2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

අත්හරිමුද? බදාගමුද? කැලැන්ඩරේ...

 2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 79

ඔන්න මචෝ අවුරුද්දක් ගෙවිලා අවුරුද්දක් උදාවෙනවා. ඒ නිසාම අවුරුද්දට ගැලපෙනම Trend එකකින් අපි කතාව පටන් ගන්න හිතුවා. කැලැන්ඩර් කියලා කියන්නේ හැම අවුරුද්දකම මේ කාලේ දකින්න ලැබෙන Trend එකක්. ඒත් පහුගිය අවුරුද්ද දෙක තුනේ කැලැන්ඩරයක් හොයාගන්න එකත් ලේසි වුණේ නෑ.

''ලොකු ඉලක්කම් තියෙන කැලැන්ඩරයක් නැද්ද?'' ලංකාවේ ගොඩක් ගෙවල්වල අවුරුද්ද අවසානයේ ඇහෙන ප්‍රශ්නයක් තමයි ඕක. සුදාලට කියන්න කැලැන්ඩර් කියන්නේ අමුතුම ජාතියේ භාණ්ඩයක්. සාමාන්‍යයෙන් කැලැන්ඩර් කිහිපයක් හම්බවෙන අය අනිත් අයට ඒවා බෙදලා දෙනවා. ඒක ඇතුළේ පොඩි පොර සීන් එකකුත් තියෙනවා.

කැලැන්ඩර් හම්බවෙන අය වගේම කැලැන්ඩර් හම්බවෙන්නැති අයත් ගම්වල ඉන්නවා. හම්බවෙන අයගෙන් කැලැන්ඩරයක් බලාපොරොත්තු වෙන කට්ටිය හැම අවුරුද්දකම ඒ ගැන පුංචි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නෙ. ලංකාවෙ නම් ලේසියෙන් කෙනෙක් කැලැන්ඩරයක් සල්ලිවලට ගන්නේ නෑ. මොකද වර්ෂ අවසානයේ ලංකාවේ කැලැන්ඩර් මුද්‍රණය කරන්නේ ගොඩක් වෙලාවට රාජ්‍ය හා පෞද්ගලික ආයතන විසින්. එයාලාගේ අවශ්‍යතාවය තමන්ගේ සේවාදායකයින්ව සතුටු කරන්න.

ඉතින් මචෝ ලංකාවේ කැලැන්ඩර් Trend එක පොඩි තෑග්ගක සීන්කෝන් එකක්, නැත්නම් අල්ලසක ලයින් එකක් තමයි අල්ලන්නේ. ඇත්තටම කැලැන්ඩරයෙන් දින බලනවා කාලය ගණනය කරනවාට වඩා වෙනම සංස්කෘතික ආතල් එකක් මෙහේ තියෙනවා. තාක්ෂණය කොච්චර තිබුණ වුණත් ෆෝන් එකේ කැලැන්ඩරයේ තිබුණත් අපේ හැම ගෙදරකම මුද්‍රිත කැලැන්ඩරයක් නැති වෙන්නේ නෑ මචෝ.

ඇත්තටම ඒක ලොකු කර්මාන්තයක් වෙලා තිබුණේ. ඒ කියන්නේ මචෝ මේක කොච්චර දරුණු සීන්කෝන් එකක්ද වුණාද කියන්නේ කැලැන්ඩර් මුද්‍රණයකරවා ගැනීමේ ලොකු තරගයක් තිබුණා. වේලාසනින් ඕඩර්ස් දෙන්න ඕනා. ඩිසයින් කරන්න ඕනෑ. ඒක වෙනම ලයින් එකක්. ඒ අතර ඉස්සර නම් කැලැන්ඩර් එකක පින්තූරයකට මුහුණ දාගන්න හීනේ අපේ ගෑනු ළමයින්ට තිබුණා.

ඒත් ඉතින් මචෝ පහුගිය කාලවල්වල තිබුණ ආර්ථික අර්බුද මුද්‍රණ කර්මාන්තයේ අමුද්‍රව්‍ය හිඟය වගේ දේවල් නිසා කැලැන්ඩර් මුද්‍රණය කරන එක ක්‍රමයෙන් සීමා වුණා. ලංකාවේ කැලැන්ඩරය කියලා කියන්නේ වෙළඳ ප්‍රචාරක භාණ්ඩයක් වුණ නිසා, ගොඩක් ආයතන මේ වියදම් කප්පාදු කළා. ඔන්න ඊටපස්සේ ලංකාවේ සමහරක් පාරිභෝගිකයෝ කැලැන්ඩර් දිනපොත් ඉල්ලලා බැංකු වගේ ආයතනවලදී රණ්ඩු කරලා තිබුණා.

