- පළිගු මැණිකේහි පළිගු නෝනා මැණිකේ අත්තනායක
Q මීට වසර ගණනාවකට පෙර රූපවාහිනියෙන් විකාශනය වුණු ඔබ පළිඟු නෝනා ලෙසින් රඟපෑ 'පළිඟු මැණිකේ' ටෙලිනාට්‍යයේ විජේපාල ඔහුයි. ඒ මතකයන් අදටත් අමතක නැතිව ඇති?
ඔව්. ඒ කාලේ අපි අතර ලොකු සම්බන්ධීකරණයක් තිබුණා. සෝමවීර සේනානායක, ධම්ම ජාගොඩ, ශ්‍රියන්ත මෙන්ඩිස්, රෝහණ බැද්දගේ වගේ අපි කට්ටිය එකතු වුණාම පුදුමාකාර ශක්තියක් තිබුණා. පළිඟු මැණිකේ නාට්‍ය ඉතා සාර්ථකව කරන්න ඕනෑ කියන අධිෂ්ඨානය අපිට තිබුණා. ඒ වගේම ජැක්සනුත් අපිත් එක්ක හරි කුළුපඟයි. ශ්‍රියන්තයි ජැකායි ඉන්න තැන හරිම විනෝදකාමීයි. සමහර දේවල් එයාලම වෙනස් කරලා රඟපෑවා. වෙනස් වචන කිව්වා. පළිඟු මැණිකේ ටෙලිනාට්‍යයේ ශ්‍රියන්ත කියපු 'සම්තිං' 'පට් පට්' වචන නිර්මාණයටත් එකතු කර ගත්තා. සෝමවීර මහත්තයා වුණත් ''ඒවා නිර්මාණයට ඇතුළත් කරගන්න ප්‍රශ්නයක් නැහැ'' කියලා ඒ අවසරයත් ලබා දුන්නා. ජැකා හරි සුහදශීලී කලාවේදියෙක්. අපි එක කණ්ඩායමක් විදිහට වැඩ කළා. ඒ කණ්ඩායම් හැඟීම මේ නිර්මාණය සාර්ථක වෙන්න ගොඩක් බලපෑවා.
Q ධම්ම ජාගොඩගේ 'පළිඟු මැණිකේ' රූගත කිරීම් කරද්දි ඒ ගමේ මිනිසුන්ගේ තිබුණු ප්‍රතිචාර කොහොමද?
ඒ ගමේ මිනිසුන්ගේ තිබුණු ආදරය, ප්‍රතිචාර ඉතාම ඉහළයි. පළිඟු මැණිකේ ගොඩක් රූගත කිරීම් කළේ බැද්දේගම තිරානගම කියන ප්‍රදේශයෙයි. පළිඟු මැණිකේ විකාශනය වෙලා බොහෝ කලකට පසුවත් එක්තරා අවස්ථාවකදී මට ඒ ප්‍රදේශයට යන්න අවස්ථාව ලැබුණා. එදා පළිඟු මැණිකේ රූගත කිරීම් බලන්න ආපු මිනිස්සුම මාව බලන්න ආවා. මට හිතාගන්න බැරි වුණා. ''මතකද අපි කෝපි ගෙනාවා. ඔයා අපි එක්ක කතා කළා.'' කියලා ඒ මිනිස්සු ඒ මතකයන් ආයෙත් මතක් කළා. ඒ තරමටම ඒ මිනිස්සු පළිඟු මැණිකේ රූගත කිරීම් කරද්දි අපිට ආදරය කළා. ඒ අය අපි ළඟට ඇවිත් ''අපේ ගමේ කෑම අපි ගෙනත් දෙන්නම්'' කියලා අපිට කෑම ගෙනත් දුන්නා. පළතුරු ගෙනත් දුන්නා. සමහර වෙලාවට ඒ ගමේ අය ඇවිත් බලද්දි ජැකා, ශ්‍රියන්ත කියන දේවල්වලට හිනා වුණු අවස්ථා තිබුණා. ඒ මිනිසුන්ට මේක රූගත කිරීම් කරන තැනක් කියලා මතක් වුණේ නැහැ. ඉතින් ආයෙත් ඒ කොටස් රූගත කිරීම් කරන්න සිදුවුණා. ඒ වගේ හරි අපූරු මතකයන් ජැකා එක්ක පළිඟු මැණිකේ පුරාවටම තිබුණා.
Q ජැක්සන් නිසා නළුවෙක් කොණ්ඩෙ කැපුවේ ඇයි?
