සිංහල සිනමාවේ ප්රතාපවත් රංගන ශිල්පියෙක් වූ රෙක්ස් කොඩිප්පිලි පසුගියදා අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට වයස අවුරුදු අසූ පහකි. 1938 වසරේ ඔක්තෝබර් මස 16 වැනිදා බදුල්ලේ උපත ලැබූ රෙක්ස් කොඩිප්පිලිගේ ළමා කාලය ඉතා දඟකාර, සෙල්ලක්කාර ලෙසින් ගෙවී ගියේය. බදුල්ගේ ශාන්ත බීට්ස්, ගුරුතලාවේ ශාන්ත තෝමස් සහ බදුල්ල ශ්‍රී සිද්ධාර්ථ නැමැති විදුහල්වලින් අධ්‍යාපනය ලැබූ රෙක්ස් වරක් බදුලු ඔය අසල තිබූ වැල්වල එල්ලී 'ටාසන්' චිත්‍රපටය අනුකරණය කරමින් එම චරිතය රඟපෑවේය. නමුත් සිදුවූයේ වෙනත් දෙයකි. ටාසන් ලෙසින් රඟපෑ රෙක්ස් එල්ලුණු වැල කැඩී බිමට ඇද වැටුණේය. ඔහු ඒ අසල තිබූ විශාල බෝතල් කටුවලට අත පය කැපී තුවාල වූයේය. නමුත් රෙක්ස්ගේ හිතේ රංගනයට තිබූ ආසාව අවසන් වූයේ නැත.
කුඩා කල සිටම රංගනය මෙන්ම ගීත ගායනා කිරීමේ හැකියාව ද රෙක්ස් කොඩිප්පිලිට තිබුණි. මේ නිසාම එකල බොහෝ මිතුරන් රෙක්ස්ව හැඳින්වූයේ 'බදුල්ලේ මොහිදින් බෙග්' නමිනි. ඔහු වඩාත් කැමැත්තක් දැක්වූයේ මොහිදින් බෙග් ගැයූ ගීත ගායනා කිරීමටය. වරක් ගුවන්විදුලි වෙළෙඳ සේවයේ පැවැත්වූ 'ආධුනික පැය' නම් තරගාවලියට ඉදිරිපත් වූ ඔහු එයින් දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.
රෙක්ස් කොඩිප්පිලි ඉතා මිත්‍රශීලී පුද්ගලයෙකි. පාසලේ මිතුරන් සමඟ ක්‍රීඩාවේ නිරත වූ ප්රතාපවත් ක්‍රීඩකයෙකි. මේ නිසාම පාසල් අධ්‍යාපනය හමාර කළ රෙක්ස් පසුව කලක් පොලිස් සේවයට බැඳී සේවය කළේය.
1971 වසරේදී රෙක්ස් මුලින්ම කලාවට සම්බන්ධ විය. ඒ ඔස්වල්ඩ් ජයසිංහ මාර්ගයෙනි. ඔස්වල්ඩ් රෙක්ස්ගේ ගජ මිතුරෙකි. රෙක්ස් සම්බන්ධ වූ පළමු චිත්‍රපටය වූයේ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගේ 'කතුරු මුවත්' චිත්‍රපටයයි. එහිදී රෙක්ස්ට ලැබුණේ පොකට්කරුවකුගේ ඉතා සුළු චරිතයකි. එය එක් රාමුවකට පමණක් සීමා වූ සුළු චරිතයකි. නමුත් රෙක්ස් ඒ කුඩා කොටසට වුවද ඉතා හොඳ සාධාරණයක් ඉටු කළේය. එය කොතරම් සාර්ථක වූවාදැයි කිවහොත් චිත්‍රපටයේ අධ්‍යක්ෂක ඒ කොටස සම්පූර්ණයෙන්ම ඉවත් කළේය. රෙක්ස්ව කැඳවූ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ඨයාගේ චරිතය බාර දුන්නේය. එතැන් සිට රෙක්ස් කොඩිප්පිලි දායක වුණු බොහෝ සිනමා නිර්මාණවල දුෂ්ඨයා ඔහුම විය. වසර කිහිපයක් පොලිස් සේවයේ නිරත වුණු රෙක්ස් කොඩිප්පිලි පසුව තවත් වසර කිහිපයක් සලාකා ආයතනයේ සේවය කළේය.
