2024 ජනවාරි 13 වන සෙනසුරාදා

ලෝකයේ සුන්දරම දුම්රිය ගමන නුවර - ඇල්ලලු

 2024 ජනවාරි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00 101

''අපි ලංකාවට ආවේ එකම එක හේතුවක් නිසා. ඒ තමයි ලස්සනම ලස්සන දුම්රියක ගමනක් යන්න නුවර ඉඳන් ඇල්ලට...''

මේ දෙන්නා ගොඩාක් තරුණ ජෝඩුවක්. ජොයෙල් සහ එමිලියා තමා මේ කියන දෙන්නා. මේගොල්ලන්ගේ රට එංගලන්තය. පහුගිය කාලේ හිටියේ මාලදිවයිනේ. කොහොම හරි මේ දෙන්නගෙ ගමනට තවත් යාළුවෙක් එකතු වෙලා හිටියා.
හෝටලේ ඉඳන් රුපියල් 1300ක් දීලා ත්‍රීවීල් එකෙන් ගියා පේරාදෙණිය දුම්රිය නැවතුමට.

''අපිට දෙන්න ඇල්ලට ටිකට් තුනක්...''
''හ්ම්ම්... මේ බලන්න ඒ ටිකට් එක හරි චූටියි...''

කොහොම හරි මේගොල්ලෝ ස්ටේෂන් එකට වෙලා කෝච්චිය එනකම් බලාගෙන හිටියා.

''අපිට හෝටලෙන් කිව්වා නුවරින් කෝච්චියට නගින්න එපා. පේරාදෙණියෙන් නගින්න... නුවරින් බහින අය නිසා ෂීට් හම්බවෙයි කියලා...''

කොහොම හරි ඒ උපක්‍රමය හරි ගියා. මේ ගොල්ලෝ පැය ගාණක සුන්දර අත්දැකීමක් විඳගත්තා. හැබැයි, ඒ අතරෙ ලෝකෙටම මේ දුම්රිය ගමන ගැන පණිවිඩය අරගෙන යන්න මෙයාලා අමතක කළේ නෑ.

''ඔබ හිතනවා නම් පළවෙනි පන්තියේ ටිකට් පතක් කරගෙන මේ ගමන යන්න, එහෙම උත්සාහ කරන්න එපා... ඒ දුම්රිය මැදිරි AC කරලා තියෙන්නේ. ජනෙල් ලොක් කරලා. මේ වගේ ස්වභාවිකව මේ ගමනේ සුන්දරත්වය විඳගන්න ඔබට බැරිවෙනවා...''

මෙයාලා කිව්වේ ලෝකෙ තියෙන සුන්දරතම දුම්රිය ගමන තමයි මේක කියලා. හැබැයි කට්ටිය කරපු ලොකුම වරද තමයි කන්න මොනවත් අරගන්නේ නැතිව දුම්රියට නැගපු එක. රට කජු, අඹ වගේ අනං මනං දේවල් මෙයාලා කෑවා.

''අපෝ... හොඳටම බඩගිනියි. ඔයාලා කවුරු හරි මේ ගමන එනවා නම් අනිවාර්යයෙන්ම කන්න දේවල් නම් අරගෙන එන්න...''

කොහොම හරි මේ දෙන්නා ලංකාවේ ජනප්‍රියම දුම්රිය ගමන ගැන ලොකු ප්‍රචාරයක් ලබාදුන්නා.

ලංකාවේ තේ තියෙද්දී කෝපි බොන්නෙ ඇයි ඇහුවලු...

මේ හාදයාව අපි දන්නවා. යන තැන මොනවා හරිම කන, කැප් එකක් දාගත්ත හාදයා. මෙයා ආවේ ඇමෙරිකාව පැත්තෙ ඉඳලා. ඔන්න දැන් නුවරඑළියට ගිහිල්ලා. ඒ පැත්තේ සංචාරයක යෙදෙන්න තමා කැමැත්ත.

''ඔන්න මම ආවා ලංකාවේ වැඩිපුරම තේ නිෂ්පාදනය කරන පැත්තට. එහෙට කියන්නේ නුවරඑළිය කියලා....''

නුවරඑළිය පිළිබඳ පැහැදිලි කරන ගමන් පයින්ම මෙයා තවත් පැත්තකට යන්න තමයි ඉස්සරහට ආවේ. ඒත් දැන් අපේ යාළුවට ත්‍රීවීල් එකක් ඕනවෙලා. එන එන ත්‍රීවීල්වලට අතදානවා. කවුරුත් නවත්තන්නේ නෑ.

''මේ ත්‍රීවීල්වලට මාර ඩිමාන්ඩ් එකක් තියෙන්නේ...''

කොහොම හරි ඉඳලා ඉඳලා වීල් එකක් ආවා. මෙයා ඒකට ගොඩවුණා. ටවුමට දාගත්තා. ගාණ පන්සීයයි.

''කොහොමද අපි මේ ගමන පටන් ගන්නේ... ආ... අන්න අතන අයිස් ක්‍රීම් කඩයක් තියෙනවා. අපි අයිස් ක්‍රීම් එකකින්ම වැඩේ පටන් ගමු...''

හැමතැනදීම නිතරම කන බොන දේවල්වලට ප්‍රමුඛ තැන දෙන මේ ඇමෙරිකන් හාදයා අයිස් ක්‍රීම් එකක් ගන්න ගියත් එතැන එයාට ඕන අයිස් ක්‍රීම් ජාතිය තිබුණේ නෑ.

''ලංකාවේ හැමතැනම බෙරි අයිස් ක්‍රීම්වල ෆොටෝ ගහලා තියෙනවා. ඒත් ගන්න ගියාම නැහැ...''

එහෙම කියන ගමන් මීළඟට එයා TikTok shot drink එකක් ගහන්න කඩේකට ගියා. විස්තරය ඇහුවට ඒක ගැහුවෙත් නෑ. ඊටපස්සේ මෙන්න ගෑනු ළමයෙක් ඉන්න කඩේකට ගිහිල්ලා කතාබහ කරලා කෝපි එකක් බොන්න තීරණය කළා.

''ඇයි ඕගොල්ලෝ කෝපි බොන්නේ? ලංකාවෙ තියෙනවනේ තේ...''
''තේවලට වඩා කෝපිවලින් නුවරඑළියෙ අපිට ලොකු උණුසුමක් දැනෙනවා...''
''ඒ ගැන මම හොයලා බලන්න ඕනෑ...''

මෙයා කඩේ නංගිත් එක්ක කෝපි ගැන හොඳ සංවාදයක් දැම්මා. පස්සේ පොඩි ළමයින්ට දෙන්න ටොෆි වගේකුත් අරගෙන තමා පාරට බැස්සෙ.

ඒ අස්සේ රත්නපුරේ පැත්තෙ බස් රියදුරෙක් හම්බවෙලා එයත් එක්ක ලොකු කතාවක් දැම්මා බස් ගැන. ඒක ජර්මන් බස් එකක්. දෙන්නත් එක්ක සෙල්ෆියකුත් ගැහුවා. ඊටපස්සේ තමයි ටවුම පැත්තෙන් කැරකිලා වැව පැත්තට යන්න පටන් ගත්තෙ.

I චමිඳු නිසල්