ඔව්නෙ. එහෙම සිදුවීමක් පළිඟු මැණිකේ ටෙලිනාට්‍යයෙදි වුණා. ඔන්න පළිඟු මැණිකේ ටෙලිනාට්‍යයේ සිංහල අවුරුද්දකුත් රූගත කිරීම් කළා. ඒ ටෙලිනාට්‍යයේ රඟපෑ එක්තරා නළුවෙක් මම ගැන ටිකක් උනන්දුයි කියලා මටත් ටිකක් තේරුණා. ඒක ජැකාත් දැනගෙන හිටියා. ඉතින් ඔන්න එක දවසක් රූගත කිරීම් අවසන් කරලා ''අද අපි ෂූටිං නවත්වනවා. හෙට ආයෙත් මේ කොටසෙ ඉඳන් පටන් ගන්නවා. අද මේ හිටපු විදිහට හෙටත් පටන් ගන්නවා. කට්ටිය මේ හිටපු විදිහ මතක් කර ගන්න. ඒ ඉන්න ස්වරූපය වෙනස් කර ගන්න එපා'' කියලා ධම්ම මහත්තයා කියලා රූගත කිරීම් අවසන් කළා. ඔන්න එදා රූ ජැකා මම ළඟට ආවා. ''අපි මැණිකේ පොඩි වැඩක් කරමුද? ඔයා පොඩි කැමැත්තක් අරූට පෙන්නන්න. ඒ නළුවා විජය කුමාරණතුංගට හරි ආසයි. ඒ නිසා ඔයා විජය කුමාරණතුංග වගේ කියලා කියන්න. හැබැයි ඔය කොණ්ඩය තව ටිකක් අඩු වුණා නම් විජයම තමයි කියලත් කියන්න'' කියලා කිව්වා. මුලදි මම ටිකක් ඒ විහිළුව කරන්න අකමැති වුණා. හැබැයි පස්සෙ මාත් කැමතිවෙලා අර නළුවා ළඟට ගිහින් ''ඔයා විජය වගේ. හැබැයි තව ටිකක් කොණ්ඩය අඩු වුණා නම් මරු'' කියලා ටිකක් ආදරෙන් කිව්වා. ඔන්න ඉතින් පහුවදා රූගත කිරීම් පටන් ගත්තා. ඔන්න බලද්දි අර නළුවා කොණ්ඩෙ කපලා. අපිට හිතාගන්න බැරි වුණා. ධම්ම මහත්තයට පුදුම කේන්තියක් ගියා. ''මොකක්ද ඔය කොණ්ඩෙට කරගෙන තියෙන්නෙ'' කියලා හයියෙන් කෑ ගැහුවා. මමයි ජැකායි මූණට මූණ බලාගත්තා. අර මනුස්සයා ධම්ම මහත්තයගෙන් හොඳටම බැණුම් අහලා රූගත කිරීම් පටන් ගත්තා. ඒ වගේ ජැකා කියන්නෙ හරි විනෝදකාමී නළුවෙක්.
Q 'පළිඟු මැණිකේ' රූගත කරන කාලෙ මැණිකේ හොල්මන් කාමරයක නිදාගත්තෙ ඇයි?
ඒකත් ඉතින් ඔය ජැකායි ශ්‍රියන්තයි නිසා වුණු දෙයක්. ජැකායි ශ්‍රියන්තයි ඒ කාලේ එකතුවෙලා මාව හරියට බය කළා. දවසක් ජැකායි ශ්‍රියන්තයි මම ළඟට ඇවිත් ''ඔයා ඔය ඉන්න රූම් එකේ මීට මාස කිහිපයකට කලින් සුද්දෙක් මැරිලා ඉඳලා තියෙනවා මැණිකේ'' කියලා කිව්වා. 'පළිඟු මැණිකේ' රූගත කරන කාලෙදි මට හෝටලයෙ මුහුද පැත්තට වෙන්න කාමරයක තමයි නවාතැන් දීලා තිබුණේ. කාමරේ මම විතරයි හිටියේ. මම ටිකක් බය වුණා. ''කවුද කිව්වෙ?'' කියලා මම ඇහුවාම මේ හෝටලයේ වැඩ කරන කොල්ලෙක් රූට ඒ සුද්දා මුහුදු වෙරළේ ඇවිදිනවා දකිනවා'' කියලත් ඇඟට පතට නොදැනී ජැකා කිව්වා. එතැනින් එහාට ජැකාවත් ශ්‍රියන්තවත් මුකුත් කිව්වෙ නැහැ. රූගත කිරීම් අවසන් කරලා එදා ඔන්න මම නිදාගන්න ඇඳට ගියා. එදා අපි 'නිධානය' චිත්‍රපටයත් බැලුවා. නින්ද යාගෙන එද්දි මාව ඇඳෙන් බිමට අදිනවා වගේ දැනුණා. මගේ හිත හොඳටම බය වෙලා. මම නැඟිටලා කෑ ගහගෙන එහා පැත්තෙ කාමරයේ අනිත් ගෑනු ළමයින්, එයාලගේ අම්මලා නැවතිලා හිටපු කාමරයේ දොරට ගහලා ''මට ඒ කාමරයේ නිදාගන්න බැහැ'' කියලා එයාලගේ කාමරයේ නිදාගත්තා. පහුවදා උදේ ජැකා මම ළඟට ඇවිත් ''මැණිකේ.. අර කාමරයෙ නින්ද ගියේ නැද්ද?'' කියලා විහිළු කළා. එදා නම් මම හොඳටම බය වුණා.
