2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

2024 දැල්වූ පහන් දැල්වී තියේවා සුන්වූ පැතුම් දලුලා වැඩේවා!

 2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 63

දේශපාලන මිනිහාව අමතක කරවන්න පොතක් ගීතයක් කරනවා

හැම අවුරුද්දක් පටන් ගනිද්දිම අපි මනුස්සයන් විදිහට කුමක් හෝ බලාපොරොත්තුවක එල්ලෙන්න ඕනේ. ඉතින් ඒ වගේ මමත් එක එක කඳු හොයාගෙන පනිනවා. 2024 අවුරුද්දේ මට තියෙන ලොකුම කන්ද තමයි 2023 මිනිසුන්ට කාලයට අමතක වුණ මධුමාධව අරවින්ද කියලා හිටපු දේශපාලන මිනිහාව මිනිසුන්ට සම්පූර්ණයෙන්ම අමතක කරලා දාන එක. ඔහු දේශපාලනය නොකළෙක් හැටියට මිනිසුන්ට දනවන්නට අවශ්‍ය කරුණු කාරණා අතරට පොතක් ගීතයක් වගේ කලාත්මක නිර්මාණ කිහිපයක් කරන්නට සැලසුම් කරනවා. ඒ නිසා එවැනි නිර්මාණයක් මිනිසුන්ට දීලා ඔවුන් දක්වන ප්‍රතිචාර බලන්නට ආසාවෙන් ඉන්නවා. ඒ වගේම මගේ මියුසික් වීඩියෝ දෙකක් සහ පොතක් එළිදක්වන්නට බලාපොරොත්තු වෙනවා. ඒ දේවලුත් එක්ක 2024 අවුරුද්ද ගෙවිලා යාවි. මට වගේම අපි හැමෝගෙම හිත්වල ඒ වගේ බලාපොරොත්තු ඇති. ඒ පුංචි පුංචි අහිංසක බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න කියලමට ප්‍රාර්ථනා කරනවා.

මධුමාධව අරවින්ද

අලුත් සින්දු කරන්න විදෙස් සංචාර යන්න ලෑස්ති වෙනවා

2024 අවුරුද්ද මගේ ආදරණීය රසික රසිකාවියන්ට සහ සියළුම ලක්වාසී ජනතාවටම සහ ලෝකවාසී ජනතාවටම නිරෝගිමත් වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම 2024 අවුරුද්දේ මගේ අලුත් නිර්මාණ හතරක් හෝ පහක් මගේ ආදරණීය රසික රසිකාවියන්ට තිළිණ කරන්නට උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් දැනටමත් වැඩ කටයුතු කරගෙන යනවා. ලංකාවේ නව පරපුරේ සංගීතඥවරුන් කිහිප දෙනෙක් ඒ නිර්මාණවලට දායක වෙලා තිබෙනවා. ඒ වගේම 2024 අවුරුද්දේ විදෙස් සංචාර කිහිපයකට ආරාධනා ලැබිලා තිබෙනවා. ඒවාටත් සහභාගි වෙන්න සූදානමක් තිබෙනවා. ඉතින් ඒ අලුත් බලාපොරොත්තු එක්ක තමයි 2024 අවුරුද්ද මං පිළිගන්නේ.

චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

හීන දකින්නේම නිර්මාණ කරන්න. වැට් බදුයි රටේ ප්‍රශ්නයි හීන මරනවද මන්දා

සාමාන්‍ය ජනතාව පීඩා විඳින විශාල බදු බරක් තිබෙනවා. ඒ බදු බරත් එක්ක මුළු ජන ජීවිතයම අවුලෙන් අවුලට පත්වෙලා මිනිස්සු දැඩි පීඩනයට පත්වෙලා තිබෙනවා. ඒ පීඩාව 2024 වසර උදාවෙද්දීම 18% වැට් බද්දත් එක්ක තවත් වැඩිවෙනවා. ඒ වැඩිවීම තුළ පොදුවේ සාමාන්‍ය මිනිසුන්ගේ වේදනාව වැඩි වෙනවා. දේශපාලනඥයින් එකතුවෙලා මිනිසුන්ට කරන මේ පීඩනයෙන් මිදිලා ජීවත්වෙන මේ පොඩි කාලය තුළ මිනිසුන් හැටියට සතුටින් ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් උදාවෙන්න කියලයි මගේ ප්‍රාර්ථනාව සහ බලාපොරොත්තුව වෙන්නේ. ඒක උදාවුණොත් අපිට රුකෙන්න පුළුවන්. මේ වෙද්දී අපි උදේ හවා දකින්නේ තවත් නිර්මාණ කිරීමේ සිහිනය තමයි. එවැනි සිහින 2024 අවුරුද්දෙත් බොහොමයක් තිබෙනවා. ඒ සිහින සැබෑ කරගන්නට නම් මේ රටේ ප්‍රශ්න විසඳිය යුතුමයි. මිනිසුන්ට මානසික නිදහසක් නැතිව අපි කොච්චර නිර්මාණ කළත් වැඩක් වෙන්නේ නැහැනේ.

