2024 ජනවාරි 13 වන සෙනසුරාදා

විසඳුම් නැති ගැටලු මැද්දේ ’සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ සම්මාන පෝලිමක්

 2024 ජනවාරි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00 47

 - දිලූපා නිරෝෂණී ද අල්විස් 

Q දිලූපා.... ලැබුණ අලුත් සම්මානයට ''හදසර'' වෙතින් සුභ පැතුම්...

ගොඩක් ස්තූතියි. 50 වෙනි රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිෂ්පාදිකාව විදිහට මට සම්මානයක් හිමිවුණා. ඒ මම නිෂ්පාදනය කළ ''සඳුදා වැටෙන්නේ සිකුරාදාට'' වේදිකා නාට්‍යය නිසයි. ඒ සම්මාන උළෙලේදී හොඳම නිෂ්පාදනය ඇතුළුව ප්‍රධාන සම්මාන කිහිපයක්ම අපේ නාට්‍යයට ලැබුණා. ඒ අනුව හොඳම පිටපත සහ හොඳම අධ්‍යක්ෂණය චාලක රණසූරියට හිමිවුණා. හොඳම සහාය නළුවා සරත් කරුණාරත්න, හොඳම සහාය නිළිය සුලෝචනා වීරසිංහ, හොඳම නිළිය නිර්දේශිත ලෙසින් සිලිදි රන්වල සහ හොඳම නළුවා නිර්දේශිත කුසල් මධුරංගත් නිර්දේශ වුණා. ඒ අතරේ රංග වින්‍යාස කුසලතාවයත් චාලක රණසූරියට හිමිවුණා.

Q ''සඳුදා වැටෙන්නේ සිකුරාදාට'' දිලූපාගේ මුල්ම වේදිකා නාට්‍ය නිෂ්පාදනය නේද?

ඔව්. මේ මගේ පළමු වේදිකා නාට්‍ය නිෂ්පාදනයයි. මම මීට පෙර පිටපත් රචිකාවියක් විදිහට වැඩකරලා තිබෙනවා. ඒ අතරින් වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කළ පළමු අවස්ථාව තමයි මේක. ඒ වගේම පනස් වෙනි රාජ්‍ය නාට්‍ය උළෙලේදී චාලක පිටපත් කළ අධ්‍යක්ෂණය කළ වේදිකා නාට්‍ය දෙකක් කෙටි නාට්‍ය, දිගු නාට්‍ය යන අංශ දෙකටම ඉදිරිපත් කළා. ඒ නාට්‍ය දෙකම මම නිෂ්පාදනය කළා. ඒ නාට්‍ය දෙකම සම්මානනීය ඇගයීම්වලට පාත්‍ර වුණා. ''පොයින්ට්'' කියන කෙටි නාට්‍යයේත් සරත් කරුණාරත්න සහ නිලාන් වර්ණජිත් විජේසිංහට දෙවන සහ තෙවන ස්ථාන ලැබුණා. ඒ වගේම රාජ්‍ය සම්මානයේදී හොඳම වේදිකා පරිපාලනයට පසිදු රාජපක්ෂ සහ හිරන්‍යට හිමිවුණා.

Q දිලූපාගේ හිත කලාවට යොමුවුණේ කොයි කාලේදීද?

මම පුංචි කාලේ ඉඳන්ම කලාවට ආසයි. හැබැයි අද දරුවන්ට තිබෙන වරප්‍රසාද සහ පහසුකම් ඒ කාලේ අපිට තිබුණේ නැහැ. කලාවට ආසාව තිබුණත් ගෙවල්වලින් වුණත් කලාවට යොමුකරන්න ඕනේ කියන අදහසක් තිබුණේ නැහැ. හැබැයි මම රෑපවාහිනී මුතුහර බැලුවා. ටෙලිනාට්‍ය බැලුවා. ඒ කාලේ තිබුණ බොහෝ රෑපවාහිනී වැඩසටහන් අවසන් වනතුරු බැලුවා. මගේ ප්‍රධාන විනෝදාංශය වුණේ කියවීමයි. තෝරා බේරා ගැනීමකින් තොරව අසුවන හැමදේම ඒ කාලේ මම කියෙව්වා.

Q දිලූපාගේ ළමා කාලය ගෙවුණේ කොහොමද?

මගේ උපන්ගම ගාල්ල. මම මූලික අධ්‍යාපනය ලැබුවේ ගාල්ල තෙලිකඩ මහ විදුහලින්. ඊට පස්සේ උසස් පෙළ අධ්‍යාපනයට මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලට ගියා. අම්මා තාත්තා ඇතුළුව අපේ පවුලේ අට දෙනෙක් ඉන්නවා. පවුලේ කවුරුත් කලාවට සම්බන්ධ නැහැ. හැබැයි මගේ ලොකු අක්කා සෑහෙන්න නිසැඳැස්, කවි ලිව්වා. ඒවා පොත් විදිහට එයා එකතු කළා. ඒ නිසාම ඒවා කියවන පුරුද්දක් මට තිබුණා. අක්කි ලියන දේවල් හරියට පරිස්සම් කළා. ඒ කියවිල්ලත් එක්ක මටත් ලියන්න හිතන්න ආසාවක් ඇතිවුණා. මගේ තාත්තා ග්‍රාම නිලධාරිවරයෙක් විදිහට සේවය කළා. අම්මා ගෘහණියක්. හැබැයි අම්මත් ගොඩක් පොත්පත් කියවන කෙනෙක්. අම්මා හරි නිර්මාණශීලී තැනැත්තියක්. අපි පොඩි කාලේදී අපිට අත්වැඩක් කියල දෙද්දී වුණත් ඇය හරිම නිර්මාණශීලියි. ඒ නිසා අම්මාගෙන් බොහෝ දේවල් මම ඉගෙන ගත්තා. ජීවිතය ගැන, යමක් කරන්න හිතන්න ඉගෙන ගැනීම ගැනත් බොහෝ දේවල් ඇය කියලා දුන්නා.

