුවෙන් පාවිච්චි වුණු අහිංසකයෙක්.

මෙතැන තියෙන හොඳම සීන් එක තමා මේ දරුවා හරිම දක්ෂ දරුවෙක්. එක මොහොතක එක ප්‍රශ්නයක් බැරිවීම වරදක් නොවන බව කියන්න මේ වීඩියෝ එක කරපු අය ඒ ඇත්ත ඔප්පු කරනවා. මේ දරුවා ගෙදර බිත්තිවල ගොඩක් දේවල් ලියාගෙන පාඩම් කරනවා.

මේ පුංචි පැටියා පාසලේ පන්තියේ හත්වැනියා. භාෂා අධ්‍යාපනයට හරිම දක්ෂයෙක්. කොරියානු භාෂාව වයසේ තරමට අපූරුවට අසුරවනවා. කොහොම හරි දරුවම තමා අම්මට කියලා තියෙන්නෙ වීඩියෝ එකක් කරලා මේ සිදුවුණු වරද නිවැරදි කරගන්න වීඩියෝවක් කරන්න ඕනෑ කියලා.

මේ සිදුවීම Social Video Trend එකක් නිසා වුණු මාර්ගගත හිංසනයකට එක උදාහරණයක් විතරයි. මේ Trend එක නිසා ලෝකය පුරා මිනිස්සු මේ වගේ ප්‍රශ්න කොච්චරකට මුහුණ දෙනවා ඇද්ද? මතකේ හැටියට මේ Trend එක හැදුණේ ඇමෙරිකාවේ. ඒ රටේ විතරක් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අතරෙන් 41% ක් එක වතාවක් හරි සමාජ මාධ්‍ය හිංසනයට ගොදුරුවෙලා තියෙනවා.

‘Social media harassment’ කියන්නෙ පට්ට ලොකු විෂයක්. අලුත් ලෝකෙ මිනිස්සු මුහුණ දෙන නරක තත්ත්වයක්. ඒ වගේම Trend එකක්. මේ අපි මතුකරපු සිදුවීම එක උදාහරණයක් විතරයි. විවිධාකාර ක්‍රම ඔස්සේ සයිබර් හිංසනය සිද්ධ වෙනවා. සයිබර් අවකාශයේ සිද්ධවෙන Bullying, Cyberbullying, Emotional abuse, Sexting, Sexual abuse වගේ දේවල් ගැන ඇත්තටම අපේ සුදාලා දැනුවත් වෙන්න ඕනෑ. 

අපේ රටවල මේ සීන්වලට තාම හරි නීති නෑ. ඒත් Social Media Company මේවා නියාමනය කරන්න උත්සාහ දරනවා. ලෝකය පුරා නීති හැදෙමින් තියෙනවා. අපේ දරුවාගේ සිද්ධිය වෙන රටක වුණා නම් මේ තත්ත්වය වෙන්න තිබුණා. දරුවන් සමඟ මාධ්‍යකරණය කියලා කියන්නෙ වෙනම විෂයක්. ඒ තුළ ආරක්ෂා කරගන්න ඕනෑ ආචාරධර්ම ගොඩක් තියෙනවා මචෝ. මේ දවස්වල සමහර රෑපවාහිනී වැඩසටහන්වල පවා Trend එකට මේ ආචාරධර්ම කඩනවා අපිට පේනවා.

ඇත්තටම මේවා අපරාධ. හැබැයි Social Media Trend විදිහට තමා මේවා සුදාලා අතරට එන්නෙ. සමහර වෙලාවට Like, Comment වලින් ඔයාලා මේ සීන්වලට සහයෝගය දීලා තියෙන්න පුළුවන්. නැත්නම් ඔයා ඒ වගේ අපරාධවල වින්දිතයෙක් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා හැමෝම මේ පිළිබඳව දැනුවත් වීම වටිනවා. පළවෙනි දේ මචෝ, ඔයා සමාජ මාධ්‍යයේ වගකීමක් ඇතිව හැසිරීම. දෙවැනි දේ අනික් අයව දැනුවත් කිරීම. තුන්වැනි එක මේ වගේ දේවල්වලට විරුද්ධව නැගී සිටීම.

හැමදාම Y Trend එකට වඩා වෙනස් කතාවක් තමා අද සුදාලට අපි කිව්වේ. ඒත් මේක නොකියා බෑ. මේකත් Trend එකක්. අපි මේකට විරුද්ධ වෙමු. 

I චමිඳු නිසල්