Q 'පළිඟු මැණිකේ' ටෙලිනාට්‍යයට අමතරව ජැක්සන් සහ මැණිකේ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ වේදිකා නාට්‍යයකත් රඟපෑවා නේද?
ඔව්. එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයගේ 'ලෝම හංස' වේදිකා නාට්‍යයේ මගේ පුතාට ජැකා රඟපෑවා. මගේ සැමියාට රඟපෑවේ නිශ්ශංක දිද්දෙණියයි. වයසට ගිය කෙනෙක් ලාබාල කුමාරිකාවක් කසාද බැඳපු කතාවක් තමයි ඒ වේදිකා නාට්‍යයෙන් නිර්මාණය කළේ. ජැකාට ගීත ගායනා කිරීමේ හැකියාව උපරිමයෙන් තිබුණා. ඒ වේදිකා නාට්‍යයේ සංගීතය අමරදේව මාස්ටර් සිදු කළා. අපි රූ ගණනාවක් සරච්චන්ද්‍ර මහත්තයගේ ගෙදර පුහුණුවීම් කළා. ඒ මතකය මගේ ජීවිත කාලය පුරාවම තියෙනවා.
Q අද වගේ නෙවෙයි, එදා වේදිකා නාට්‍ය අරගෙන රට පුරා යද්දි කට්ටියම එකට ගියා. ඒ මතකයන් හරි සුන්දර ඇති නේද?
අම්මෝ ඔව්. ඒක වෙනමම අත්දැකීමක්. 'ලෝම හංස' නාට්‍ය රට පුරා යද්දි අපි පුදුම විනෝදයක් ලැබුවා. නාට්‍ය තුළින් විඳිනවාට වඩා විනෝදයක් යන එන අතරතුරේදි අපි ලැබුවා. අපි සින්දු කිව්වා. බස් එක ඇතුළේ ඒ සින්දුවට රඟපෑවා. ඒ දේවල් නම් ආයෙත් ලැබෙන එකක් නැහැ. ඒ අඩුව හරියට දැනෙනවා.
Q ජැක්සන්ට අනතුර වෙන්න පෙර ඔහුව අවසානයට මුණගැහුණු දවස මතකද?
එහෙම දවස නම් මතක නැහැ. පහුගිය කාලවලදි මාධ්‍ය නාලිකාවල තිබුණු අවුරුදු උත්සව කිහිපයකදීම ජැකා මට මුණගැහුණා. කිසිම ආඩම්බරකමක් ජැකාගේ තිබුණෙ නැහැ. අපි කතාබහ කළා. විහිළු කළා. ඒ අවුරුදු උත්සවවලදි අපි එකට නැටුවා.
Q ඔහුගේ වියෝවට මාස තුනක් සපිරෙනවා. කලා ක්ෂේත්‍රයට ඔහු නැති අඩුව කලාකාරියක් විදිහට මැණිකේට දැනෙන්නෙ කොහොමද?
ඔහුගේ වියෝවෙන් කලා ක්ෂේත්‍රයට වුණු පාඩුව අති විශාලයි. චරිතයක් තුළ ඒ හැඟීමෙන් ජීවත්වෙන කලාකරුවන් හරි අඩුයි. ජැකා බුද්ධි මට්ටමෙන් චරිතයක් හඳුනාගෙන ඒකට අවතීර්ණ වෙන නළුවෙක්. ඒ වගේ කෙනෙක් නැතිවීම විශාල පාඩුවක්. ඒ අඩුව පිරවිය හැකි කෙනෙක් මේ ශත වර්ෂයේ බිහිවෙයි කියලා මම විශ්වාස කරන්නෙ නැහැ. ඒ තරමටම ඔහු දක්ෂ, සුහදශීලී, බුද්ධිමත්, මනුස්සකම්වලින් පිරුණු කලාවේදියෙක්.
I දිශානි