ජයප්‍රකාශ් සිවගුරුනාදන්

''සූර්යා ඇවිල්ලා'' එනකම් බලාගෙන ඉන්නේ

2024 අවුරුද්ද මට හිතෙන විදිහට මගේ රංගන ජීවිතේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් වෙනවා. ඒ මම රංගනයෙන් දායක වුණ ''සූරයා ඇවිල්ලා'' චිත්‍රපටය 2024 අවුරුද්දේ තිරගත වීමට නියමිතව තිබෙනවා. ඒක ගැන ලොකු සතුටක් වගේම ලොකු විශ්වාසයක් මගේ හිතේ තියෙනවා. රංගනයේදී මගේ සිනමාවේ  එක් යුගයක් නියෝජනය කරන්නට මට ලොකු උවමනාවක්, ආසාවක් තිබුණා. ඒ වෙනුවෙන් මම ලොකු මහන්සියක් කැපවීමක් කළා. මට හිතෙන විදිහට 2024 අවුරුද්දේ චිත්‍රපටය තිරගත වීමත් සමඟ ඒක ආරම්භය මට ලැබේවි කියලා මම හිතනවා. ඉතින් 2024 වසර ලක්වාසී, ලෝවාසී සියලු දෙනාටම සුභ සුබ වසරක් වේවායි පතනවා. ජයග්‍රාහී කාලයක් හැමදෙනාටම ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා.

උදාර රාජපක්ෂ

නාට්‍ය දෙකක් - පොතක් ලියනවා 
නාට්‍යයක රඟපාන්නත් තියෙනවා

2024 අවුරුද්දේ මම ටෙලිනාට්‍ය පිටපත් දෙකක් ලියන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව මේ වෙද්දී අපි කතාබහ කරමින් තමයි ඉන්නේ. ඒ වගේම මට 2024 අවුරුද්දේ පොතක් ලියන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා. පොත් දෙකක් මේ වෙද්දි මම ලියලා තියෙනවා. ඒ නිසා මේ ලියවෙන්නේ තුන්වෙනි පොතයි. ඊට අමතරව ටෙලිනාට්‍යයකට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒ දේවලුත් එක්ක 2024 අවුරුද්ද කාටවත් කරදරයක් නැතිව කලා කටයුතුවලට සම්බන්ධ වෙමින් ජීවත්වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

දින්නා විජේසිංහ

ලොකුම පැතුම ''කුසුමාසන දේවිය''යි

අපිට අපි වෙනුවෙන්ම නෙමෙයි මේ හැමදේම කරන්න වෙන්නේ. අපිට අපේ දරුවන් වෙනුවෙන්. අනාගත පරපුර වෙනුවෙන් බලාපොරොත්තු තියාගන්න වෙනවා. නමුත් රටේ අද තිබෙන ප්‍රශ්නයත් එක්ක බලාපොරොත්තු හිත්තුළ තියාගෙන ඒ බලාපොරොත්තු ඉෂ්ඨ කරගන්නට හැකි වාතාවරණයක් ලැබේවිය කියන එක ලොකු ගැටලුවක් වෙලා තිබෙනවා. 2024 අවුරුද්දේ මගේ තිබෙන ලොකුම බලාපොරොත්තුව වන්නේ ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කරන ''කුසුමාසන දේවි'' චිත්‍රපටයයි. ඒක ඉතා දැවැන්ත නිර්මාණයක් වේවි. සිනමා කර්මාන්තයට හොඳක්ම වෙන්න කියලයි මගේ 2024 ප්‍රාර්ථනාව සහ බලාපොරොත්තුවත් වෙන්නේ. 2024 වසරේදී රෑගත කිරීම් කරන්නට බලාපොරොත්තු වෙන නිර්මාණ තුනකට පමණ මේ වෙද්දී ආරාධනා ලැබිලා තිබෙනවා. ඒකෙදී ජනවාරි මාසයේදී ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ දැවැන්ත නිර්මාණය රෑගත කිරීම් ආරම්භ කරන්න සූදානම් වෙනවා. අපේ ජීවිතේ කියන්නෙත් සිනමාවටමයි. හැබැයි මේ බද්දත් එක්ක අපේ බලාපොරොත්තු සිහින විතරක්ම වේවිද කියලත් හිතෙනවා. රටේ පවතින තත්ත්වයත් එක්ක මේ හැමදේම වෙනස් වෙන්නත් පුළුවන්.

වසන්ත කුමාරවිල

I දිශානි ජයමාලි