ලංකාවේ කැලන්ඩරය සම්බන්ධයෙන් තියෙන අමුතුම ජාතියේ ට්‍රෙන්ඩ් එක තමයි ඕක. ඒක සිරාවටම අමුතු උමතුවක්. කොහොම වුණත් කැලැන්ඩරයේ පැටිකිරිය ගැනත් වචනයක් කියන්න ඕනෑ. ඔයාලා අපි කවුරුත් අහලා තියෙන රෝමකරයේ හැදිලා පස්සේ කාලෙක එක ලෝකේ ජනප්‍රිය වෙන්න ඉස්සෙල්ලා විවිධ ජාති ජනවර්ගවලට අයත් කැලැන්ඩර් ක්‍රම තිබුණා.

මුල් කාලයේ ඉර හඳ, ග්‍රහ තාරකා සහ ස්ත්‍රී ලිංගික ශාරීරික ලකුණු මගින් සංඥාකරණය දේවල් හරහා තමයි කාලය පිළිබඳ සංකල්ප මිනිස්සු හදාගත්තේ. පස්සේ මේක ජ්‍යොතිෂ ශාස්ත්‍රීය විදිහට දියුණු වුණා. මේ සීන් එක බටහිර වගේම පෙරදිගදිත් සිද්ධ වුණා.

අපේ සුදාලා දන්නවා ඉස්සර අපේ රටේ සිංහල වර්ෂ මානන ක්‍රමයක් තිබුණා. ඒක ඒ කාලෙට සාපේක්ෂව බොහෝ දියුණු තත්ත්වයක ක්‍රමවේදයක්. ඔය හැට පැය, තිස් පැය ගැන කතා සුදාලා අහලා ඇතිනේ ඒවා ආවේ මේ ක්‍රමය නිසා. පස්සේ සුද්දෝ ආවට පස්සේ අපේ ක්‍රමය ක්‍රමයෙන් දියවෙලා ගියා. කොහොම වුණත් වර්තමානයේ භාවිත වන ලෝකය පිළිගත්ත කැලැන්ඩර් ක්‍රමය පිළිබඳවත් ගැටලු මතුකරන විද්වතුන් ඉන්න බව අමතක කරන්න එපා.

අපි වර්තමානයට ආවොත් දැන් ගොඩක් දෙනෙක් කැලැන්ඩරයේ පාවිච්චි කරන්නේ තමන්ගේ මොබයිල් එකත් එක්ක. ඇත්තටම හැම ස්මාර්ට් ෆෝන් එකකම කැලැන්ඩරේ තියෙනවා. වෙලාව බලන්න ඔරලෝසුවත් දින බලන්න කැලැන්ඩර්වත් දැන් මිනිස්සු පාවිච්චි කරන්නේ නැති තරම්. ඒත් සම්ප්‍රදායක් විදිහට කැලෙන්ඩරේ එහෙම්පිටින්ම අහක දාන්න මිනිස්සුන්ට බැරිවෙලා තියෙනවා. අපේ රටේ විතරක් නෙවේ මචෝ මුළු ලෝකෙම තත්ත්වයම ඒක තමයි.

කොහොම වුණත් මචෝ මේ වෙද්දී ස්මාර්ට් කැලැන්ඩර්ස් සහ කැලැන්ඩර් ඇප් සම්බන්ධ ට්‍රෙන්ඩ් එකක් නිර්මාණය වෙලා තියෙනවා. කැලැන්ඩරයටම සමගාමීව ගිය දිනපොතත් මේ වෙද්දි මොබයිල් ෆෝන් එකට ඇවිල්ලා ඉවරයි. ගොඩක් දෙනෙක් කැලැන්ඩරය කළමනාකරණය කරනවා තමන්ගේ ජංගම දුරකථනය හරහා.

කොහොම නමුත් ලෝකේ ඊළඟ අදියරේදී කැලැන්ඩරය සම්බන්ධව මොන මොන වෙනස්කම් සිද්ධ වෙයිද කියලා අපි දන්නේ නෑ. නමුත් මුද්‍රිත කැලැන්ඩර් ක්‍රමවේදය නම් හිමිහිට අභාවයට යයි. මේ අවුරුද්දේ කැලැන්ඩරයක් හොයාගන්න බැරුව ඉන්න අය දුක් වෙන්න එපා. ඔයාලා තමයි මුද්‍රිත කැලැන්ඩරය අතහරින පළවෙනි පරම්පරාව බවට පත්වෙන්නෙ.

ඉතින් එහෙනම් කැලැන්ඩර් Trend එක ගැන කතාව අපි ඉවර කරමු. ලබන අවුරුද්දේ කැලැන්ඩරේ දින සති මාස ගෙවෙද්දී ඔයාලට වාසනාව උදාවෙන්න කියලා ඔන්න අපි ප්‍රාර්ථනා කරනවා.

එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක්...! 

I චමිඳු නිසල්