ඔහු ඉතා දක්ෂ ලෙසින් තමන්ට ලබාදුන් සෑම චරිතයක්ම රඟපෑවේය. තමන්ට ලබාදුන් චරිතවලට උපරිමයෙන් දායකත්වය ලබාදුන් රෙක්ස් කොඩිප්පිලි දුෂ්ඨයා ලෙසින් රඟපෑ අවස්ථාවලදී එම බිහිසුණු අත්දැකීම්, සටන් ජවනිකා ඉතා දක්ෂ සහ ඕනෑකමින් රඟපෑවේය. ඒ වෙනුවෙන් ආදේශ නළුවකු යොදාගැනීමට ඔහු කිසිවිටෙකත් කැමති වූයේ නැත.
වරක් ඔහු උණ බම්බු පැටවූ ලොරියකට උඩින් තමන් විසින් පැදවූ මෝටර් බයිසිකලය පැන්වීමේ දර්ශනයක් රෑගත කිරීමකදී දරුණු අනතුරකට මුහුණ දුන්නේය. ඒ 'ලොකුම හිනාව' චිත්‍රපටයේය. එහිදී රෙක්ස් කොඩිප්පිලි තමන්ගේම මෝටර් බයිසිකලයට යට විය. එයින් ඔහුගේ කකුල තුන්පලකින් කැඩී ගියේය. ඔහු මාස හතරකට වැඩි කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීය. රෝහලේ ප්‍රතිකාර ලබන අතරතුරදීද ඔහු හොර රහසේ රෝහලෙන් පිටතට පැමිණ රෑගත කිරීම් සිදු කරන ස්ථානයට ගොස් තමාගේ තවත් කොටසක් රඟපා නැවතත් රෝහලට පැමිණියේය. එහිදීද ඔහු රඟපා තිබුණේ ගේට්ටුවක් කඩාගෙන මෝටර් රථයක් ධාවනය වන කොටසකි. ඒ තරමට ඔහු තමන්ට පැවරෑ කොටස් මනාව ඉටු කළේය.
රෙක්ස් කොඩිප්පිලි පිළිවෙලට ලස්සනට ඇඳි කලාවේදියෙකි. බොහෝ නිර්මාණවලදී ඔහු ඇන්ඳේ ඔහුගේම ඇඳුම් පැළඳුම්ය. විශේෂයෙන් තොප්පි සහ අව් කණ්ණාඩිවලට ඔහු විශාල ලෙසින් ඇළුම් කළේය. ඒ අනුව ඔහුටම වෙන්වුණු හිස් පළඳනා සහ අව් කණ්නාඩි විශාල ප්‍රමාණයක් විය. සිනමාවේදී පමණක් නොව ඔහු දායක වුණු ටෙලි නිර්මාණවලදීද ඔහු බොහෝ විට ඇන්ඳේ ඔහුගේම ඇඳුම් පැළඳුම්ය. එක් නිර්මාණයකට ඇඳි ඇඳුමක් ඔහු තවත් නිර්මාණයකට ඇන්ඳේ නැත. ඔහු ඉතා ප්රතාපවත් කලාකරුවෙකි. මේ නිසාම ටයි කෝට් අඳිමින් රංගනයේ යෙදෙන නිර්මාණවලට වැඩි වශයෙන් රෙක්ස් කොඩිප්පිලිව සම්බන්ධ කර ගැනීමට බොහෝ අධ්‍යක්ෂකවරු කැමති වූහ.
