හැම වසරකදීම සමරපු නත්තල මට විශේෂිතයි. මම ඒ හැම නත්තලකටම ආදරේ කරනවා. මම හිතන විදිහට නත්තල වෙනුවෙන් හෝ තව කෙනෙකුට පොඩිම දෙයක් හෝ උදව්වක් හෝ කරලා සතුටු වෙනවා නම් ඒ තමයි හොඳම දේ වෙන්නේ. කෙනෙක්ව මුලින්ම සතුටු කරලා ඒ සතුට දිහා බලලා මම සතුටු වෙන්න හරි ආසයි. මේ පාර නත්තලටත් මම ඒ වගේ හිතට සැනසීමක්, සතුටක් ගෙනෙන දෙයක් කළා. ඒ ලේ පිළිකාවක් හැදුණු පොඩි දරුවෙක්ට මට කරන්න පුළුවන් විදිහට මම උදව් කළා. ඒ දරුවාගේ ඒ සතුට දිහා බලලා මට සතුටු වෙන්න පුළුවන්. නත්තල ලබන්නත් කළින්ම මම කැමැති ඒ තෑග්ග ඒ දරුවට දෙන්න දෙවියන් වහන්සේ මට උදව් කළා. මේ ලෝකේ ගොඩක් දුක් විඳින දරුවන් ඉන්නවා. ඒ දරුවන් වෙනුවෙන් යමක් කරන්නට පුළුවන් නම් තමයි ඒක වටින්නේ.
නත්තල සමරන්නට ගොඩාක් දරුවන් ආසයි. ඒ දරුවන් වෙනුවනේ මොන යම් හෝ විදිහකින් උදව් කරල ඒ දරුවන්ගේ මුහුණට එළියක්, සතුටක් එක් කරනවා නම් ඒක තමයි සැබෑ නත්තල වෙන්නේ.
ෂෙරිල් ඩෙකර්
අපේ සුවිශේෂිම නත්තල වෙන්නේ අපේ මේලි අපිට ලැබිලා එයා එක්ක සමරපු මුල්ම නත්තලයි. මේලි ඉපදුණේ 2020 අවුරුද්දේ දෙසැම්බර් මාසේ පළවෙනිදා. ඉතින් එයාට දවස් විසි පහෙන් එයා නත්තල සැමරුවා. ඒක අපිට හරි සුවිශේෂියි. අපිට අලුත් සාමාජිකාවක්. නත්තල් උත්සවවලට යද්දි එයාටත් අලුත් ඇඳුම් ගත්තා. ලස්සනට නත්තලට ඇන්දුවා. අපි ලස්සන ෆොටෝ ෂූට් එකක් කළා. ඒක තමයි අමතක නොවන ලස්සන නත්තල් වසර වුණේ.
ඉතින් මේ නත්තල වෙනුවෙනුත් අපි සුභ පැතුමන් එක් කරනවා. හැමදාමත් වගේ කාටවත් කරදරයක් නැතිව, කරදර කරන්නේ, වෙන්නේ නැතිව බොහෝම සතුටින් සමාදානයෙන් හරිම සරලව ලස්සන පවුල් ජීවිතයක් මැරෙනකම්ම ගත කරන්න ලැබේවා කියලයි. ඒ වගේම හැමෝටම හිතට සතුටක්, නිදහසක් එක්කරන හිතේ කරදර දුරුවෙන සුභම සුභ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරනවා.
නෙහාරා පීරිස්
කොවිඩ් වසංගතයට පෙර අපේ පල්ලියේ නත්තල් ප්‍රසංගයක් පැවැත්වූවා. ඒ ප්‍රසංගය මට මූලික වෙලා බාර අරගෙන කරන්න කියලයි පල්ලියෙන් යෝජනා වුණේ. ඉතින් ඒ සම්පූර්ණ නත්තල් ප්‍රසංගය මට බාර අරගෙන හරි ලස්සන ප්‍රසංගයක් කළා. එදා සංගීත කණ්ඩායම වගේම ගොඩාක් ආදරණීය කලාකරුවන්, කලාකාරියන් ප්‍රසංගයට ආවා. ඒ අනුව දෙවියන් වහන්සේ වෙනුවෙන් මම කරපු මෙහෙවරක් විදිහට මම ඒ ප්‍රසංගය හඳුන්වන්න පුළුවන්. ඒක ඉතා දැවැන්ත නත්තල් ප්‍රසංගයක්. මම මූලිකව කටයුතු කරපු ඒ නත්තල් ප්‍රසංගය ඉතා සාර්ථක වුණා. එදා ප්‍රසංගය බලන්නට තුන් දහසකට ආසන්න පිරිසක් ඇවිත් හිටියා. හැමෝම ප්‍රසංගය අගේ කළා. ප්‍රසංගය අවසානයේදී මට හිතාගන්නවත් බැරි විදිහට ඉතා සාර්ථක වුණා කියලා හැමෝම කිව්වා. එදා ප්‍රසංගය පටන් ගන්නට පෙර වැස්සකුත් තිබුණා. නමුත් ප්‍රසංගය පටන් ගන්නට ටික වෙලාවකට කලින් වැස්ස නැවතුණා. ප්‍රසංගය සාර්ථක වීම නිසා මගේ හිතට පුදුමාකාර සැනසීමක් දැනුණා. ඒක පුදුමාකාර සැනසීමක්.