Q කුඩා කාලයේදීම කලාවට ඇල්මක් තිබුණ දිලූපා මේ කලා ක්ෂේත්‍රයට යොමුවුණේ කොහොමද?

පුංචි කාලයේදී පාසැලේ නවය වසරේදී පමණ මම නාට්‍යයක් ලියලා ඒක සම වයසේ අයත් එක්ක එකතුවෙලා රඟදැක්වූවා. ඒ නිසා කලාවට තිබුණ ආසාව හැමදාම තිබුණා. මීට අවුරුදු හතකට පමණ කලින් මම සක්‍රීයව කලාවත් සමඟ සම්බන්ධ වුණා. ඒ චාලක රණසූරිය එක්ක වැඩකරන්න එකතුවුණාට පසුවයි. වේදිකා නාට්‍ය මම පුළුවන් හැම වෙලාවෙම බලලා තිබුණා. වේදිකාවට මම හරි ආදරෙයි. වේදිකාව කියන්නේ හරි සජීවී තැනක්. අපේ අදහස වුණත් ප්‍රකාශ කිරීමේ හැකියාව තිබෙනවා. තිර පිටපත් රචිකාවක්, නිෂ්පාදිකාවක් වුණත් මම රංගනයට නම් එකතු වුණේ නැහැ. ආරාධනා නම් ලැබිලා තිබෙනවා. හැබැයි ඒ හැකියාව මට නැති නිසා නැති හැකියාවක් ගැන මම හිතන්නේ නැහැ.

Q ''සඳුදා වැටෙන්නේ සිකුරාදාට'' නැවත වේදිකා ගත වෙන්නේ කවදාද?

එම වේදිකා නාට්‍යයට දර්ශන වාර කිහිපයක් තිබෙනවා. මෑතකදී කොළඹ දර්ශන වාර තුනක් පමණ තිබෙනවා. තාම ඒකට දින ස්ථීර කරගෙන නැහැ. ඊට අමතරව පෙබරවාරි දාසය වෙනිදා කෑගල්ලේ වේදිකා ගත වෙනවා. ඒ වගේම මාර්තු හයවෙනිදා පිළියන්දලදී වේදිකා ගත වෙනවා.

Q වේදිකා නාට්‍ය නැරඹීමට එන ප්‍රේක්ෂකාගාරය ගැන නාට්‍ය නිෂ්පාදිකාවක් විදිහට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?

වේදිකා නාට්‍ය නිෂ්පාදනයට සාමාන්‍යයෙන් පිටින් නිෂ්පාදකවරු එකතු වෙන්නේ නැහැ. බොහෝ විට පිටපත, අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කරන්නේ එකම කෙනායි. හැබැයි මෑත කාලයේදී පැරණි වේදිකා නාට්‍ය හෝ අලුත් වේදිකා නාට්‍ය නිෂ්පාදනයට පිටින් නිෂ්පාදනයට එකතුවෙන ප්‍රවණතාවක් තිබෙනවා. හැමදාම කතා කළත් එක්තරා ගැටලු ටිකක් අපිට තිබෙනවා. ඒ අතරින් පුහුණුවීම් කරන්නට නිසි තැනක් නැහැ. තිබෙන රාජ්‍ය තැන් වුණත් අපිට යම් මුදලක් දී හෝ පුහුණුවීම් කරන්නට අවස්ථාව සලසලා දෙන්නේ නැහැ. වසා දැමූ රංගශාලා තිබෙනවා. ඒවාට මුදලක් ගෙවා හෝ අපිට පුහුණුවීම්වලට ගන්නට බැරිවෙලා තිබෙනවා. ඒක ලොකු ගැටලුවක්. නමුත් හොඳ ප්‍රේක්ෂකාගාරයක් හැදිලා තිබෙනවා. ඒක ඇත්තටම සතුටට කාරණාවක්. ''සඳුදා වැටෙන්නේ සිකුරාදාට'' වේදිකා නාට්‍යයට ඉතාම හොඳ ප්‍රේක්ෂකාගාරයක් හැදිලා තිබෙනවා.

Q දිලූපා අද දරුවන් දෙදෙනකුගේ මවක්... එහෙම නේද?

ඔව්. මගේ සැමියා විදුලි ඉංජිනේරුවෙක්. මේ වෙද්දී ඔහු විදෙස් ගතවෙලයි ඉන්නේ. අපිට දරුවන් දෙන්නෙක් ඉන්නවා. මගේ දුව නීති ශිෂ්‍යාවක්. පුතා උසස් අධ්‍යාපනයට විදෙස් ගතවීමට සූදානමින් ඉන්නවා. ඒ දෙන්නත් කලාවට හරි කැමැති දරුවන් දෙන්නෙක්.

I දිශානි ජයමාලි කරුණාරත්න