රෙක්ස් කොඩිප්පිලි සිනමාවේ පමණක් නොව පුංචි තිරයේද ජනප්‍රිය කලාකරුවෙකි. මුවන්පැලැස්ස චිත්‍රපටයේ කදිරා, සිගන්නා චිත්‍රපටයේ කාල් පමණක් නොව රක්තා, කල්‍යාණි ගංගා, සාගරිකා, උතුමාණනී, අහස් මාලිගා, කොටි වලිගය, ඔන්න බබෝ බිල්ලෝ, මරුවා සමඟ වාසේ, දුප්පතාගේ හිතවතා ඇතුළු බොහෝ චිත්‍රපටවල රෙක්ස් කොඩිප්පිලි රඟපෑවේය. ඔහු දක්ෂ රංගන ශිල්පියකු මෙන්ම නිෂ්පාදන කළමනාකරුවකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. අහස් මාලිගා සහ බයිසිකලේ යන චිත්‍රපට ඔහු නිෂ්පාදනය කළ චිත්‍රපට ලෙසින් හැඳින්විය හැකිය. ඔහු මිය යන විට රඟපෑ චිත්‍රපට ප්‍රමාණය දෙසීය ඉක්මවූ අතර ටෙලිනාට්‍ය විශාල ප්‍රමාණයකට ද රංගනයෙන් දායක විය. මේ අතර මෙගා ටෙලිනාට්‍ය පහකට අධික ප්‍රමාණයකට ඔහු රංගනයෙන් දායක වී ඇත. දාමිණී, ගිනි අවි සහ ගිනි කෙළි සහ දෙවැනි ඉනිම ඉන් ප්‍රධාන තැනක් ගනී.
දරුවන් තිදෙනකුගේ පියකු වන රෙක්ස් කොඩිප්පිලි මිය යන විට වයස අවුරුදු අසූ පහකි.
උදුලා දාබරේ
උදුලා දාබරේ කලාකාරිය ද පසුගිය දිනෙක අභාවප්‍රාප්ත වූවාය. වයස අවුරුදු අසූ හතක් වූ ඇය කලාවට සම්බන්ධ වූයේ කැලෑ හඳ චිත්‍රපටයෙනි. ඒ ඇයගේ ඥාති සොහොයුරියක වූ මිලී කහඳවලගේ තනියට 'කැලෑ හඳ' චිත්‍රපටයේ රෑගත කිරීම්වලට ගිය අතරතුරදීය. 1953 වසරේදී බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න මහතාගේ ආරාධනයෙන් ඉතා සුළු චරිතයකට දායකත්වය ලබාදුන් උදුලා දාබරේට එතැන් සිට බොහෝ අධ්‍යක්ෂකවරුන්ගේ ආරාධනයෙන් බොහෝ නිර්මාණවලට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණි. මරදානේ ලෝරන්ස් විදුහලෙන් අධ්‍යාපනය හැදෑරෑ උදුලා දාබරේ කරුණාරත්න අබේසේකරගේ ළමා පිටියට ද එක් වූවාය. එම දස්කම් දුටු කරුණාරත්න අබේසේකරගේ 'සිනමාස්' අධිපති, කේ. ගුණරත්නම් හට ඇයව හඳුන්වා දීමෙන් අනතුරුව එම සමාගමේ වෘත්තීය ශිල්පිනියක ලෙසින් කටයුතු කිරීමට හැකි විය. 1954 වසරේදී 'වරද කාගේද?', රදල පිළිරුව යන චිත්‍රපටවල ඇය විකට චරිතවලින් තම රංගන දායකත්වය ලබා දුන්නාය. එපමණක් නොව නළඟන, ගැහැනු ගැට, පිරිමියෙක් නිසා, අක්කා නගෝ, සූරයන්ගෙත් සූරයා, සැකය, සීගිරි කාශ්‍යප වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායකත්වය ලබාදුන් උදුලා දාබරේ ජාතික ලොතරුයි මණ්ඩලයේ පිළිගැනීම් හා මහජන සම්බන්ධතා නිලධාරිනියක ලෙසින් වසර කිහිපයක් සේවය කළාය.
වසර හතක පමණ නිහඬතාවයකින් පසුව ඇය නැවතත් රංගනයට අවතීර්ණ වූවාය. හිතුවක්කාරයෝ, චණ්ඩි සිරියා, රන්දිය දහර, රෝස කැලේ, මධුර ජවනිකා වැනි චිත්‍රපටවලට නැවතත් රංගනයෙන් දායක වුණු උදුලා දාබරේ වසර අසූ හතරක් ආයු වළඳා ජීවන ගමන අවසන් කළාය.
දිශානි