වර්තමානයේදී බොහෝ මිනිසුන්ට බඩගින්න නිවාගන්නවත් කෑමක් නැහැ. ලංකාවේ එක්තරා පන්ති කණ්ඩායමක් සුරසැප විඳිද්දී අනිත් සියලුම මිනිසුන්ගේ ජීවිත අද වෙද්දී පුදුම අඩාල තත්ත්වයකට පත්වෙලා. ඒ නිසා මේ අනවශ්‍ය සැරසිලි, අනවශ්‍ය සාදවලට වියදම් කරන මුදලින් මේ රටේ අහිංසක මිනිසුන්ගේ බඩගින්න මේ මාසයේදීවත් නිවාගන්නට හැකි වාතාවරණයක් එකතු වෙනවා නම් කොයිතරම් හොඳද? මේ වහින වැස්සෙන් අද මේ රටේ නිවෙස් කීයක් නම් තෙමෙනවාද? දරුවන් කී දෙනෙකුගේ පොත්පත් මේ වැස්සට තෙමුණාද...? ඉතින් එවැනි දරුවන් වෙනුවෙන් මේ නත්තල වෙන් කරන්නට පුළුවන් නම් ඒක තමයි සැබෑ නත්තල වෙන්නේ කියලයි මට හිතෙන්නේ.
සුරේෂ් ගමගේ
හැම නත්තලකම මට මතක් වෙන්නේ මම කතෝලික බැතිමතෙකු ලෙසින් පත්වුණේ නත්තල දවසක කියලයි. ගිය වසරේ දෙසැම්බර් විසිපස්වෙනිදා නත්තල් දවසේ මම භෞතීෂ්ම වුණා. මම කතෝලික බැතිමතෙකු ලෙසින් පළමුවෙන් සමරන මුල්ම නත්තල මේ වසරේ සමරනවා. ජේසුස් වහන්සේගේ උපන්දිනය නත්තල් දා සමරනවා වගේම මමත් කතෝලික බැතිමතෙකු ලෙසින් නැවත ඉපදුණ දවස වෙනවා. අපි කරපු පව් සියල්ල නිරවුල් කරලා අපිට නැවත අලුත් ජීවිතයක් භෞතීෂ්ම වීමෙන් ලැබෙනවා යැයි විශ්වාස කරනවා. ඉතින් නත්තල දවස මට අලුත් ඉපදීමක් කියලයි මට හිතෙන්නේ. ඒ නිසා මට හැම නත්තල් දවසක්ම හරිම සුවිශේෂියි.
ජේසුස් වහන්සේ ලෝකයේ ඉන්නා හැමෝගෙම පව් වෙනුවෙන් ඔහුගේ ජීවිතේ පුද කළා. අපි ඒවගේ ජීවිත පුද කරන්න ඕනේ නැහැ. උන්වහන්සේ තරම් අපිට ඒක කරන්න බැහැ. නමුත් තව මනුස්සයෙකුට කරදරයක්, වේදනාවක්, පීඩාවක් දෙන්නේ නැතිව ඉන්න පුළුවන් නම් ඒක හොඳටෝම ඇති. කාටවත් දුකක්, කරදරයක්, මානසිකව හෝ කායිකව දුන්නොත් අපි එතන හිටයොත් අපිට ඒ වේදනාව කොයිතරම් දැනේද කියලා අපි හැමවිටම හිතන්න ඕනෑ.
නෙරංජනී චම්මුගරාජා
අපේ සුවිශේෂී නත්තල වන්නේ ක්‍රිෂන්‍යාගේ මුල්ම නත්තල් දවසෙයි. එතකොට එයාට මාස හතයි. එයාව ඉපදිලා මුල්ම නත්තල නිසා ඒක අපිට පුදුමාකාර සතුටක් ගෙනාපු නත්තලක් වුණා. ඊට කලින් මායි ක්‍රිශානුයි විවාහවෙලා සමරපු මුල්ම නත්තල තමයි විශේෂ වෙලා තිබුණේ. ඊට පස්සේ ක්‍රිෂන්‍යා ඉපදුණාට පස්සේ ඒක තමයි සුවිශේෂීම නත්තල වුණේ. අපි ක්‍රිෂන්‍යාව අරගෙන නත්තල් දා පල්ලි ගියා. ඒ අවුරුද්දේ අපිට විශේෂිත වුණේ අපේ දුවවයි. අපි එයාව නත්තල දවසේ ලස්සනට ඇන්දුවා. නත්තල් ෆොටෝ ෂූට් එකක් කළා. එයාට මුලින්ම නත්තලට අන්දපු ඇඳුම පවා මම දැන් හරි පරිස්සමට තියාගෙන ඉන්නවා. නත්තලට අපි පල්ලි ගිහින් විසි පස්වෙනිදා රූ හෝමාගම අපේ අම්මලාගේ ගෙදර ගියා. ඊටපස්සේ ක්‍රිෂන්‍යායි, සාරන්‍යායි දෙන්නා එයාලගේ නත්තල සැමරුවා.
නත්තල කිව්වහම අපි සතුටු වෙනවා, කනවා, බොනවා කියලනේ හිතන්නේ. නමුත් මේ රටේ හැමෝටම දැන් අමාරු කාලයක් තමයි උදාවෙලා තිබෙන්නේ. ඒ නිසා අපි එකිනෙකාට උදව් කරගන්න ඕනේ. පුළුවන් විදිහට අනිත් අය එක්කත් බෙදාහදා ගන්න ඕනේ. මේ බෙදා හදා ගැනීම නත්තලට පමණක් සීමා නොවී ජීවිතය පුරාවට ඒ උදව් කරගැනීම තිබෙනවා නම් ඒක තමයි සැබෑ නත්තල වෙන්නේ.
ශෙෂාද්‍රි ප්‍රියසාද්
I දිශානි ජයමාලි කරුණාරත්න